*
Friday, September 27, 2024
spot_img

Latest Posts

රනිල් නැවතත් අවධානම් කළාපයට,

ජනාධිපති රනිල් ආයෙත් අවධානම් දේශපාලන කලාපයකට ඇතුළු වෙමින් ඉන්නවා.රනිල් 2024 ජනාධිපතිවරණයට ලෑස්ති වෙන අතරවාරයේ ඒ වගේ අවධානමකට මුහුණදීම බරපතල තත්වයක්. රනිල්ගේ පැත්තෙන් හිතුවොත් රනිල් හැකි ඉක්මනින් මේ අවධානම් කලාපයෙන් එලියට එන්න ඕනි. රනිල් අනුප්‍රාප්තික ජනාධිපති විදිහට පත්වුනාට පස්සේ රටේ ජනතාව රනිල් ගැන දැඩි අවධානයක් යොමු කළා.රනිල් කරන්නේ මොකද්ද කියලා පරීක්ෂාවෙන් හිටියා.රනිල් රට හදයි කියන බලාපොරොත්තුවකුත් අවේඥනිකව හරි ජනමස ඇතුළේ තිබුනා.රට සන්සුන් කරගෙන,IMF ක්‍රියාවලිය සක්‍රීය කරගෙන පළවෙනි ණය වාරිකය ගැනීම දක්වා රනිල් හිටියේ වාසිසහගත තැනක.

හැබැයි දැන් ඒක ක්‍රමයෙන් රනිල්ගෙන් ඈත්වෙමින් යනවා. රනිල් මේ අවධානම් කලාපයට තල්ලු කළේ විපක්ෂය නෙවෙයි. සජබයට සහ ජාජබයට ආපු රැල්ලට එහෙම දෙයක් කරන්න බැරිවුනා.දැන් ඒ රැළි බොහෝ දුරට අඩපන වෙලා.එයාලත් ඒක පිලිගන්නවා.ඇත්තටම රනිල් අවධානම් කලාපයට තල්ලු කරන්නේ ආණ්ඩුව ඇතුලේ තියන ගුප්ත ස්වභාවය විසින්.ආණ්ඩුවේ තීරණවල තියන අවිනිශ්චිතකම විසින්.නිකං හිතන්නකෝ මේ රටේ නීතිය ක්‍රියාත්මකවීම ගැන.දැන් මේ රටේ නීතියක් තියනවද කියන සැකයක් ජනතාව තුල හැදෙමින් තියනවා.පසුගිය දවස් ටිකේ මේ රටේ නීතිය පසිඳලන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියා කරපු විදිහ බලන්න.දප්පුලද ලිවේරා,ඩයනා ගමගේ.දේශබන්දු තෙන්නකොන් සම්බන්ධව දුන්න සහ ගත්ත තීරණවලින් ඒක පැහැදිලිව පේනවා.නීතිය කෝලමක් බවට පත්වුන රටක ස්වභාවය රනිල්ට නීතිඥයෙක් විදිහට තේරුම් ගන්න පුළුවන් ඇති.රනිල්ට මුලදී එල්ල උන චෝදනාව උනේ රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියන චෝදනාව.

රට යථාවත් කරනවා කියලා රනිල් බාරගත්ත වගකීම නිසා ඒ චෝදනාව මුලදී යම් පමණකට යටපත් වුනා.ඒ වගේම රාජපක්ෂලාට ඕනි විදිහට රනිල් වැඩ නොකරන බවත් පස්සේ පෙනුනා.විශේෂයෙන්ම බැසිල් ඉල්ලන කැබිනට් ඇමතිකම් ටික දෙන්න රනිල් එකඟ වුනේ නෑ. බැසිල් ඒ ඇරියස් පාවිච්චි කරගනිමින් පොහොට්ටුව ඇතුලේ රනිල් විරෝධයක් නිර්මාණය කළා. මුලදී එයාලා කිව්වේ රනිල් අපේ ජනාධිපති කියලයි.දැන් පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් කියන්නේ රනිල් පොහොට්ටුවේ ජනාධිපති නෙවෙයි ශ්‍රී ලංකාවේ ජනාධිපති කියලයි. රනිල්ට ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන්න වැඩිම සහය දුන්නේ පොහොට්ටුව කියලයි.ඒ සහය දුන්නෙත් රට යථාවත් කරන්න සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නලු.රනිල්ගේ වැඩවලට පොහොට්ටුව බලපෑම් කරන්නේ නෑ කියලත් සාගර කිව්වා.සාගර කාරියවසම්ගේ ඒ ප්‍රකාශයෙන් එකක් පැහැදිලියි.දැන් බැසිල්ගේ කණ්ඩායම ඇවිත් තියෙන්නේ රනිල්ට ගහන තැනකට.

තමන්ට අවශ්‍ය විදිහට රනිල් හසුරවන්නට බැරි නිසා රනිල්ට පහරදීම ආරම්භ කරලා තියනවා. මෙතනදී මහින්ද බැසිල්ට වඩා වෙනස් විදිහට හිතන බව මහින්දගේ සහ නාමල්ගේ ප්‍රකාශවලින් පේනවා.2024 ජනාධිපතිවරණයේ රාජපක්ෂලාට අවස්ථාවක් එන්නේ නැති බව මහින්ද දන්නවා.හැබැයි බැසිල්ට තියෙන්නේ ඊට වැඩිය වෙනස් ප්‍රශ්නයක්.2024 බැසිල්ට බැරි උනොත් ආය බැසිල්ට චාන්ස් එකක් එන්නේ නෑ.මහින්ද හිතන්නේ නාමල්ගේ අනාගතය ගැන.ඒ නිසා මහින්ද ආණ්ඩු බලය වගේම විපක්ෂ බලය ගැනත් හිතන බව පේනවා.මහින්දගේ සහ රනිල්ගේ උවමනාවන්ට සාපේක්ෂව හිතුවොත් බැසිල් ඉන්නේ ඒ දෙන්නටම හතුරු මෙහෙයුමක.මේ තත්වය යටතේ මහින්ද සහ රනිල් අතර අප්‍රකාෂිත එකඟතාවයක් හැදෙන්න පුළුවන්.රනිල් ජනාධිපති වෙනවා නම් අනුර වගේ කෙනෙක් විපක්ෂ නායකධූරයට ඒම මාරාන්තිකයි කියලා රනිලුත් අනිවාර්යයෙන්ම හිතනවා ඇති. එතකොට අනුර කවුද කියලා හෙලි වෙන්න තව කාලයක් යනවා.රනිල් සහ මහින්ද ඒ වගේ තත්වයක් කොහොමද කළමණාකරය කරන්නේ කියලා සමහරවිට කතා කරනවත් ඇති.

මෙතනදී වෙන්නේ ඒක්කෝ රනිල් සහ මහින්දගේ බැදීම තවත් ශක්තිමත් වෙන එක.එහෙමත් නැත්තං රනිල්ට වෙනමම බැසිල්ට යුද්ධ ප්‍රකාශ කරන්න වෙන එක. එතනදී තමයි රනිල්ට පොහොට්ටුව ඇතුලේ ඉන්නවා කියන කණ්ඩායම වැදගත් වෙන්නේ.ඒ කණ්ඩායමේ ප්‍රබලත්වය මත රනිල් සහ රාජපක්ෂලාගේ දේශපාලන බැඳීමේ ස්වභාවය තීරණය වෙයි.2024 දී රාජපක්ෂලාට ගන්න බැරි ජනාධිපතිධූරය ජාජබයට යනවාට රාජපක්ෂලා කොහෙත්ම කැමති නෑ.සජිත්ට යනවටත් ඒ තරම් කමැත්තක් නෑ.රනිල්ට යනවා නම් ඒකට කැමතියි.කොහොම උනත් බැසිල්ගේ කණ්ඩායමෙන් එල්ල වන ප්‍රහාරට මුහුණ දෙන්න රනිල්ට පොහොට්ටුව ඇතුලේ කණ්‌ඩායමට එලියට එන්න වෙනවා.ඒකට රනිල්ට තියන එකම අවිය විධායක බලය විතරයි.රනිල් පොහොට්ටුව ඇතුලේ පරාජය උනොත් රනිල්ට විපක්ෂයෙන් ගන්න තියන සහයෝගයත් නැති වෙනවා. අනිවාර්යයෙන්ම සජිත්ට මේ තත්වය ගැන අවබෝධයක් ඇති.

සජිත් 24 වෙනිදා විපක්ෂයේ බහුතර පක්ෂ එකතු කරගෙන පොදු සම්මුතියක් ගැන කතා කළේ ඒක නිසා වෙන්න පුළුවන්.ආණ්ඩුව ගේන්න හදන ප්‍රතිත්‍රස්ත පනත විපක්ෂයට එකතු වෙන්න වේදිකාවක් හදමින් තියනවා. විපක්ෂයට විතරක් නෙවෙයි රනිල් දුර්වල කරන්න සජිත් සහ බැසිල් අතර උනත් එකඟතාවයක් හැදීමේ විභවයක් එතන තියනවා.එතෙන්ට අවශ්‍ය තත්වය නිර්මාණය කරන්නේ විජේදාස රාජපක්ෂ බව පැහැදිලියි.ගේන්න හදන ප්‍රතිත්‍රස්ත පනතට කාටවත් එකඟ වෙන්න බෑ.විපක්ෂය බැසිල්ගේ කණ්ඩායමේ සහයත් අරගෙන ප්‍රතිත්‍රස්ත පනත පරාද කලොත් රනිල් බරපතල අර්බුදයකට තල්ලු වෙනවා. ඇත්තටම මේක සැලැස්මක්ද?කවුද ප්‍රතිත්‍රස්ත පනත හැදුවේ.ඒකට වගකිව යුත්තෙක් නෑ.විජේදාසත් ඒකේ සමහර තැන්වලට එකඟ නෑලු.අලි සබ්‍රිත් එකඟ නෑලු. එහෙනම් මොකටද ගේන්නේ. පහුගිය දවසක විජේදාස පාර්ලිමේන්තුවේදි X press parl නැවේ වන්දිය ගැන කතා කළා.

අදාල සිංගප්පූරු සමාගම ප්‍රශ්නය ගොඩින් බේරගන්න ගෝඨාභයගේ හිතවතෙකුට ඩොලර් මිලියන 250 ක අල්ලසක් දුන්න බවට තොරතුරු තියනවා කියලා කිව්වා.හැබැයි විජේදාස ඒ කවුද කියලා කිව්වේ නෑ.ඒ ගැන පරීක්ෂණ කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට සහ CID එකට බාර දීලලු තියෙන්නේ. ඇත්තටම මේවා අපභ්‍රංශ.දැන් රනිල්ගේ අණ්ඩුවත් යන්නේ ගෝඨාභයගේ ආණ්ඩුවේ අවසාන කාලය ගිය විදිහට.ජනතාවට බරපතල සැක මතු කරමින්.මේක ඇතුලේ පැහැදිලි කුමන්ත්‍රණයක් තියනවා.ගොඩක් වෙලාවට ඒක රනිල් විරෝධී හැඩයෙන් දියත් වෙන එකක්.රනිල්ට මෙතනදී තවත් අවාසියක් තියනවා.ඒ පාර්ලිමේන්තුව ඇතුලේ විතරක් නෙවෙයි.එලියෙත් එජාපය දුර්වලවීම.රනිල්ට එල්ලවෙන ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරය එල්ල කරන්න හැකි එජාපයක් අද රනිල්ට නෑ.හෙට දවසේ රනිල් පැති තුනක ප්‍රහාරයකට ලක්වෙන එක නවත්වන්න බෑ.සජබය ප්‍රමුඛ විපක්ෂ ප්‍රහාරය.ඊට සමාන හෝ වැඩි ප්‍රහාරයක් ජාජබයෙනුත් එල්ල වෙනවා.

ඊට අමතරව පොහොට්ටුව අභන්තරයෙන් එල්ලවෙන ප්‍රහාරයත් තියනවා.මේ අතරට දැවැන්ත ජනතා විරෝධයකුත් ආවොත් රනිල්ට ඇඩ්රස් නැති වෙනවා.ඒ වගේ තත්වයක් මතු උනොත් රනිල් වෙනුවෙන් ඉන්නවා කියන පොහොට්ටුවේ,සජබේ සහ ශ්‍රිලනිපයේ අයත් චලනය වෙන එක නවත්තන්න බෑ.රනිල් හිතනවා නම් තවදුරටත් ගේම්වලින් ගොඩයන්න ඒක එච්චර ලේසි නෑ.ඇත්තටම රනිල්ට ඉතිරිවෙලා තියෙන්නේ එකම එක පාරයි.ඒ රටේ රාළ කියන විදිහට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් විදිහට ජාතික එකඟතා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම විතරයි.ඒ වෙනුවට රනිල් හදන්න යන්නේ ඇමතිකම් අල්ලසට දෙන ජාතික ආණ්ඩුවක් නම් රනිල්ටත් ඊළග කාල පරිච්ඡේදය ආණ්ඩුවේ බෝඩිමක ගත කරන්න වෙන්න පුළුවන්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan