ශ්‍රීලනිප සභාපති විජයදාසට හෙට ලැබෙන තීන්දුව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස , අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන නියෝගය හෙට (15) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (14) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත. පැමිණිල්ල සලකාබැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, 

“ඉකුත් 12 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව විජයදාස රාජපක්ෂ මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. එම කරුණට අදාළව ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලූ කඩුවෙල දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් ඊයේ දින වාරණ නියෝගයක් නිකුත් කළා. එම වාරණ නියෝගයට පටහැනිවයි මෙම පෙත්සම අද දින ඉදිරිපත් කර තිබෙන්නේ.”ඒ අනුව පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ. මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අධිකරණ බලය අවභාවිතා කරමින්.” 

යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය සලකා බැලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කළ බව කියන වාරණ නියෝගය හෝ ඊට අදාළ නොතීසි කිසිවක් මාගේ සේවාදායකයාට ලැබී නෑ. එම නිසා එම වාරණ නියෝගය මාගේ සේවාදායකයාට අදාළ නොවන බව සඳහන් කළ යුතුයි. එමෙන්ම කඩුවෙල අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය මගින් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා කිරීමට හැකියාවක් නෑ. ප්‍රශ්නගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම යැයි කියන රැස්වීමක් ඉකුත් 12 වනදා පැවැත් වුණේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ.”

“එසේ තිබියදී කඩුවෙල දිසා අධිකරණය හමුවේ අදාළ නඩුව පවරනු ලැබුවේ කෙසේ ද? කියා ප්‍රශ්නයක් මතු වෙනවා. මේ ආකාරයෙන් නඩු පැවරීමට ගියහොත් මාතර, යාපනය, ත්‍රිකුණාමලය වැනි අධිකරණවලට ගොස් නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා. මාගේ සේවාදායකයාට ඕනෑම අධිකරණයක නඩු පැවරීමට හිමිකමක් තිබෙනවා. ඒක ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකමක්. එම මූලික අයිතිය සීමා කිරීමට හැකියාවක් නෑ.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය. 

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...