යුද්ධය තිබුණත් නැතත් අප මියගොස් බොහෝ කල් : ඉරාන වැසියන්

රෂිකා හෙන්නායක අප්‍රේල් 12,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරාන අහසේ බෝම්බ හඬ මොහොතකට නිහඬ වී ඇත. සටන් විරාමයක් ප්‍රකාශයට පත් වී ඇති මුත්, ඉරාන වැසියන්ගේ හදවත් තුළ පවතින බිය සහ අවිනිශ්චිතතාවය තවමත් පහව ගොස් නැත.

මෙය ආයුධ සන්නද්ධ ගැටුමක තාවකාලික විරාමයක් පමණක් වන අතර, සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය වෙලාගෙන ඇති “ආර්ථික නිහඬ යුද්ධය” තවමත් දරුණු ලෙස ක්‍රියාත්මක වේ.

බෝම්බ හඬට වඩා දරුණු ලෙස ජන ජීවිත බිඳ දමන එම කටුක යථාර්ථයකි.

ටෙහෙරානයේ වාණිජ හදවත බඳු වූ ‘ග්‍රෑන්ඩ් බසාර්’ (Grand Bazaar) හි වෙළඳසැල් නැවත විවෘත වී ඇති බව පෙනෙන්නට තිබුණ ද, එහි පෙර පැවති සජීවී බව දක්නට නැත. සටන් විරාමයත් සමඟ වෙළඳසැල් විවෘතව තබන කාලය වැඩි වුවද, වෙළඳාම පවතින්නේ අතිශය අකර්මණ්‍ය මට්ටමකිනි.

මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ” උද්ධමනයයි’

(Compounding Inflation). වෙළඳපොළ දත්තයන්ට අනුව, පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව භාණ්ඩ මිල ගණන් 20% සිට 30% දක්වා ඉහළ ගොස් ඇත. එහෙත් එම ජනවාරි මිල ගණන් ද ඊට පෙර මාසවලට වඩා විශාල ලෙස ඉහළ ගොස් තිබුණේ එවකට පැවති මහජන විරෝධතා සහ අන්තර්ජාල වාරණයන් හේතුවෙනි. එනම්, මෙය ජනතාවට එල්ල වූ “ද්විත්ව ප්‍රහාරයකි”. අන්තර්ජාලය විසන්ධි වීම නිසා මෙම බසාර් වෙළෙන්දන්ගේ මාර්ගගත (Online) අලෙවිය ද බිංදුවටම ඇද වැටී ඇති අතර, ඉදිරියේදී භාණ්ඩ ආනයනය කිරීමට හැකි වේද යන්න පිළිබඳ පවතින අවිනිශ්චිතතාවය වෙළඳපොළ තවදුරටත් අඩපණ කරයි.

පැය 1000ක ඩිජිටල් අඳුර (Digital Darkness)

නූතන ලෝකයේ අන්තර්ජාලය යනු විදුලිය වැනිම තීරණාත්මක යටිතල පහසුකමකි. එහෙත් පෙබරවාරි 28 වනදා සිට ක්‍රියාත්මක වන දැඩි අන්තර්ජාල වාරණය හේතුවෙන් ඉරානය ලෝකයෙන් හුදෙකලා වී ඇත. රජය විසින් ක්‍රියාත්මක කරන මෙම “ඩිජිටල් අඳුර” හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, පාලන තන්ත්‍රය විසින් ජනතාව පාලනය කිරීමට ගත් සවිඥානික තීරණයකි. මීට අමතරව, රජය විසින් “Internet Pro” වැනි ස්තරගත අන්තර්ජාල පද්ධති (Tiered internet system) හඳුන්වා දීමට උත්සාහ කරන්නේ විවිධ වෘත්තිකයන්ට විවිධ මට්ටමින් තොරතුරු පාලනය කිරීමටයි.

ඇග්නස් කැලමර්ඩ් (Agnes Callamard) මේ පිළිබඳව දක්වන අදහස මෙසේය:

“ඉරානයේ ජනතාව පැය 1000ක් පුරා ඩිජිටල් අඳුරේ ජීවත් වී ඇත. පෙබරවාරි 28 සිට මිලියන 90 කට අධික ජනතාවක් ලෝකයෙන් හුදෙකලා කර ඇති අතර, ඔවුන්ට අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ ආදරණීයයන් හා සම්බන්ධ වීමට ඇති අවස්ථාව අහිමි කර ඇත.”

දශකයකින්වත් ගොඩගත නොහැකි යටිතල පහසුකම් විනාශය (Destroyed Infrastructure)

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ සිවිල් යටිතල පහසුකම්වලට සිදුව ඇති හානිය අතිවිශාලය. යුද්ධය අද නතර වුවද, මෙම විනාශය යථා තත්ත්වයට පත් කිරීමට දශකයකට වඩා වැඩි කාලයක් ගතවනු ඇත.

විනාශයට පත් වූ ප්‍රධාන ස්ථාන අතර:

  • ඉරානයේ ප්‍රමුඛතම වානේ කර්මාන්තශාලා, පෙට්‍රොකෙමිකල් සහ ඇලුමිනියම් නිෂ්පාදන මධ්‍යස්ථාන.
  • ප්‍රධාන ඛනිජ තෙල් පිරිපහදු සහ ස්වභාවික වායු පද්ධති.
  • සිවිල් ගුවන්තොටුපොළවල්, ගුවන් යානා, වරායවල් සහ රේගු මධ්‍යස්ථාන.
  • උපායමාර්ගික පාලම්, දුම්රිය මාර්ග සහ මහාමාර්ග ජාල.

විශ්ලේෂණාත්මකව බලන කල, යුද්ධයට පෙර සිටම එක්සත් ජාතීන්ගේ සහ ඇමරිකානු සම්බාධක ජාලයක (Sanctions net) සිරවී සිටි ඉරානයට, පවතින දරුණු අයවැය හිඟය හමුවේ මෙම යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා විදේශ ආයෝජන ලබා ගැනීම සිහිනයක් පමණි.

  1. උගත් තරුණ පරපුරේ බිඳවැටීම (Impact on Professionals)

අන්තර්ජාලය මත පදනම් වූ රැකියාවල නිරත වූ ඉරාන තරුණ පරපුරේ බලාපොරොත්තු සුන් වී ඇත. මෙහි ඇති තාක්ෂණික ගැටලුව වන්නේ රජය විසින් පවත්වාගෙන යන දේශීය ‘ඉන්ටනෙට්(Intranet) පද්ධතියයි. උදාහරණයක් ලෙස, ගූගල් මීට් (Google Meet) හරහා විදේශිකයන්ට ඉගැන්වූ ගුරුවරියකට දැන් එම සේවාවන් අහිමි වී ඇත්තේ මෙම දේශීය පද්ධති සඳහා “ඉරාන IP ලිපිනයක්” (Iranian IP) අත්‍යවශ්‍ය වන බැවිනි.

මේ හේතුවෙන් විදේශයන්හි සිටින සිසුන්ට ඇයගේ පද්ධති සමඟ සම්බන්ධ වීමට නොහැක. ආරක්ෂාව සහ දත්ත සංකේතනය පිළිබඳ පවතින අවදානම නිසාම, උගත් තරුණ වෘත්තිකයන්ට තම ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අහිමි වෙමින් පවතින අතර ඔවුන් තවදුරටත් ලෝකයෙන් හුදෙකලා වෙමින් සිටිති.

  1. මහා පරිමාණ රැකියා කප්පාදුව (Mass Lay-offs)

ආර්ථිකය බිඳවැටීමත් සමඟ තාක්ෂණික අංශය, මෝටර් රථ කර්මාන්තය සහ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැවැන්ත රැකියා කප්පාදුවක් සිදුවෙමින් පවතී. බොහෝ තාක්ෂණික ආයතන සේවක කොන්ත්‍රාත්තු ලබා දෙන්නේ මාස කිහිපයකට පමණි. ජීවත් වීම සඳහා තමන් සතු වෘත්තීය උපකරණ පවා විකුණා දමන තරුණයන්ගේ තත්ත්වය අතිශය ශෝචනීයය.

ඉරාන තරුණ වීඩියෝ ක්‍රීඩා විචාරකයෙකුගේ මෙම ප්‍රකාශය හුදෙක් වචන නොව, සමස්ත රටකම කෙඳිරියයි: “යුද්ධය තිබුණත් නැතත් අප මියගොස් බොහෝ කල්. අපේ හඬ යටපත් කරලා විතරක් නෙවෙයි, මූලික අවශ්‍යතා ඉටු කරගන්නත් අපිට සටන් කරන්න වෙලා.” ඔහු පවසන්නේ ජනතාව හුදෙක් ‘ජීවත් වීම’ (Being alive) වෙනුවට ‘බේරී සිටීමට’ (Surviving) පමණක් අරගල කරන බවයි.

සටන් විරාමයක් යනු හුදෙක් බෝම්බ හඬ නතර වීම පමණක් නොවේ. එය ජනතාවකට සාමකාමීව, බියකින් තොරව සහ ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීමකි. පවතින සම්බාධක, දේශීය දූෂණය සහ යුද්ධයේ අළු මතින් නැගී සිටීමට ඉරානයට දැවැන්ත පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.