*
Sunday, May 26, 2024
spot_img

Latest Posts

ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි ….

බොහෝ කාලයකට පෙර රත්මලේ බන්දුල ගුණවර්ධන විසින් සෙව්වන්දි රණතුංග සහ නිර්මලා රණතුංග වෙනුවෙන් ‘සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ’ යනුවෙන් ගීතයක් රචනා කළේය. එහි පළමුවැනි අන්තරා කොටස් මෙස විය.

‘බලන්න ආසයි බටහිර සැන්දෑ අහසේ
ඉගිල්ලෙන්න ද මම කිරිල්ලියක වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ’

ඊටත් බොහෝ කාලයකට පෙර ලූෂන් බුලත්සිංහල විසින් තම දියණිය ඊෂා ඉන්ද්‍රචාපා බුලත්සිංහල වෙනුවෙන් ‘මල් ගෙනාවේ දුර ඉඳන්’ යනුවෙන් ගීයක් රචනා කළේය. එහි මුල් අන්තරා කොටස මෙසේ විය.

‘දියට බහින්නත් පුංචි සන්දියේ
නෑ ඉඩ දුන්නේ අපෙ අම්මා
දැරියන් ඇදගෙන යන හැඩි කිඹුලන්
වැව් ඉවුරින් මතු වන හින්දා…’

‘මව සහ දුව’ නම් සංවේගජනක නවකතාව රචනා කළේ කරුණාසේන ජයලත් විසිනි. එය මෙරට සාම්ප්‍රදායික සමාජය විසින් ස්ත්‍රිය හිස මත බලහත්කාරයෙන් ඔබ්බවන සංස්කෘතික කටු ඔටුන්නෙහි කැඩපතක් බඳු කතා පුවතකි.

රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත නිරංජලා සරොජිනී ගයන ‘සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා’ නම් ගීතයේ දෙවැනි අන්තරා කොටසේ මෙසේ සඳහන් වේ.

‘ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුලු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..’

නුවර කලාවියේ ජනකවියක් ඇසුරින් ඇරඹෙන ගීතයේ අවසාන අන්තරා කොටසේ එන ‘වී අහුලන කුරුලු කොබෙයියන්ගේ පෙරහැර’ වටහාගත නොහැකිව දසක එක හමාරක් පමණ කුහුලෙන් පීඩිත වූ මම අදට අඩ දසකයකට පෙර රත්න ශ්‍රී විජේසිංහයන් වෙතින් ම ඒ ගැටළුව විසඳා ගතිමි. මාතර වෙරළ තීරයක පශ්චාත් සාහිත්‍ය සංවාද මධු සාදයක් මැද ගේය පද රචකයා විසින් කුහුල් රසිකයා වෙත පැහැදිලි කිරීම ඉදිරිපත් කළේය.

දකුණේ ජනවහරට අනුව නිවෙසක තිඹිරි ගෙහි පිරිමි පුතෙක් උපන්නේ නම් කුරුළු කොබෙයි රංචු පිටින් විත් නිවස වටා මහ හඬින් ප්‍රීති ඝෝෂා නගන්නේ මේ දරුවා විසින් මතු යම් දිනක ප්‍රවේණි කුඹුරු සියල්ල පුරන් වනු නොදී වගා කටයුතු පිළිබඳ වග බලාගන්නා බැවිනි. වඩාත් පැහැදිලි කළහොත් කුරුලු කොබෙයියන් හට ආහාර පිණිස වී කරල් අහුලාගන්නට නම් ගමේ සිට හේන් කුඹුරු අස්වද්දන පුතෙකු විනා කල වයස ආ පසු පිට ගමකට දීග යන දියණියක ඉපදීමෙන් පලක් නැත.

නමුත් ඒ පැදි පළෙහි මුල් වදන් කීපය වාච්‍යාර්ථය ඉක්මවන අමිහිරි යථාර්ථයක් අවදි කරවනසුලු ය.

‘ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි’

කන්‍යාභාවය, කුමර බඹසර හෝ විවාහක – අවිවාහක බව වැනි සාම්ප්‍රදායික සහ ගතානුගතික හණ මිටි පසෙකලා කල්පනා කළහොත් දියණියක උපන්දා සිට ගැහැනියකගේ සංසාර බර උග්‍ර වනවා විනා අඩු වීමක් මේ සමාජ ක්‍රමයේ ඔබ දකිනවාද ?

නැවත වතාවක් රත්මලේ බන්දුල ගුණවර්ධනයන්ගේ ගීතය දෙසට හැරෙන්නේ නම් ඒ ගීතය තුළ දියණියගේ සමස්ත වගකීම ම මව මත පැවරෙන ඛේදවාචකයේ සෙවණැල්ල ඔබ නොදකින්නේ ද ?

‘අහන්න ආසයි තුරු හිස කුරුළු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ
ගැයෙනා මුතුකැට පදවැල් සීරෙනවිට කඳුළු ගලයි
ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ…’

ලක්ෂ සංඛ්‍යාත ජීවිත රැගත් හිරෝෂිමා – නාගසාකි නගරද්වය පොළවට සමතලා වන්නට තත්පර කිහිපයක් පමණක් ම ගත වූ මේ මිහි මත එක් මනුෂ්‍ය ජීවිතයක සමස්තය ම කඩා වැටෙන්නට ද ගත වන්නේ ඒ හා සමාන ම කාල වේලාවකි.

ඉතිහාසය පුරා දියණියක විපතට හෝ අමානුෂික ඉරණමකට මුහුණ දුන් මොහොතේ සිට පෘථිවියේ සිට එහා කොණ චක්‍රාවාටය වන තෙක් ම වෙසන ජීවින් අවධානය යොමු කරන්නේ ඇයගේ මව වෙත පමණක්යැයි ඔබ නිරීක්ෂණය කර තිබේ ද ? බහ නොතේරෙන වියක පසු වූ සේයා සදෙව්මි දැරියගේ සිදුවීමේ සිට වයස තිහකට ආසන්නව හංවැල්ලේ දී හිස සිඳ ගමන් මල්ලකට බහාලු තරුණියගේ සිදුවීම දක්වා ම අප අත් දුටු ඒ සිදුවීම මේ වන විට කළුතර පාසල් දැරියගේ සිදුවීම තුළ ද ප්‍රතිනිර්මාණය වෙමින් පවතී.

නමුත් ;

මාධ්‍ය ආයතන හෝ ඔබ මා මෙන් මෙලෙස අදහස් දක්වන්නන් සේයා සදෙව්මි ඝාතකයාගේ හෝ හංවැල්ල සිදුවීමේ ඝාතකයාගේ එසේත් නැතිනම් කළුතර සිදුවීමේ ඝාතකයාගේ මව සොයා ගොස් මෙබඳු තිරස්චීන අපරාධයක් කරන මට්ටමකට පුතෙක් උස් මහත් කළේ මන්දැයි යනුවෙන් හෝ පිරිමි දරුවෙක් මනුෂ්‍යයෙක් ලෙස උස් මහත් කරන්නට අපොහොසත් වූයේ මන්දැයි යනුවෙන් විමසනවා ඔබ දැක තිබේද ?

ජීවිතයේ දෙවන වරටත් ලිවීමක් තුළින් මේ පැණය අසමි.

කාන්තාවක් ගැහැනු දරුවෙක් ලෙසින් ඉපදුණු පමණින් පිරිමි දරුවෙක්ට වඩා සමාජ සංස්කෘතික වගකීමක් භාරගත යුතු ද ?

රත්න ශ්‍රී විජේසිංහයන් සමග සාමීචියේ යෙදී අඩ දසකයකට පසු මා මගේ අදහස වෙනස් කර ගතිමි.

ගැහැනු ළමයෙක් ඉපදුණු විට ඇය උස් මහත් කර හදා වඩා ගැනීම ද ඇයගේ ජීවිතය පිළිබඳ සියලු වගකීම් ද මව විසින් භාරගත යුතු ; නමුත් පිරිමි ළමයෙක් අරභයා එවන් කිසිදු වගකීමක් භාරගත යුතු නොවන පසුගාමී සමාජයක ‘කුරුලු කොබෙයි පෙරහැර කරවන්නේ’ උන්ගේ බඩවියත රැකීමේ ආත්මාර්ථකාමි සතුටට නොවන්නේය.

අර තිඹිරි ගෙය තුළ; බොහෝ විළි රුදා දැරූ ගැහැනිය අවසන් හුස්ම තෙක් ම තමා හිස මත වගකීම පවරාලන ගැහැනු දරුවෙක් වෙනුවට එක් වගකීම් සියල්ලෙන් ම වියුක්ත පිරිමි පුතෙක් වදා මේ පීඩාකාරී සමාජ සංසාරයෙන් බර හෑල්ලු කරගත් සතුට සමරනු පිණිස ඔවුහු තුටු ගොස නගන්නාහුය.

එනයින් බලන කල කුරුලු කොබෙයියන් ජීවත් වන්නේ ඔබට ද මට ද ගව් ගණනක් ඉදිරියෙනි.

~ සහන් කසීර වික්‍රමසිංහ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan