මහ බැංකු දත්ත අනුව මැයි 18 වෙනිදා ඩොලරයක සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා (රුපියල් 299.2144). ලංකාවේ විණිමය වෙළඳපොළ කුඩා වෙළඳපොළක්. සුළු හිඟයක් නිසා මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා වගේම සුළු අතිරික්තයක් නිසා මිල සැලකිය යුතු ලෙස පහළ යන්නත් පුළුවන්.
මිල පහළ යාමෙන් පෙනෙන්නේ වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගැනීමට වඩා විකිණීමට උනන්දු වන බවයි. මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට අනවශ්‍ය අතිරික්ත ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්නවා විය යුතුයි.
බැංකු පද්ධතිය ඇතුළේ කලක සිටම තිබුණේ බැංකුවක් බංකොලොත් කළ හැකි තරමේ ශුද්ධ විදේශ විණිමය හිඟයක්. වත්මන් මහ බැංකු අධිපතිවරයා වැඩ භාරගත් පසුගිය (2022) අප්‍රේල් මාසයේ සිට මෙම (2023) ජනවාරි මාසය තෙක් ක්‍රමයෙන් අඩු වූ මෙම ශුද්ධ විදේශ විණිමය හිඟය පසුගිය පෙබරවාරි මාසයේදී ශුද්ධ විදේශ විණිමය අතිරික්තයක් බවට පත් වුනා. ඒ නිසා, මේ වෙද්දී වාණිජ බැංකු වල විදේශ විණිමය අවදානම මුළුමනින්ම නොවේනම් බොහෝ දුරට පහ වෙලා.
ඉහත ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර වල සහ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඩොලර් පිළිබඳව කෙසේ සලකා ඇත්දැයි මා හරියටම දන්නේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය බැංකු වලද ඩොලර් වත්කම් අහිමි වීමක් සිදු විය හැකියි. එම පාඩුව දරා ගත හැකි එකක් වනු ඇති බව මගේ විශ්වාසයයි.
තමන්ට අනාගතයේදී ඩොලර් අවශ්‍ය වෙන්නේ නැත්නම්, වෙළඳපොළේ ඩොලර් විකුණන්නත් බැරිනම්, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගන්න පෙළඹෙන්නේ ආයෝජනයක් ලෙස වාසියක් ඇත්නම් පමණයි. නමුත් මේ වෙලාවේ එවැනි වාසියක් නැහැ. රුපියල් ඩොලර් නොකර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ඊට වඩා වාසියි. ඒ නිසා, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගෙන සංචිත පවත්වා ගන්න උනන්දු වන්නේ නැහැ.
මහ බැංකුවට අඩු මිලකට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත හැකිනම් වැඩි මිලකට ඩොලර් මිල දී ගත යුතුයි කියා යෝජනා කරන්න බැහැ. පවතින තත්ත්වය තුළ ආනයන සීමාවන් ඉවත් කිරීම සුදුසු වුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු ඒ සඳහා කල් ගන්නවා වෙන්න පුළුවන්. එය නරක ප්‍රවේශයක් නෙමෙයි. මොන අයුරකින් හෝ වැඩේ ගැස්සුනොත් සිදු වන දේ ගැනත් සිතිය යුතු නිසා හදිස්සි නොවී ඔය මාස කිහිපයත් බලන එක නරක නැහැ.
~ ඉකොනොමැට්ටා
RN