මෑතකදී රජයට නිකුත් කළ හැකි උපරිම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් ඉහළ දැම්මා. මෙයින් අදහස් වන්නේ කුමක්ද?
භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ භාවිතා කෙරෙන ණය උපකරණයක්. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ. මේ පණත වරින් වර සංශෝධනයට ලක්ව ඇතත් නිදහස ලබන්න පෙර සිටම පැවති පණතක්.
මෙම පණතේ 2(1) වගන්තිය අනුව මුදල් විෂය භාර ඇමතිවරයාට පුළුවන් කිසියම් උපරිමයකට යටත්ව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරයේ අදාළ නියෝජ්‍ය ලේකම් වරයාට නියෝග කරන්න. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීම ඇතුළු රාජ්‍ය මූල්‍යනය පිළිබඳ බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා, මේ බලය මුදල් ඇමති වරයාට ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත්, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 2(1) වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසින් මේ අනුමැතිය දෙන්නේ යම් උපරිම සීමාවකට යටත්ව. ඒ නිසා, නීතිය අනුව, ඊට වඩා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න බැහැ.
ඉහත සීමාව කවදාවත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් අප දන්නා පරිදි රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගනිද්දී වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න වෙනවා. ඔහොම ගිහින් යම් අවස්ථාවක රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඔය අනුමත උපරිම සීමාවට කිට්ටු වෙනවා. එවිට විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගෙන උපරිම සීමාව වැඩි කර ගන්නවා. කලට වෙලාවට ඔය වැඩේ නොකළොත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න යද්දී නීතිමය/ තාක්ෂනික ප්‍රශ්නයක් ඇති වෙලා ලොකු අවුලක් වෙන්න පුළුවන්. ලංකාවේ කවදාවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. (ඇමරිකාවේනම් මේ දවස් වල ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා.)
2021 ජුනි මාසය වන තුරු මෙම සීමාව රුපියල් බිලියන 2000ක්. එම මාසයේදී අදාළ සීමාව රුපියල් බිලියන 3000 දක්වා වැඩි කළා. ඉන්පසුව, පසුගිය 2022 වසරේ ජූනි මාසයේදී මෙම සීමාව රුපියල් බිලියන 4000 දක්වාත්, නැවත 2022 නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 5000 දක්වාත් ඉහළ දමනු ලැබුවා. දැන් මෙම සීමාව රුපියල් බිලියන 6000 දක්වා ඉහළ දමා තිබෙනවා.
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව ඉහළ දැමූ පමණින් එපමණ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙනු ඇති බවක් අදහස් වන්නේ නැහැ. එයින් අදහස් වන්නේ නැවත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා තුරු ඊට වඩා වැඩියෙන් බිල්පත් නිකුත් කළ නොහැකි බව පමණයි. එහෙත්, වඩා වැඩියෙන් බිල්පත් නිකුත් නොකරන්නේනම් සීමාව ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. සීමාව ඉහළ දමන්නේම පරණ සීමාව ඉක්මවා බිල්පත් නිකුත් කිරීමට අවශ්‍ය නිසයි.
පසුගිය සතිය අවසන් වන විට (මැයි 11) රුපියල් බිලියන 4,840ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුණා. උපරීම සීමාව වැඩි නොකළේනම්, රටේ නීතිය අනුව තව දුරටත් නිකුත් කළ හැකිව තිබුණේ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. මේ වගේ වෙලාවක නොව සාමාන්‍ය තත්ත්වයකදී වුවත් මෙවැනි සීමිත නීතිමය අවකාශයක් තිබීම රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාමාන්‍ය පරිදි කිරීමට බාධාවක්. ඒ වගේම, සතිපතා හෝ මාස්පතා සීමාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගැනීමද තේරුමක් නැති වැඩක්. එකවර තරමක් වැඩි ප්‍රමාණයකින් සීමාව ඔසොවන්නේ ඒ නිසා.
කෙසේ වුවත් මෙවැනි උපරිම නීතිමය සීමාවක් තිබීම නරක දෙයක් නෙමෙයි. එයින් යම් පාලනයක් සිදු වෙනවා.
පෙරේදා (මැයි 15) රුපියල් බිලියන 103.6ක බැඳුම්කර ප්‍රමාණයක කල් පිරුණා. ඒ වගේම, පසුගිය සතියේ (මැයි 12) රුපියල් බිලියන 305.7ක විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරුණා. අනිද්දා (මැයි 19) තවත් රුපියල් බිලියන 305.7ක බිල්පත් ප්‍රමාණයක් කල් පිරෙනවා (මෙම ගණන් දෙක සමාන වීම අත්වැරැද්දක් නෙමෙයි.) මේ ටික එකතු කළොත් රුපියල් බිලියන 715.0ක අති දැවැන්ත මුදලක්. මැයි 12-19 කාලය තුළ රජය විසින් මෙම බිල්පත් හා බැඳුම්කර පියවිය යුතුයි. මේ වෙනුවෙන් 23% පොලියට බිල්පත් මිල දී ගත්තොත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 879ක බිල්පත් අලුතෙන් නිකුත් කරන්න සිදු වෙනවා. එවිට දැනට නිකුත් කර ඇති බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 268කින් පමණ වැඩි වෙනවා. එසේ නැත්නම් අනෙක් විකල්පය බිල්පත් අඩුවෙන් නිකුත් කර අඩුව පිරවීමට බැඳුම්කර අලුතෙන් නිකුත් කිරීමයි.
මගේ අදහසනම් මේ වෙලාවේ බැඳුම්කර අඩුවෙන් නිකුත් කර බිල්පත් වැඩියෙන් නිකුත් කළ යුතු බවයි. එසේ යෝජනා කරන්නට හේතු කිහිපයක් තිබෙනවා.
පළමුව, සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් විය යුතුයි. එවිට මූල්‍ය වෙළඳපොළ අවිනිශ්චිතතා විශාල ලෙස දුරු වී පොලී අනුපාතික මත වන අවදානම් අධිභාරය ඉවත් වෙනවා. මෙය සිදු නොවුවහොත් විශාලම අවුලක් වන නිසා පොලී අනුපාතික ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. අපේක්ෂිත පරිදි වැඩේ වෙයි කියලා දැනට හිතමු.
දෙවන කරුණ සැප්තැම්බර් වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමයි. ඒ වන විට මෙම අගය තනි අංකයක් වෙන්න පුළුවන්. යම් එහා මෙහා වීමක් හැරුණු විට මෙය නියත වශයෙන්ම සිදු වීමට නියමිත නමුත් ඒ පිළිබඳ වෙළදපොල විශ්වාසය තවමත් ගොඩ නැගී නැහැ. තව සති හයකින් මේ විශ්වාසය ගොඩ නැගෙයි. ඇතැම් විට ඊට පෙර දේශීය ණය ගැන පැහැදිලි ප්‍රකාශයක් ආවොත් එහි බලපෑමත් පොලී අනුපාතික වලට එයි. මේ තත්ත්වයන් එක්ක සැප්තැම්බර් පමණ වන විට පොලී අනුපාතික විශාල ලෙස අඩු විය යුතුයි.
දැන් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළොත් එම බිල්පත් වසරක් ඇතුළත කල් පිරෙන නිසා ඉන් පසුව අඩු පොලියකට නැවත නිකුත් කළ හැකියි. සය මාසික බිල්පත් නිකුත් කළොත් වාසිය තවත් වැඩියි. බැඳුම්කර නිකුත් කළොත් දැන් තිබෙන ඉහළ පොලී අනුපාතිකය දිගටම ගෙවන්න සිදු වෙනවා. වැඩියෙන් බිල්පත් නිකුත් කරන්නනම් උපරිම සීමාව අනිවාර්යයෙන්ම ඉහළ දමන්න වෙනවා. දැන් එය කර ඇති නිසා මේ වැඩේට බාධාවක් නැහැ.
මැයි 17 වෙන්දේසියේදී රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. මෙම ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. පසුගිය සතියේදීද මීට ආසන්න බිල්පත් ප්‍රමාණයක් නිකුත් කෙරුණා. කෙසේ වුවත්, මෙම ප්‍රමාණය කල් පිරුණු බිල්පත් ප්‍රමාණයට වඩා අඩු නිසා මුළු බිල්පත් ප්‍රමාණය වැඩි වී නැති විය හැකියි. ඇතැම් විට මීට අමතරව මහ බැංකුව සතු වූ කල් පිරුණු බිල්පත් නැවත ආයෝජනය කළා වෙන්නත් පුළුවන්. කල් පිරුණු බිල්පත් වලින් මහ බැංකුවේ කොටස හරියටම දන්නේ නැතත් එම පංගුව සැලකිය යුතු පංගුවක් විය යුතුයි.
පොලී අනුපාතික වලද යම් පහත යාමක් පෙන්නුම් කරනවා. අදාළ දත්ත ඉහත වගුවේ ඇති නිසා නැවත සටහන් කරන්නේ නැහැ.
අලුතෙන් නිකුත් කරන බිල්පත් වල පොලී අනුපාතික අඩු වීමේදී පහත වැටෙන්නේ එම බිල්පත් වල පොලිය පමණක් නෙමෙයි. වෙළඳපොළේ දැනට තිබෙන බිල්පත් හා බැඳුම්කර වල පොලී අනුපාතිකද ඒ හා පහත වැටෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහත වැටෙන එක සෙමින් සිදුවන ක්‍රියාවලියක්. පොලී අනුපාතික සුළුවෙන් පහත වැටෙද්දී වුවත් දිගුකාලීන බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යනවා.
ණය සීමාව ඉහළ දමා ඇති නිසා මහ බැංකුව තව සල්ලි අච්චු ගසයිද ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුමෙන් මහ බැංකුව විසින් රජයට ලබා දිය හැකි ශුද්ධ ණය ප්‍රමාණය පිළිබඳව උපරිම සීමාවන් නියම කර තිබෙනවා. පහත තිබෙන්නේ එම සීමාවන්.
2022 අවසානයේදී රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය – රුපියල් බිලියන 2,834යි.
2023 මාර්තු අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය – රුපියල් බිලියන 2,890යි.
2023 ජූනි අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය – රුපියල් බිලියන 2,890යි.
2023 සැප්තැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය – රුපියල් බිලියන 2,840යි.
2023 දෙසැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය – රුපියල් බිලියන 2,740යි.
මේ අනුව, උපරිම සීමාව ක්‍රමයෙන් පහත වැටෙන බව පැහැදිලි විය යුතුයි. රුපියල් බිලියන 2,890 කියන්නේ ජනවාරි අවසාන වෙද්දී තිබුණු ඇත්ත ගණන. එම ගණන ජූනි අවසන් වන තුරු වැඩි වෙන්න බැහැ. ඉන් පසුව, සැප්තැම්බර් IMF විමර්ශනය වෙද්දී අඩු වශයෙන් රුපියල් බිලියන 50කින් අඩු වෙන්න ඕනෑ. වසර අවසන් වන විට තවත් රුපියල් බිලියන 100කින් අඩු වෙන්න ඕනෑ. ඕකයි එකඟතාවය.
මෙම සීමා ඉක්මවා යාමට ලංකාවේ නීතියෙන් බාධාවක් නැතත් එසේ සීමා ඉක්මවා ගියහොත් රජයට සහ මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා.
~ ඉකොනොමැට්ටා
RN