කොළඹ LNW:ලංකා පොස්පේට් සමාගම මගින් 2023-2024 කාලසීමාව තුළ රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පෙස්පේට් මෙට්‍රික් ටොන් 29,982 ක් D.M Traders, Disaru International, Ichiban යන පුද්ගලික සමාගම් තුනකට අපනයනය සඳහා අලෙවි කර ඇති බවයි.
මෙම සමාගම් තුන කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව තෝරාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර මින් වැඩිම පොස්පේට් ප්‍රමාණයක් ලබාගෙන ඇති D.M Traders යන ආයතනය නමින් ව්‍යාපාර ලියාපදිංචියක් හෝ කාර්යාලයක් නොමැති බවටද හෙළි වී ඇති බව සඳහන්.
එමෙන්ම 1999 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මගින් නිශ්චිත කොන්දේසි සපුරන තෙක් අපනයනය සඳහා එප්පාවල පොස්පේට් නිකුත් නොකිරීමටද නියෝගයක් ඇති බවට අනාවරණය වී තිබේ.
මෙම සෑම පොස්පේට් මෙට්‍රික් ටොන් එකකටම රුපියල් 2,500 බැගින් Global Projects Connect Private Limited නමැති සමාගමකට ගෙවීමට ඉහත සමාගම් සැක සහිත ගිවිසුමකට එළඹ ඇතැයිද එවකට රජයේ පරිසර අමාත්‍ය නසිර් අහමඩ් මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකුගේ උපදෙස් මත එම ගිවිසුම් අත්සන් කර ඇති බවටද කරුණු හෙළි වී ඇත.
ඒ අනුව ඊට අදාළ ලේඛන සම්බන්ධ විමර්ශනය කිරීමට මෙම Global Project සමාගමේ හිමිකරු වන නවීන් පෙරේරා යන අයගේ නිවස නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයෙහි නිලධාරීන් විසින් පසුගිය 30 දින සෝදිසියට ලක් කිරීමටද පියවර ගෙන තිබුණි.
එහිදී බලපත්‍ර නොමැති කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක්ද වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වෙත හමුවී ඇති අතර ඒ සම්බන්ධව නවීන් පෙරේරා යන අය අධිකරණය වෙත ඉදිරිපත් කර මේ වන විට ඇප මත මුදා හැර ඇත.
ඉහත සමාගම් වෙත ඇණවුම් ලබාදීමට නියම කර ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බවට ප්‍රකාශ මගින් අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව සහ ඉහත Global Projects සමාගම සමග ඇති කරගත් ගිවිසුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඒ මහතාගේ ප්‍රකාශයක් ලබා ගැනීමටද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශ නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක්ද ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාගෙන් අද (03) දිනයේදී බදුල්ල බන්ධනාගාරයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.
