අවුරුදු ක්‍රීඩාවල වෙනස් වෙන නම් දියුණු සමාජ ලක්ෂණයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 13, කොළඹ (LNW): සුබ නව වසරක් කීමට වඩා මේ අවුරුද්දට උණුසුම් සුබ පැතුම් කිව හැකියි.ඒ තරමටම පරිසරය උණුසුම් වෙලා තියෙන්නෙ.ඒ නිසා මේ දවස්වල වැටෙන වැස්සටවත් මකන්න බැරි විදිහට උණුසුම්ව දැනෙන රශ්ණය එක්ක අවුරුදු ක්‍රීඩාත් කරන්න වීම පරිස්සමෙන් කළ යුතුයි.විශේෂයෙන් දුර දිවීම වැනි ඉසව්වලදි ගමේ වැඩේනෙ කියා නොකියා වෛද්‍ය සහතික මත පමණක් තරග කරන්න අවස්ථාව දෙනවනම් අවුරුද්ද සතුටෙන්ම ගෙවා දමන්න ඉඩ ලැබෙයි.


මේ අවුරුදු උත්සව සමයෙ ගමේ අවුරුද්දෙ හැම තැනම දකින්න තියෙන ක්‍රීඩාවන් කිහිපයක නම් වෙනස් වෙලා තියෙනවත් දකින්න ලැබුණා.ඒ මේ දක්වා පාවිච්චි වුණ නම්වලින් මිනිස්සුන්ගේ ආබාධිත තත්ත්වයන් හැඳින්වීම නිසා ඒ ප්‍රජාව තුළ වැඩෙන පීඩනය ඉවත් කරන්න ගත්තු තීරණයක්.ඒක ඉතා වැදගත් තීරණයක්.සමහර විට එක ක්‍රීඩාවකට යොදාගෙන තිබෙන වාසනා කියන වචනය ඉවත් කරලා ඒකට නොපෙනෙන මුට්ටිය බිදීම වැනි වචනයක් යෙඳුවනම් තත්ත්වයට ගැලපේවී


මේ වචන යෙඳුම අනුමත කරන්නෙ සහ සමාජයේ සිඳු විය යුතුයි කියා කියන්නෙ ආණ්ඩුව වුණත් ආණ්ඩු ගණනක් විසින් මේ තත්ත්වය නොසළකා හැරිය බවයි ඇත්ත. ඒ නිසා මේ දකින්නෙ කාලයක් තිස්සෙ පීඩාවට පත් වූ ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීමකට එකඟවීමක්.මේ ගැන සමාජ මාධ්‍ය ඇතුළෙ අලුතෙන් පත්වන ආණ්ඩුව හැටියට පෙනී සිටින බොහෝ දෙනෙක් මේ තීරණය හාස්‍යයට අවමානයට ලක් කරන අයුරු දකින්නට ලැබෙනවා.ඒ අයගේ අවධානය යොමු වන්නේ මේක ආණ්ඩුවට ලකුණු යන වැඩක් හැටියට වීම බව ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේදී පැහැදිළි වෙනවා.එවිට ඔවුන් අනුමත කරන ආණ්ඩුවෙ යෙදීම් යටත් වෙන්නෙ ආබාධ රහිත ප්‍රජාවගේ තීරණ ආබාධ සහිත ප්‍රජාව විසින් දරා ගත යුතුයි කියන තැනට විය යුතුයි.


ප්‍රායෝගිකව වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවන් නියෝජනය කරන සංවිධානවලට විවිධ ශාරිරික සහ මානසික අඩු පාඩුකම් සහිත පිරිස් එකතු වෙනවා.ඔවුන් වෙනුවෙන් බක්මහ උළෙලවල් ඒ සංවිධාන හරහා සංවිධානය වෙනවා.ඒ හැම අවස්ථාවකම මේ ඉසව් ඇතුළත් කරන්න බැරි වෙන්නෙ එයට තමන්ගේ ආබාධය යොදා විනෝදවිම ගැන ඔවුන් තුළ ඇති වේදනාත්මක විරෝධය සහ කම්පනය නිසයි.එහි බරපතලකම,ඔවුන් තුළ එයින් ඇතිවන පීඩාව සහ කණස්සල්ල අත්දැකීමක් හැටියට විඳපු කෙනෙක් හැටියට මේ මනුස්ස කොට්ඨාශයකගේ පීඩනය ඉවත් කිරීමට එකඟ වූ යහපත් අවස්ථාවක් හැටියටත්,ඒ ප්‍රජාව දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය සටනක ජයග්‍රහනයක් හැටියටත් මේ අවුරුදු ක්‍රීඩා නම් වෙනස් වීම හැදින්විය හැකියි.


කෙනෙක්ගේ ජාතිය,ආගම හෝ කුලයත්,එසේත් නැතිනම් හමේ වර්ණය හෝ වෙනත් දෙයක් මත සමාජයේ පහත් කොට සැළකීම නොකළ යුතුයි කියන එක දියුණු සංස්කෘතික සමාජය විසින් පිළිගෙන තිබෙන ඇත්තක්.උදාහරණයකට මේ සටහන ලියන මගේ දරුවා යම් කිසි මානසික වර්ධනයේ අඬුවකින් පෙළෙනවා.මා සිටින්නේ එවැනි ඕනෑම දෙයකදී ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට ආසන්නවයි.පුතා ඊට අදාළ තැනෙක යම් වෘත්තිමය පුහුණුවක් ලැබුවා.ඔහුව රැඟෙන යාමට අප තෝරා ගත් ඉතා යහපත් ගති ඇති මනුස්සෙක් ද හමු වුණා.නමුත් කිසියම් ආකාරයකට ඔහුට යාමට නොහැකි වූ විට අප වෙනත් ත්‍රීරෝද රථයකට ඔහුව භාර දෙද්දී නිරන්තරයෙන්ම පවසන්නේ “පිස්සන් කොටුව” ඉස්සරහනෙ කියා යි.එවිට දැනෙන හැඟීම සහ පීඩාව ගැන මගේ හෘද සාක්ෂිය දන්නා දේ වචනවලිට දැමීමට අසීරු තරම් වේදනාකාරි එකක්.


ජාතික මානසික සෞඛ්‍ය ආයතනය සඳහා ඉංග්‍රීසියෙන් පවසන්නේ National Institute of Mental Health යන්න කෙටි කර NIMH හෝ NIOMH ලෙස පැවසිය නොහැකි ද? සමාජය තේරුම දැන හෝ නොදැන අප වෛද්‍ය පර්යේෂණ ආයතනයට MRI ලෙස පවසන්න හුරු වී තිබෙන තරම ඇතැමෙක් එයට වෛද්‍ය පර්යේෂණ ආයතනය කියා කී විට දන්නේ නැහැ.ඒත් මෙවැනි තත්ත්වයක් ජාතික මානසික සෞඛ්‍ය ආයතනය සම්බන්ධයෙන් ඇති වී නොතිබීම සංස්කෘතික වශයෙන් නොදියුණු තත්ත්වයක්.විශේෂයෙන් මානසිකව ස්ත්‍රීයක වීමට හෝ පිරිමියෙකු වීමට සුදුසුද පරික්ෂා කිරීමට සහ ප්‍රතිකාර කිරීමට සංක්‍රාන්ති තත්ත්වයේ පිරිස ද ආ යුත්තේ මේ තැනටයි.එවැනි ඉහළ සමාජ මට්ටමකට සෞඛ්‍ය කේෂ්ත්‍රය පැමිණ තිබුණත් ඔවුන්ටත් අහල පහළ ත්‍රීරෝද රථයකින් ගමණක් යා යුතු වූ විට පිස්සන් කොටුවට කියන වචනමයි.මෙය වෙනස් කළ හැකි සරලම ක්‍රමය බස් සේවයයි.ඒ දක්වා එන බස් සඳහා NIMH හෝ NIOMH යන්නත් අතිරේක නමක් ලෙස යෙදවිය හැකියි.එසේම බස් කොන්දොස්තරවරුන් හරහා මේ වචන නිතර භාවිතා කරවිය හැකියි.


මේ තත්ත්වයම අවුරුදු ක්‍රීඩාවන් හී නම වෙනස් කිරීමට විරුද්ධ වන අයත් තමන්ගේ වෙනස් නොවීමට අදාළ බව තේරුම් ගැනීම වැදගත් වෙනවා.ලංකාවේ නරුම දේශපාලන නායකයන් මේ වෙනස් කිරීම ගැන තමන්ගෙ අදහස හොල්ලන්නෙවත් නැත්තෙ ඇයි කියන එකත් මේ අවස්ථාවේ තේරුම් ගැනීම වැදගත්.විරුද්ධ පාක්ෂිකයන් හැටියට ආණ්ඩුව කරන හැම දේම ආණුඩවේ දේ හැටියට හිතන්න පුරුදු පුහුණු වී ඔවුන්ට ඉඩ ඇති සමාජ මාධ්‍ය ජාලාවල විවේචනයට යොදා ගන්නන් මේ අවුරුදු ක්‍රීඩාවල නම වෙනස් කිරීම දුටුවනම පැන සමාජ මාධ්‍ය ජාලාවල ආණ්ඩුවට පහර දී වනසා ඉවරයි.


දැන් විපක්ෂ කණ්ඩායම්වලට මේ තමන්ගේ පැත්තට සට්ටැඹි ආකාරයේ දේශපාලනය කරන පිරිස බේරා ගැනීමටත් අවශ්‍යය වන අතරම තවත් ආකාරයකට මේ අවශ්‍යයතාවය තිබුණු දෘශ්‍යාබාධිත පිරිසගේ කැමත්ත ලබා ගන්නත් අවශ්‍යය කරනවා.ඒ නිසා කිසිවක් නොකියා දෙපැත්තම රැක ගැනීම උදෙසා විපක්ෂය කරන්නෙ නිහඬව සිටීමයි.හැබැයි එහිදි ඔවුන් පුද්ගලයෙකුගේ දුර්වලකමක් ආබාධයක් විනෝදාස්වාදය සඳහා ක්‍රීඩාවක නමකට ඇතුළත් කර විනෝදවීම ප්‍රතික්ෂේප නොකරන තත්ත්වයකට පත් වෙනවා.ඒ ගෝත්‍රිකකම ඇඟෙ ඇලෙන නිසා මේ අවුරුදු ක්‍රීඩාවට නම වෙනස් කිරීම ගැන කපටි විදිහට නිහඬ වෙනවා.ප්‍රධාන මාධ්‍ය මිනිස්සු හැටියට ආබාධයක් විවේචනය කිරීම හෝ නොතිරීම ගැන හිතන්න මහන්සි වෙන්නෙ නැහැ.ඒ නිසා මේ වගේ කාරණාවල තියෙන දේශපාලනය සහ මනුස්සකම ඒ මාධ්‍යයවලට අදාළ නැහැ.ඒ නිසා ඔවුන් මේ නම් වෙනස්වීම දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් අහන්නෙ නැහැ.හැබැයි ඇසිය යුතුම ප්‍රශ්නය එය වෙන්නේ ඔවුන් සමාජය දිහා බලන ස්ථාවරය තේරුම් ගන්න තියෙන හොඳම තැන එතැන වීමයි.


කිසිම ආණ්ඩු විරෝධි දේශපාලනඥයෙක් මේ නම් වෙනස්වීම් ගැන දෘශ්‍යාබාධිත ප්‍රජාව දීර්ඝ කාලයක් ඉල්ලා සිටි ඉල්ලීමක ජයක් හැටියට ඒ ජයග්‍රහණය ආණ්ඩුවෙන් ගලවා සැබෑ ජයග්‍රාහකයාට පැවරීමට කටයුතු කරන්න ඉදිරිපත් වී නැහැ.ඒතට හේතුව ඔවුන්ගේ දෘශ්ඨිවාදයේ දුර්වලකමක්.ඡන්දදායකයන් ලෙස ගත් විට සිටින දෘශ්‍යාබාධිත ප්‍රජාව ගැන සංඛ්‍යාත්මකව සළකා බැලීමේදී එය ඡන්දයේදී විශාල ඉලක්කමක් නොවීම නිසා ඒ සඳහා වෙනස් ආමන්ත්‍රණයක් යෙදීමට හැකි වීම ඔවුන් කල්පනා කරනවා.එහෙත් මේ නම් වෙනස්වීම දෘශ්‍යාබාධිත ප්‍රජාවට පමණක් සීමා නොවුණු සමස්ත වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ පැත්තේ ජයග්‍රහණයක් හැටියට ගන්න විවිධ ආබාධ නිසා අවශ්‍යයතා වෙනස් වූ ප්‍රජාව ඒකරාශීව මේ ජයග්‍රහණය භුක්ති විදින තත්ත්වයක් ඇති වෙන්න දී නැතිවීමත් දේශපාලනිකයි.සමාජය ආබාධයෙන් ආබාධයටත් මිනිස්සු බෙදා තබනු විනා එකතු කර තැබීම කරන්නෙ නැත්තේ පවතින දේශපාලන ක්‍රමය සමාජය සංවිධානය කරන්නම කැමති බෙදා වෙන් කර වීම නිසයි.


ඒ නිසා අවුරුදු ක්‍රීඩාවන් හී නම් වෙනස්වීම ඉතාම සංස්කෘතික දියුණු ව්‍යවහාරයක් සමාජ ගතවීමක් හැටියට අප ගත යුතුයි.ඒක අවුරුදු සෙල්ලමක් නොවන ක්‍රීඩාවක ජයක්.මොකද ක්‍රීඩාව කියන්නෙ විද්‍යාත්මක කතාවක්.ක්‍රීඩාවක නමක් වුව දියුණු තලයකදී වෙනස්වීම විද්‍යාත්මකයි.කිසිම ප්‍රජාවකට අගෞරව නොකිරීම විද්‍යාත්මක සහ දියුණු සංස්කෘතික ලක්ෂණයක් වන අතර දියුණු ලෝකයේ ක්‍රීඩාව පාලනය කරන ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව වැනි ආයතනික ව්‍යහුයන් සමස්ත ප්‍රජාවට ක්‍රීඩාවෙන් යම් අගතියක් බෙදීමක් නොවන ආකාරයට ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත වන ආකාරයට ලෝකයට ආදර්ශ සපයමින් කරන මාර්ගෝපදේශණයේ දියුණු සංස්කෘතික ලක්ෂණයක් අවිඥාණිකව හෝ ලංකා සමාජයට සමීප වීමක් හැටියට මේ අවුරුදු ක්‍රීඩාවල නම් වෙනස්වීම හැදින්විය හැකියි.
කිසියම් ආකාරයකට ක්‍රීඩකයෙකුගේ පෙණුම,වර්ණය හෝ වෙනත් වෙනසක් හෑල්ලුවට ලක්වන ආකාරයට ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා විචාරයක් හෝ කළ නොහැකියි.එය වෘත්තිමය ආචාර ධර්ම කෙළෙසීමක් හැටියට සළකා රැකියාවෙන් ඉවත් කළ හැකි මට්ටමේ වරදක් හෝ නැතිනම් යළිත් ඔහුට හෝ ඇයට එම උළෙලේ රාජකාරී නොපැවරීමට හේතුවක් විය හැකියි.ඒත් අපි අවුරුද්දට රටම එකතු වෙන බව කීවාට ඒ එකතු වෙන තැන යම් මනුස්සයෙකුගේ ආබාධයක් විනෝද ක්‍රීඩාවකට ගැනීම වෙනස් කිරීමේ දියුණු තැනකට පිවිසීම ගැන තවමත් දේශපාලන පක්ෂවලට ඇලී ආණඩුවට ලකුණු යන වැඩක් ලෙස සළකා තමන්ගේ ගෝත්‍රිකකම් ප්‍රදර්ශනය කරමින් සිටියි.


මේ අවුරුද්ද අවුරුදු ක්‍රීඩාවල හොඳම දියුණු වෙනසක් සමාජය මත ඇති කළ අවුරුද්ද හැටියට පිළිගන්න සමාජය දියුණු නොවීම ගැන කණගාටුයි.තව දුරටත් අවුරුදු ක්‍රීඩාවන් රටේ සමාජයේ දියුනුවට යොදා ගැනිමට කල්පනා කළ හැකි අතර එහිදි හැම අවුරුදු උත්සවයකටම ඇතුළත් වන කඹ ඇදීම ලෝකයේ ඉහළ මට්ටමේ ක්‍රීඩාවක් වන කඹ ඇදීමේ නීති රීතිවලට යටත් කර සිඳු කළ හැකිනම් ගමක් ගමක් ගාණෙ ලෝකය කඹයෙන් ජයගත හැකි දක්ෂයන් නිර්මාණය වේවි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...