වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකියි – අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සිය දිවි දෙවෙනිකොට රාජකාරි කරන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බවත්, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යතුමිය මේ බව පැවසුවේ පසුගිය දා ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනයක් අභිනවයෙන් විවෘත කරමින් පැවති උත්සවයේදී පැමිණ සිටි පිරිස අමතමිනි. මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය සඳහා රුපියල් මිලියන 1050ක් පමණ වැයකොට ඇති අතර ඒ සඳහා ඇමරිකානු ආධාර (USAID) හිමිවී ඇත. සිය දිවිය දෙවැනිකොට රාජකාරිකරන නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය වෙනුවෙන් සහතිකයක් ලැබිය යුතු බවත්, එම නිලධාරීන්ගේ කැපකිරීමට අගයක් ලැබිය යුතු බවත්, තමන් අමාත්‍යධුරය ලබාගෙන මාස තුනකට ආසන්න කාලයක් තුළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අභ්‍යන්තර ගැටලු රාශියක් විසඳීමට කටයුතු කළ බවත්, එම නිලධාරීන් තෘප්තියෙන් සිය රාජකාරි නොකරන්නේ නම් ආයතනය පවත්වාගෙන යාමට නොහැකි බවත්, අමාත්‍යතුමිය සඳහන් කළාය.

වනජිවී දෙපාර්තමෙින්තුව රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ දෙපාර්තමෙින්තුවක් බවත්, එම දෙපාර්තමේන්තුවටම අනන්‍ය ජීව ගුණයක් පවත්න බවත්, වනජීවී දෙපාර්තමේන්තුවට මෙවන් ආයතනයක් ඇති කරමින් හොඳ පුහුණුවක් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් විෂයය භාර අමාත්‍යවරයා ලෙස තමන් සතුටු වන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මෙම ආයතනය රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බවත්, මෙම ආයතනයේ නඩත්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුහුණු සැසි නොමැති අවස්ථාවලදී යම් මුදලක් අයකරමින් භාහිර පාර්ශවයනට දිය හැකි නම් එමගින් එදිනෙදා නඩත්තු කටයුතු කරගෙන යාමට හැකියාව ඇති බවත්, අමාත්‍යතුමිය තවදුරටත් පැවසුවාය.

අභිනවයෙන් විවෘත කළ වනජීවී පුහුණු ආයතනය පොළොන්නරුව දිස්ත්‍රික්කයටම සුවිශේෂී සම්පතක් බවත්, මෙම පුහුණු ආයතනය තුළ විදේශ නිලධාරීන් පුහුණු කිරීමේ මට්ටමට පවත්වාගෙන යාමට හැකි වුවහොත් අපරටේ ස්වභාවික සම්පත් මෙන්ම වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බවත්, අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

අප රට සම්බන්ධයෙන් ලොව තුළ හොඳින් හඳුනන්නේ ඉතාම සුළු පිරිසක් බවත්, මෙරට තිබෙන සුන්දරතාවය හඳුනන්නේ ඉතාම සුළු පිරිසක් බවත්, අමාත්‍යතුමිය සඳහන් කළාය.
ලොව බොහෝමයක් රටවල ජනතාව ශීත දේශගුණය හේතුවෙන් දුෂ්කර ලෙස ජීවත් වන නමුත් මෙරට ජනතාවට එවන් තත්වයකින් තොරව ජීවත් වීමට තරම් භාග්‍යයක් හිමිවී ඇති බවත්, ශීත දේශගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට වරක් හෝ මෙරටට පැමිණිම අතිශය සතුටු දනවන කරුණක් බවත්, මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය ඒ සඳහා මහඟු දායකත්වයක් සපයන ස්ථානයක් බවට පත්කළ හැකි බවත්, අමාත්‍යතුමිය තවදුරටත් පැවසුවාය.

කලකට පෙර වන ගහනය සහ ජනතාව අතර විශාල පරතරයක් තිබුනද අද වන විට ජනගහනය වැඩිවීම හේතුවෙන් ඉඩම් සම්බන්ධ ගැටලු පැනනැඟී ඇති බවත්, වත්මන් තත්වය යටතේ වන සංරක්ෂණය සහ වනජීවීන් ආරක්ෂා කිරීම සමබර විය යුතු බවත්, වනජීවීන් සංරක්ෂණය කරනවා සේම ජනතාවගේ අයිතීනුත් සුරැකිය යුතුබවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...