අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්රහණයත් එක්ක ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවන්නේ 2024 සැප්තැම්බර් 23. එතැන් පටන් 2026 අප්රේල් 28 වෙනිදා දක්වාම ආණ්ඩුව ආපු ගමනේ හිතාගන්නත් අමාරු මට්ටමේ වෙනසක් පැය 24ක් වගේ කාලයක් තුළ දැකගන්නට ලැබුණා. මේ සටහන ඒ වෙනස ගැනයි.
ජාතික ජන බලවේගයේ, එහෙම නැත්නම් මාලිමාවේ ආණ්ඩුව බිහිවෙන්නේ අවුරුදු දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සිදුකරපු අතිදැවැන්ත ප්රචාරක ව්යාපෘතියක් මගින්. ඒ කැම්පේන් එකේ පදනම වුණේ ලංකාවේ දේශපාලනයේ අදූෂිත, සුපිරිසිදු, සුධීමතුන් ඉන්න්නේ මාලිමාවේ විතරයි, අනෙක් හැම පක්ෂයකම ඉන්න සියලු දෙනාම හොරු, වංචාකාරයින්, මංකොල්ලකාරයින් කියන එකයි. ලංකාවේ ජනතාව බහුතරයක් අතරේ ඒ කැම්පේන් එක සුපිරියටම වැඩ කළා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් එහා ගිය 159ක අතිදැවැන්ත බලයක් මාලිමාව ලැබුණේ ඒකයි.
මේ කැම්පේන් එක හරහා ලැබුණු අතිදැවැන්ත බලය ඔවුන් පවත්වාගෙන ගියේ අතිවිශාල උද්දච්ච ස්වරූපයකින්. තමන්ගෙ පාක්ෂිකයින්ව අමන්දානන්දයට පත්කරලා තියාගත්තෙත්, විපක්ෂය තදින් අපහසුතාවට පත්කරලා හිරකරලා තියාගත්තෙත් මේ අති උද්දච්ච හැසිරීම් හරහා. ඒ උද්දච්චකම ඔවුන් සාධාරණීකරණය කළෙත් මුලින් කියපු කැම්පේන් එකේ තේමාව තුළින්ම තමයි. ඒ කියන්නේ අපි හොරු නෙවෙයි, අරුන් ඔක්කොම හොරු, ඒ නිසා හොරුන්ට සලකන්න ඕනෙ උන්ව දෙකයි පනහට දාලා තමයි කියන තර්කයෙන්.
අවුරුදු එකහමාරකටත් චුට්ටක් වැඩි කාලයක් තිස්සේ මේ වැඩේ නැගලා ගියා. මාලිමා පාක්ෂිකයින් හිටියේ හඳටත් උඩින් පියාඹන තරම් චූන් එකකින්. මාලිමාවේ මැති ඇමතිවරුත් විටින් විට පාර්ලිමේන්තු එන ජනාධිපතිවරයාත් ඒ චූන් එක පවත්වාගෙන යන්න අවශ්ය තෙල් ටික, පිදුරු ටික ගාණට සප්ලයි කළා. මේක සදාකාලික තෘප්තියක් කියලා තමයි මාලිමාවියන් හැමෝම වගේ හිතාගෙන හිටියේ.
ඒත් 2026 අප්රේල් 29 – 30 අතර පැය 24ක් තුළ සිදුවුණු සිද්ධි කිහිපයකින් මේ ගුවන් තොටිල්ල හොඳටෝම ගැස්සිලා ගිහින් බව හොඳටෝම පෙනෙන්න තියෙනවා ….
පළවෙනි සිද්ධිය වුණේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාව ඉවත් කරලා ක්රිකට් පරිවර්තන කමිටුවක් හදලා ඒකෙ සභාපති තනතුරට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයක් සහ යහපාලන ආණ්ඩුවේ හිටපු නියෝජ්ය අමාත්යවරයක් වුණු ඉරාන් වික්රමරත්නව පත්කිරීම. ෂම්මිව ඉවත් කිරීම මාලිමාවේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම එකඟයි. හැබැයි ක්රිකට් පරිපාලනයට ඉරාන්ව පත්කිරීම ? අන්න ඒකෙන් නම් මාලිමා පාක්ෂිකයින් ලොකු අවුලකට තල්ලු වෙනවා. මොකද ඉරාන් කියන්නේ ඔවුන් අතර දූෂිතයින්, වංචනිකයින්, හොරු කියලා පට්ට ගහපු සජබ කඳවුරේ ප්රබලයෙක්. අනුර කුමාර දිසානායක මහතාම මීට ටික කලකට කලින් ප්රසිද්ධ වේදිකාවකදී ඉරාන්ට බැනවදිමින් පතුරු අරින වීඩියෝවක් දැනටත් සමාජ මාධ්ය තුළ සංසරණය වෙමින් තියෙනවා. ඉතින් ඒ ඉරාන් හැර මෙතරම් ලොකු තනතුරක් දෙන්න කිසිම කෙනෙක් මාලිමාවේ ඇවිදින පුස්තකාල කියපු උගත් බුද්ධිමතුන් අතරේ හිටියේම නැද්ද කියන ප්රශ්නයට මාලිමා පාක්ෂිකයින්ට උත්තර නෑ. ඔය ප්රශ්නය ආපුවාම මාලිමා පාක්ෂිකයින්ට කටඋත්තර නැතිවෙන බව ජනාධිපති අනුර, ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ ප්රධානීන් නොදන්නවා නෙවෙයිනෙ ? නමුත් ඔවුන්ට ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා මොකක් හෝ හේතුවක් මත.
ඊළඟ සිද්ධිය වුණේ මුදල් අමාත්යාංශ ලේකම් හර්ෂණ සූරිප්පෙරුමව රජයේ මුදල් කාරකසභාවට, එහෙම නැත්නම් COPF කමිටුව හමුවට කැඳවීමේදී. මේ කමිටුවේ සභාපති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා. මහාභාණ්ඩාරයේ සිදුවෙලා තියෙන ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන අහන්න මුදල් අමාත්යාංශ ලේකම්වරයාව COPF කමිටුව හමුවට කැඳවනවා කියපු ගමන් මුදල් අමාත්යාංශ ලේකම් ඒ කමිටුවට දැනුම් දීලා තිබුණේ තමන්ට එන්න බැරි බවක්. හර්ෂණ සූරියප්පෙරුම එහෙම එන්න බෑ කිව්වේ එයාට බඩේ අමාරුවක් හැදිලා නිසා හෝ ආච්චි අම්මා කෙනෙක්ගෙ මළගෙදරක් නිසා නෙවෙයිනෙ. හර්ෂණට ඔයිට කලිනුත් අවස්ථා කිහිපයකදී COPF කමිටුවට එන්න කියලා තිබුණත් ඔහු ගිහින් තිබුණේ නෑ. ඒ ගැන ඔයිට දවසකට කලින් තිබුණු කැබිනට් මාධ්ය හමුවේදී කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් ඇහුවාම ඔහු කිව්වේ “ඔය නිලධාරීන්ව නිතර නිතර පාර්ලිමේන්තුවට ගෙන්වලා ප්රශ්න කරන එක කාලය නාස්ති කිරීමක්. ඔවුන්ට වෙන වැඩ තියෙනවා. හර්ෂ ද සිල්වාත් ඒක තේරුම් ගන්න ඕනෙ” වගේ උද්දච්ච කතාවක්. ඔය හර්ෂණ සූරියප්පෙරුම කලින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු, මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය ඇමති ධුරයේ ඉඳලා ඒකෙන් අයින් වෙලා මුදල් අමාත්යංශ ලේකම්කමට ගියපු කෙනෙක්. ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙක්. ඉතින් ජනාධිපතිගේ හයියත් ඇඟට අරන් ඔහු COPF කමිටුවට එන්න බෑ කියපු බව තමයි පෙනෙන්න තිබුණේ. හැබැයි පැය 24ක් යන්නත් කලින් හර්ෂණගේ ඒ තීරණය රිවස් වුණා. කමිටුවට එන්න බෑ කියලා 29 වෙනිදා ලියුමක් යවපු හර්ෂණ 30 වෙනිදා හවස් වෙනකොට අර රැස් වළල්ල ඔක්කොම අකුලාගෙන කමිටුව හමුවට ආවා, ඇවිත් හර්ෂලාගේ ප්රශ්න කිරීමට ලක්වුණා. මෙතනදීත් හර්ෂණ වෙනුවෙන් පෙනී හිටපු මාලිමා පාක්ෂිකයින් අවුලකට පත්වෙනවා කියලා දැන දැන වුණත් පැලවත්තේ පාලකයින්ට හර්ෂණව COPF කමිටුවට යවන්නම වෙන මොකක් හෝ යමක් සිද්ධ වෙලා තියෙන බව පැහැදිලියි.
ඊළඟ එක තමයි මේ ඩොලර් මිලියන 2.5 හොරකම ගැන විපක්ෂය ඉල්ලපු පාර්ලිමේන්තු විවාදය. කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ ඩොලර් මිලියන 2.5 සිද්ධිය ගැන එක්දින පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නය කියලා විපක්ෂය දිගින් දිගටම ඉල්ලීම් කළත් ආණ්ඩු පක්ෂය ඒ ඉල්ලීම දිගින් දිගටම ප්රතික්ෂේප කළ බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක 29 වෙනිදා මාධ්යට කියලා තිබුණා. සාමාන්යයෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙද්දී ප්රසිද්ධියේම පවා සභානායක බිමල් රත්නායක විපක්ෂය ඉදිරියේ හැසිරෙන අති උද්දච්ච ස්වරූපය කවුරුත් දන්නා දෙයක්නෙ. විපක්ෂයේ මන්ත්රීවරුන් කතා කරන්න අවස්ථාව දෙන්න පවා එපා කියමින් කථානායකවරයාටත් අණ දෙමින් තමයි බිමල් සාමාන්යයෙන් පාර්ලිමේන්තුවේදී ප්රසිද්ධියේමත් හැසිරෙන්නේ. මාධ්ය හරහා හැමෝම බලාගෙන ඉන්න තැනදීත් එහෙම නම් මාධ්ය නැති පක්ෂ නායක රැස්වීමේදී බිමල් කොහොම හැසිරෙනවා ඇතිද කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැනෙ. ඒත් 30 වෙනිදා හවස් වෙනකොට මෙන්න කථානායකවරයා මහනුවර තිබුණු උත්සවයකින් පස්සේ මාධ්යට කතා කරලා කියනවා විපක්ෂය ඉල්ලපු විවාදය ලබාදෙන්න සභානායකවරයා එකඟවුණාය, ඒ අනුව ලබන සතියේදී ඒ විවාදය තියෙනවාය කියලා. විවාදයක් දෙන්න බැහැමයි කියලා ගත්තු තීරණයත් පැය 24ක් යන්නත් කලින් රිවස් කරගන්න පැලවත්තේ ප්රධානීන්ට සිද්ධ වෙලා තියෙනවා. මේක ලොවෙත් එයාලාගෙ සාමාන්ය හැසිරීම නම් නෙවෙයි.
කෙසේවෙතත් මේ පැය 24ක් ඇතුළත ඉතාම වේගයෙන් සිද්ධ වුණු සිද්ධි තුනක්. මේවා මහා ලොකු දේවල් නෙවෙයි කියලා මාලිමාවේ සේදුම් කාරකසභාවට කියන්න පුළුවන්. (රට පාලනය කරන එක ගැන ප්රධාන තීන්දු ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභාව. පාලනය කරගෙන යද්දී මොකක් හෝ අවුලක් වුණාම වැඩේ බාරදෙන්නේ මාලිමාවේ සේදුම් කාරකසභාවට. ජනප්රිය වදනින් කිව්වොත් ඩෝබිවරුන්, එහෙමත් නැත්නම් වොෂින්ටන්වරුන්ට. මේ දොගොල්ලො තමයි ආණ්ඩුවේ තීරණාත්මකම වැඩකොටස කරන්නේ කියලාත් කියන්න පුළුවන්) සේදුම් කාරකසභිකයින් කොහොම හෝදන්න හැදුවත් පිටට තවමත් නොපෙන්නපු විශාල ප්රශ්නයක් ආණ්ඩුව හමුවේ තියෙන බව මේ වෙච්චි ටිකෙන් පැහැදිලියි. මොකද, මේ කට්ටිය මෙතෙක් වැඩේ කරගෙන ගිය විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තියෙන නිසා.
ඒ වගේම මෙතෙක් හැමෝම හිතාගෙන හිටියේ මාලිමා ආණ්ඩුව එළියට පේන්න තිබුණාට රාජ්ය පාලනයේදී උඩින්ම ඉන්නේ පැලවත්ත කියලානෙ. හැබැයි මේ වෙච්චි සිද්ධි ටිකෙන් පේනවා පැලවත්තටත් ඉහළින් කවුරුන් හෝ ඉන්නවාය කියලා එකක්. කොහොම වුණත් සිද්ධි සිද්ධ වෙන වේගය අනුව ඕක ගොඩ දවසක් හැංගිලා තියෙන එකක් නැහැ. අපිත් බලන් ඉන්නේ පැලවත්තටත් ඉහළින් ඉන්න කෙනා කවුද කියන එක ගැන තමයි ….
~ රජිත විරාජ්


