*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ජිලාඩා බැබුන්: කටුක මහ දුර්ගය උන්ට මහ කෙම්බිමකි! – BBC Planet Earth Series

ඇතැමුන් සිතනා ආකාරයට උස් ගිරි හිසක් ජයගැනීම විස්කමකි. එහෙත් සැබවින් ම මනුෂ්‍යයා මේ උස් ගිරි හිස් ජයගන්නවා නොවේ. ඔහුට කිසිදා ඒවා ජයගත නොහැකිය. මිනිසා ට කළ හැක්කේ එහි සංචාරකයකු බව ට පත්වීම පමණකි.

අප්‍රිකාවේ පියැස්ස සාදනුයේ සැතපුම් පන්සියයක් පුළුල් පාෂාණමය ඩෝමයක් හෙවත් වටකුරු කඳු මුදුනක් විසිනි. වසර සහස් ගණනක් මුළුල්ලේ, දළ වශයෙන් අවුරුදු මිලියන හැත්තෑවක් මුළුල්ලේ අයිස් සහ වර්ෂාව විසින් මේ පියස්සේ කැනියොන් සහ විවිධාකාර වළ ගොඩැලි නිර්මාණය කර තිබේ. සැතපුම් තුනක් පමණ දුරට ඒවායේ කඳු මුදුන් විහිදේ. ඉතිහාසයේ අමතක නොවන මුද්‍රා තැබීමට සමත්වූ අලංකාර කඳුකරවාසීන් පිරිසක් මෙහි වෙසෙති. ඔවුන් නම්, ජිලාඩා බැබුනයන් ය.

ජිලාඩා බැබුනයන් ඉතියෝපියානු කඳුකරයට ම ආවේණික ය. උස් ගිරි ශිඛර තරණය කිරීම සඳහා උන් හට ආවේණික සමත්කමක් තිබේ. උන් අති දක්ෂ ය. සුපිරි කඳු නඟින්නෝ වෙති. අවැසි නම් ප්‍රපාතයක වුවත් වැටීමට සමත් ය. එතරම් දුරකට උහු ශරීරය සමබර කිරීමේ කලාව ප්‍රගුණ කර සිටිති.

එය අහම්බෙන් නොවේ. ඒ සඳහා සොබාදහම අනුපමය ත්‍යාගයක් ඔවුන් ට දී තිබේ. සියලු ප්‍රයිමේටාවන් අතරින් ශක්තිමත් ම ඇඟිලි තිබෙනුයේ ජිලාඩා බැබුනයන් ට ය. සහජයෙන්ම ලද බිය රහිත ධෛර්යය ද ඔවුන් ට ආදර්ශයකි. එහෙත් මේ අති දුෂ්තර දුර්ගමය කඳුකරයේ නොනැසී ජීවත්වීම ට නම්, ඉහළ නැඟීමේ ආශාවෙන් මඬනා ලද හිසකට අමතරව තවත් බොහෝ දේ වුවමනා කෙරේ.

කොතරම් දක්ෂ සත්ව කොට්ඨාසයක් වුවත් ජිලාඩා බැබුනයන් ට ජීවිතයේ සෑම දිනයක් ම අභියෝගයකි. මේ ගිරි ශිඛරයේ නොනැසී ජීවත්වීම ට නම් උන් අනුගමනය කළ යුතු දෛනික කාලසටහනක් පවා තිබේ. ඒ අනුව සෑම වානරයකු ට ම උදෑසන යනු සිරුර පිරිසුදු කරගන්නා වේලාවයි. එසේම එය මිතුරන් සමඟ ගැවසෙන වේලාව ද වේ. උහු මෙවිට සිය ලොම් අතර, සැඟවී සිටිනා මැක්කන් ආදී සතුන් නොනැවතී ඉවත් කරති. උන් ඉතා යුහුසුළු ය. ඒ අතර ම ඔබටත් මටත් සිතාගත නොහැකි තරමට දොඩමලු ය. මේ සමාජශීලී සත්වයන් එකිනෙකාගේ සුවදුක් පවා විචාරනු දැකගත හැකිය.

එහෙත් දිනක් තුළ ජිලාඩා බැබුනයන් ඉටු කළ යුතු කුදුමහත් රාජකාරි සමූහයක් තිබේ. දුර්ගය මත රැය පහන් කළත් දිවා කාලයේදී ද එහි ම රැඳී සිටීමට බොහෝ වානරයන් කැමතිවන්නේ නැත. එයට ප්‍රධානතම හේතුව වන්නේ කෘමීන් හා පලතුරු එහි හිඟවීමයි. එහෙත් ඒ අතින් ජිලාඩ් වානරයන් අති විශිෂ්ට ය. වනයේ පෙනෙන තෙක් මානයක පලතුරක් පෙනෙන්නට නැතත්, පසු බසින්නේ උන් නොවේ. උහු එවිට තණකොළ ආහාරයට ගනිති. සම්පූර්ණයෙන් ම පාහේ තණකොළ මත යැපෙන ලොව එකම වඳුරු විශේෂය වන්නේ ජිලාඩා බැබුනයන් ය.

උන්ගේ ගහණ ගණත්වය අති මහත් ය. ඇතැම් කණ්ඩායමක සාමාජිකයන් අටසියයක්වත් වෙති. තණපත් පිරුණු තැනිතලා මතට උන්ගේ කඩාවැදීමත්- ග්නූ නමැති දකුණු අප්‍රිකානු මුව රංචුවක් තැනිතලාවකට කඩාවැදීමත් අතර වෙනසක් නැති තරම් ය.

ජිලාඩා බැබුනයන් තැනිතලාවේ ජීවත්වන්නේ වලියා අයිබෙක්ස් නමැති මුව විශේෂය ද සමඟිනි. මේ අයිබෙක්ස් සතුන් ඉතා දුර්ලභ ය. එසේම ඉතා ලැජ්ජාශීලී ය. එහෙත් ජිලාඩා බැබුනයන් අතර සිටියදී උහු ඒ ලැජ්ජා බය බොහෝ දුරකට අතහැර ගනිති. එකම ආහාරය වන තණපත් මත දෙපිරිසම රැඳුණත් උන් අතර ආහාරය වෙනුවෙන් සටනක් හෝ තරගයක් නැත. උහු හොඳ මිතුරෝ වෙති. මේ සහජීවනයෙන් දෙපිරිසට ම වාසි සැලසේ. සෙස්සන් ඔබ වෙනුවෙන් මුර සෝදිසියේ යෙදෙයි නම් මදක ට හිස බිමට හැරවීම අනතුරුදායක නොවන්නා සේ ය. මේ දෙදෙනාගෙන් දෙදෙනාට සැලසෙන වාසිය ආරක්ෂාවයි. වලියා අයිබෙක්ස් ලා හිස බිමට නැඹුරු කරගෙන මුර සෝදිසියේ යෙදෙන විට තණපත් බුදින ජිලාඩ් බැබුනයන් මුර සෝදිසියේ ය. බැබුනයන් තණපත් බුදින විට අයිබෙක්ස් ලා මුර සෝදිසියේ ය.

ඉතියෝපියානු වෘකයා ඔවුන්ගේ පොදු සතුරෙකි. මේ වෘකයෝ දිවා ආලෝකය විහිදී ඇති විට ගොදුර වෙත කඩාපැනීම ට යුහුසුළු නොවෙති. ඒ සඳහා ගොම්මන උදා විය යුතු ය. අඳුරු වැටෙන විට සානුව කෙමෙන් බියජනක තැනක් බවට පත්වෙයි. නමුත් නිදා වැටීම සඳහා නැවත වරක් දුර්ගයට යාමට පෙර එකිනෙකා සමඟ සතුටු සාමිචියේ යෙදීමට ලැබෙන අවසන් අවස්ථාවත් මෙයම ය. එනිසා උහු නැවත වරක් උදෑසන සේ ම එකිනෙකාගේ ශරීරයේ ලොම් පිරිමැදගැනීම අරඹති.

ක්‍රමයෙන් මළ හිරුගේ සෙවණැල්ල සමඟ ඉතියෝපියානු වෘකයන් විසින් පතිත කරවන මරණයේ සෙවණැල්ල ද සානුව මත එකවිට වැටේ. ජිලාඩ් බැබුනයන් ට එසැණින් අනතුර හැඟෙයි. උහු මොරගෑමට පටන්ගනිති. මුලින්ම අනතුර ගැන ඉව වැටුණු බැබුනයා ඒ බව සෙස්සන් ට ද දැනුම් දෙයි. දැන් එතැන එකම ගාලගෝට්ටියකි. ඉතියෝපියානු වෘකයෝ ක්‍රමයෙන් සානුව පාමුල ට පැමිණෙති. බැබුනයෝ සානුව මැද්දේ කොටුවෙති. ඒ අතර සිටින වියපත් බැබුනයෙක් ළඟ එන මරණය ට ද දත නියවයි.

වෘකයන් විදුලි වේගයෙන් දුර්ගය තරණය කර සානුව මත ට පිය නගත් ම බැබුනයන්ගේ මහා පලා යාම ඇරඹේ. උහු විදුලි සර සේ සානුවෙන් පහළට බසිති. දුර්ග බෑවුමෙන් ලිස්සා යති.

සානුව වෙතට ළං වත්ම වෘකයා දකින්නේ සානුව හිස් ව ඇති ආකාරයයි. කෝපයෙන් උන්ගේ දත් විළිස්සෙයි. අවසානයේ ජිලාඩා බැබුනයන්ගේ දවස ආරම්භ වූ ලෙසට ම අවසන් වේ. අන් සතකුට ළං විය නොහැකි තරම් දළ බෑවුමක් සහිත දුර්ගයේ දී උන් ආරක්ෂිත ය.

අහර කිසිත් නැතත්, හිසට ඉහළින් ආරක්ෂාවේ නිල් අහස ඇති මේ දුර්ග බිම උන් ට කුෂේමභූමියකි.

රදිකා ගුණරත්න – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan