Home විශේෂාංග හැකර්ලා සහ හැකරයෝ!

හැකර්ලා සහ හැකරයෝ!

උපාලි කොළඹගේ

LNW කොළඹ:හැම සතියකටම මොකක් හරි ජංජාලයක්. දීපචෙල්වන්ගේ පොත් රේගුව මගින් රඳවා ගැනීමේ සිද්ධියේ උණුසුම මැකී යෑමටත් පෙර තව එකක්. මේක නම් එසේ මෙසේ එකක් නොව බරපතළ ආර්ථික ඛේදවාචකයක්. අපේ සාහිත්‍යය මණ්ඩල මිතුරන්ට නම් හිත යටින් පොඩි ජොලියකුත් ඇති තමන්ව ප්‍රධාන මාතෘකාවෙන් පොඩ්ඩක් පිට මං වීම ගැන.

කෙසේ වුවත් හැකර්ලා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් ( රුපියල් කෝටි 75 ක්) ඇද ගැනීම එසේ මෙසේ සිද්ධියක් නම් නොවේ. එය අප වගේ කුඩා රට කට සිදුවූ බරපතළ ආර්ථික අපරාධයක්. අපරාධකරුවන් සෘජුව හඳුනා ගැනීමට ක්‍රමයක් නොහැකි වීමද මෙහි බරපතලකම තවත් තීව්‍ර කරන්නක්.

අපේ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්වලට නම් මෙය අතර මැද බෝනස් එකක්. හැකර බලකාය සිද්ධිය දැන ගත් මොහොතේ සිට සමාජ මාධ්‍ය හරහා හා වෙනත් ක්‍රම මගින් පිනුම් ගැසීමට පටන් ගෙන ඇත්තේ ඒ නිසා වෙන්. කටහැකර මයික් ටාසන්ලාට වෙන ස්වර්ගයක් කුමටද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මුහුුණ වෙනදාට වඩා පාට වැටී තිබෙන බවකුයි මා නම් දැක්කෙ.

කොහොම වුණත් කට හැකර සෙට් එක නම් දැනටම හොරු අල්ලා අවසන්ය. මුදල් ගියේ කාගෙ කාගෙ ගිණුම්වලටද යන්න පවා අනුමාන කරති. තම තමන්ට ආණ්ඩුවත් එක්ක ඇති ඇරියස් මේකෙන් කවර් කරන බවකුයි පේන්න තියෙන්නෙ. මහ බැංකු වංචාවට මෙය සමානකර ස්වයං වින්දනයක් ලබන බවක්ද දක්නට ලැබෙනවා. තව සති ගණනක් මේ මස්කට්ට සූප්පු කරන්න මේ ගැංසිය සැදී පැහැදී ඉන්නවා.

විපක්ෂය කිව්ව නැතා සිද්ධිය නම් හරි බරපතලයි. වගකිව යුතු ආණ්ඩුවකට මේක හැකර්ලාගේ වැඩක් කියල අත පිහදා ගන්න නම් කොහොමවත් බෑ. බලයේ සිටින ආණ්ඩුව මෙහි වගකීම බාරගත යුතුයි. මොන දහං ගැටයක් දමා හෝ වගකිව යුත්තන් කොටු කර ගත යුතුයි.

මොන හැකර්ලා වුණත් මේ සල්ලි පිට මං කළේ නීත්‍යනුකූල ක්‍රමවේදයකට නොවන බව පැහැදිලියිනෙ. එසේ නම් එය සිදු වූයේ කෙසේ ද? ඊට ඇතුළතින් අනුබල දුන්නෝ කවරහුද? එසේ ඇතුළත අනුබලයක් නොමැතිව ජාත්‍යන්තර අපරාධකරුවන් විසින් සිදු කළේ එයට බලපෑ හේතුද තිබිය යුතුය. අපේ ක්‍රමවේද අනාරක්ෂිතද? ඒ දුර්වලතාවයට වගකියන්න ඕනෑ කවුද ? මේ සියල්ලටම පිළිතුරු තිබිය යුතුය.
එසේ නොමැතිව විපක්ෂයේ කටහැකරයන් කියන කියන දේශපාලන ප්‍රකාශ වලට උත්තර බැඳීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත.

මෙය මුළු රටටම බලපෑ අවදානමකි. වර්තමානයට පමණක් නොව අනාගතයටද මෙය අවදානම් පිළිඹිඹුවකි. අනාගතයේ මෙවැන්නක් නොසිදු වෙතැයි කිව හැක්කේ කාටද? සිද්ධිය පුළුල් ලෙස අනාවරණය කර ගන්නා තෙක් ඊට සහතික විය නොහැක.

ඩිජිටල් ඩිජිටල් කියා මන්තරයක් ජප කරන ආකාරයට උදේ හවා කියා සිටියත් තවම අප ඒ පැත්තෙන් නොදරුවන් බවය අපට නම් පෙනෙනුයේ. හාන්ස් විජේසූරිය වැනි ඔස්තාර්ලා මෙන්ම මේ විෂයට වෙන්වුනු ඇමතිවරු සිටියත් වැඩ සිද්ධ වන්නේ මේ ආකාරයට නමි සිතා බැලිය යුතු කරුණු එමටය.

ලෝක සම්මතයන්ට අනුව ඩිජිටල්කරණය යාවත්කාලීන කරනවා හැරෙන්නට මෙයට වෙනස් විසඳුමක් ඇතැයි සිතන්නට බෑ.