රෂිකා හෙන්නායක අප්‍රේල් 11, කොළඹ LNW :
පුවත අසන්න මෙතැනින්..
පුවත නරඹන්න මෙතැනින්..
ශ්‍රී ලංකාව 2025 වසරේදී සියයට 5ක ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් සැමට සුබවාදී බලාපොරොත්තුවක් ලබා දුන් බව සැබෑය. එහෙත්, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නවතම වාර්තාවට අනුව, 2026 වසරේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ‘යුද අවදානම’ හමුවේ මෙම තාවකාලික ප්‍රකෘතිමත් වීම බරපතල අභියෝගයකට ලක්ව ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ පුරෝකථනයන්ට අනුව, 2026 වසරේදී ආර්ථික වර්ධනය සියයට 4.0 දක්වා මන්දගාමී වන අතර, එය 2027 දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ යනු ඇත. කෙසේ වෙතත්, මෙම පුරෝකථනය පදනම් වී ඇත්තේ මැදපෙරදිග ගැටුම් කඩිනමින් සමනය වේ යැයි යන ‘මුල්කාලීන ස්ථායීකරණ තත්ත්වයක්’ (Early stabilisation scenario) මත වන අතර, පවතින අවදානම් සියල්ලම පාහේ තවමත් පවතින්නේ සෘණාත්මක මට්ටමකය.
ලෝක තෙල් වෙළඳාමෙන් සියයට 20ක් හසුරුවන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ හරහා සිදුවන නාවික ගමනාගමනයට බාධා පැමිණීම නිසා බොරතෙල් මිල බැරලයක් ඩොලර් 110 ඉක්මවා ගොස් ඇත. යුද්ධය දිග්ගැස්සුණහොත් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනයට සියයට 0.5 සිට 0.8 දක්වා සෘජු පහරක් එල්ල විය හැකිය.
“ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ සිට බොහෝ දුරක් පැමිණ ඇති අතර පසුගිය වසර දෙකේ ක්‍රියාකාරිත්වය විශාල ජයග්‍රහණයකි. කෙසේ වෙතත්, ඉදිරියේ ඇති අවදානම් සැබෑ මෙන්ම සැලකිය යුතු මට්ටමක පවතී. මෙය ප්‍රතිසංස්කරණ ලිහිල් කළ යුතු මොහොතක් නොවේ. මූල්‍ය විනය පවත්වා ගත යුතු අතර, ආර්ථිකය පරීක්ෂාවට ලක් කරන බාහිර කම්පන හමුවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කළ යුතුය.” — ශැනන් කව්ලින්, ශ්‍රී ලංකාවේ ADB අධ්‍යක්ෂ.

From left: ADB Senior Country Economist Lilia Aleksanyan, Principal Economic Officer Lakshini Fernando, Economic Analyst Nirukthi Kariyawasam, and Senior Economics Assistant Dinuk de Silva
ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතාවක් ලෙස ADB පෙන්වා දෙන්නේ රජයේ ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) කළමනාකරණයේ පවතින අසාර්ථකත්වයයි. සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5-6ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළත්, සැබෑ ලෙසම භාවිතයට ගනු ලබන්නේ සියයට 3ක් වැනි සුළු ප්‍රමාණයකි.
මෙහි ඇති භයානකම තත්ත්වය නම්, රජයේ පොලී ගෙවීම් වැනි පුනරාවර්තන වියදම් පියවා ගැනීමට ප්‍රාග්ධන ආයෝජන කප්පාදු කිරීමයි (Crowding out). එසේම, වසර පුරා සිදුකළ යුතු ආයෝජන වසරේ අවසන් කාර්තුවට ගොඩගැසීම හෙවත් Back-loading ක්‍රියාවලිය නිසා ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ගිලිහී යයි. රජයේ ආයෝජන සියයට 1කින් පමණක් වැඩිකර ගත හැකි වුවහොත්, වසර හතරක් තුළ රටේ නිමැවුම සියයට 1.5කින් ඉහළ නංවාගත හැකි බව ADB පෙන්වා දෙයි.
උද්ධමනය සහ පොහොර මිල: පාරිභෝගිකයාට එල්ල වන පීඩනය
2025 වසරේ පැවති සෘණ සියයට 0.5ක උද්ධමනය නිමා කරමින්, 2026 දී උද්ධමනය සියයට 5.2 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ බලශක්ති මිල සංශෝධන හෙවත් Energy price pass-through ක්‍රියාවලියයි.
විශේෂයෙන්ම, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය හමුවේ පොහොර මිල ඉහළ යාම නිසා කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇත. මෙය වසරේ අගභාගයේදී ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට සෘජුවම බලපාන අතර, යුද්ධය උග්‍ර වුවහොත් උද්ධමනය තවත් සියයට 3 සිට 5 දක්වා ප්‍රමාණයකින් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.
සංචාරක කර්මාන්තය සහ විදේශ විනිමය පීඩනය
විදේශ විනිමය ගලා එන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය මේ වන විටත් බලපෑමට ලක්ව ඇති අතර, 2026 මාර්තු මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම වසරින් වසර පදනම මත (YoY) සියයට 20කින් පහත වැටී තිබේ. මෙය හුදෙක් යුද බිය නිසා පමණක් නොව, ගල්ෆ් කලාපයේ ගුවන් කලාපීය බාධා (Gulf airspace disruptions) හේතුවෙන් ගුවන් ගමන් මාර්ග වෙනස් වීම සහ ගාස්තු ඉහළ යාම නිසා සිදුවූවකි.
ශ්‍රී ලංකාව මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.4ක ප්‍රාථමික අතිරික්තයක් (Primary Surplus) සහ ඩොලර් බිලියන 7.3ක සංචිත මෙන්ම ඩොලර් බිලියන 8ක ප්‍රේෂණ සහිතව ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක සිටියද, එම ආරක්ෂිත ස්ථර බාහිර කම්පන හමුවේ සීමිත බව මතක තබා ගත යුතුය.
2025 වසරේ ලැබූ ජයග්‍රහණ හමුවේ ආත්ම තෘප්තියට පත්වී ප්‍රතිසංස්කරණ වේගය අඩාල කිරීම ශ්‍රී ලංකාවට කළ හැකි ලොකුම වරදකි. ව්‍යුහාත්මක දුර්වලතා තවමත් එලෙසම පවතින අතර, විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජන කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් (Implementation mechanisms) සකස් කර ගැනීම අනිවාර්ය වේ.



