රෂීකා හෙන්නායක
සිංහල ගීත සාහිත්‍යයක් බිහිවීමට පෙර පටන්ම අවුරුද්ද ගැන ලියවුණු කවි ගැන අපට අසන්නට ලැබේ. 1891 දී පමණ ටී. බස්තියන් ද සිල්වා රචනා කරන ලද අවුරුදු මාලය නම් කවි පොත ගීතවලට ආසන්න රචනාවලින් යුක්තය. එහි කවි 79ක් අඩංගුය. බස්තියන් පවසන්නේ සුද්දන්ගේ කාලෙ සංකර වූ අවුරුද්දක් ගැනය.
“සාදුකාර දෙති සුදනෝ කුසල්කර
සූදු කෙළිති පමණක් තරුණෝ අතර
වාද වෙලා උනුනුන් අඩ දබර කර
සූදු කෙළිති තව තැන්වල දනෝ මැර”
අවුරුදු ප්‍රීතිය සැමරීමට සුද්දන්ගේ බලපෑමෙන් පැමිණි මත්පැන් ගැන ඔහු අවුරුදු මාලයේ උපහාසයෙන් සඳහන් කරයි.
“පොටර් බීර විස්කිද රොන් අරක්කු ද
වාකර බීම බ්‍රුන්ඩි ද මත් වෙනා තද
කෑදර වෙලා බීමට තරුණයන් සොඳ
ආදරයෙන් අරන් යති වරුසේ ගැනද”
සිංහල අවුරුද්ද ළඟාවෙද්දී ගැමි පරිසරය වෙනස් වෙයි. අද නම් ඒ වෙනස දැකගැනීමටවත් වැඩි දෙනකුට වෙලාවක් නැත. පරිසරය සමඟ වෙලී පැවතුණු සිද්ධියක් වන අවුරුද්ද 1950 දශකයෙන් පසුව අපගේ ගීත රචකයන්ට අපූරු තේමාවක් සැපයීය. මේ නිසා ගුවන්විදුලි සරල ගීත වශයෙන් අවුරුද්ද තේමා කරගත් ගීත රාශියක් බිහි විය. ඒවා සෑම අවුරුද්දකම ශ්‍රාවක සිත් අවුරුදු මිහිරෙන් උද්දාමයට පත් කරවීමට සමත් විය.
ඒ ගීත අතරින් අප තුළ අපූරු සෞන්දර්ය හැඟීමක් උපදින ගීයක් අවුරුදු කාලයට අද පවා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකාවල ප්‍රචාරය වේ. අවුරුද්දට පමණක් මතක් වන මේ ගායකයා සංගීත ගුරුවරයෙක් වන පියසිරි විජේරත්නය. 1970 දශකයේ නිර්මාණය වුණු හෙන්රි තෙන්නකෝන් ලියූ එම ගීතය මනා රෑපකාර්ථවත් භාෂාවක් භාවිත කරමින් ගම පිළිබඳ වදන් චිත්‍රයක් මවයි.
“බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද
ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද
නැද්ද කනෙයියනෙ රොන් ඉසිලා
බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ මත ඒ මල් ඉහිලා
පාර වටේ ඇති සේරම ගස්
සරුසාර හැඩයි ගෙඩි හට ගැනිලා

වසන්තයේ සිදුවන ගමේ පාරිසරික වෙනස්කම් රුසක් මේ ගුවන්විදුලි සරල ගීයෙන් කදිමට අපට කියා දෙයි. ඉද්ද පනා මල් පිපෙන දසතින් කෝකිල කූජන නැගෙන සොබාදහම බක්මහ අසිරිය සමඟින් එකම මංගල්‍යයක් බවට පත්ව ඇත. කජු ගස්වල මල් පිපී දසතම සුගන්ධය පතුරයි. එරබදු මල් ගස් අලුත් ඇඳුම් ඇඟලා ගත් සේ මලින් බරව පවතී.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ කුසුම් පිපේ අතු පතරේ ගීතය 1960 දශකයේ නිර්මාණය වූවකි. බක්මහ වසන්තයේ කොවුලාගේ නාදය, පිපිණු මල් දනවන හැඟුම් මිහිරිය.
කුසුම් පිපේ අතු පතරේ
සතර දිගන්තේ
කෝකිල කූජනය නැඟේ
මදුර වසන්තේ
