ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ගෙන යන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී අද (11) ආරම්භ වෙයි.
ඒ වෙනුවෙන් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක් ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක් ද මේ වනවිට පාකිස්තානය වෙත පැමිණ සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි ආරක්ෂාවද දැඩි කර තිබෙන අතර සාකච්ඡා ආරම්භවීමට හෝරා කිහිපයකට පෙර ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ද සඳහන්.
ඒ අනුව විදේශ බැංකුවල ඇති ඉරාන රියාල් බිලියන ගණනක වත්කම් වහාම නිදහස් කරන ලෙසත්, ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසත් ඉරානයෙන් කොන්දේසි පනවා ඇති බව දැක්වෙයි.
කෙසේවෙතත් මෙම සාකච්ජා සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් සාධනීය අපේක්ෂාවන්ගෙන් පසුවෙයි.
හිටපු පකිස්ථාන ගුවන් හමුදා මාර්ෂල්වරයෙකු වන මසූඩ් අක්තාර් පවසා තිබෙන්නේ සාකච්ඡා වලදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම එක්සත් ජනපද පාර්ශවයේ ප්‍රමුඛතාවය බවත් අවම වශයෙන් එය ඔවුන්ගේ ඉලක්කය වන බවත්ය.
න්‍යෂ්ටික ගැටළුව සහ මිසයිල තොග වැනි එහි ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් ඉරානය තම ස්ථාවරය වෙනස් නොකරනු ඇති බවටද ඔහු විශ්වාසය පළකර තිබේ.
ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා වලින් පහර කෑම් ලැබුණද, ඉරාන පාර්ශවයට “තම පැත්තේ සුළු වාසියක් සහ කාලයක්” ඇති බව අක්තාර් පෙන්වා දෙන නමුත් එක්සත් ජනපදයටය “කාලය ඉවර වෙමින් පවතින” බව ඔහු තවදුරටත් පවසයි.

