ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්වී අදට (20) වසරක් සපිරෙයි. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.
2022 වසර ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වූයේ සුවිශේෂී වසරක් වශයෙනි. ඒ, දැවැන්ත ආර්ථික අර්බුදයත් ඊටම සමගාමීව උත්සන්න වූ දේශපාලන අර්බුදයත් නිසා ය. දරන්නට නොහැකි මට්ටමින් ඉහළ ගිය ජීවන වියදම, පෙට්‍රල් – ඩීසල් හිඟය, ගෑස් හිඟය, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ හිඟය, පැය ගණන් විදුලිය කප්පාදු කිරීම යනාදී තත්වයන් තුළ ජනතාව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් බලය හෙබවූ ආණ්ඩුවට එරෙහිව වීදි බැස උද්ඝෝෂණ, විරෝධතා දැක්වූහ.
විදේශ විනිමය අර්බුදය හා ගැටගැසුණු මේ ආර්ථික ගැටලුවලට විසඳීමටත් එවන් විසඳුමක් ලබාදෙන බවට ජනතාව අතර විශ්වාසයක් තහවුරු කරගැනීමටත් අසමත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය ජුලි මාසයේදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්විය.
ඒ මොහොත වනවිට ඇත්තෙන්ම රට අරාජිකවාදයක් කරා තල්ලු වෙමින් පැවතිණු බව පිළිගත යුතුව ඇත. රටේ නීතියේ ආධිපත්‍යය සහමුලින්ම පාහේ බිඳවැටී තිබිණි. සාමාන්‍ය ජනජීවිතය අවුල් ජාලාවක් වී තිබිණි. ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීම සඳහා ආර්ථිකය යථාවත් කිරීමට අවශ්‍යව තිබුණු අතර ආර්ථිකය යථාවත් කිරීමට නම් නීතියේ ආධිපත්‍යය යළි තහවුරු කිරීම අත්‍යාවශ්‍ය වී තිබිණි.
මන්දයත් මාස ගණනක් තිස්සේ පැවති දේශපාලන අස්ථාවරභාවය තුළ සිදුවූ සිදුවීම් හේතුවෙන් ලොව ප්‍රධාන රටවල් ගණනාවක්ම සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයට නොයන ලෙස අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කර තිබිණි. දිගින් දිගට ඇදුණු උද්ඝෝෂණ, විරෝධතා, වැඩවර්ජන, ඇඳිරි නීති හේතුවෙන් කාර්මික සාමය බිඳවැටී තිබුණු අතර එය අපනයන කර්මාන්තවලට දැඩි බලපෑමක් කර තිබිණි. ඒ අනුව රටේ ප්‍රශ්න විසඳාගැනීම සඳහා අත්‍යාවශ්‍ය වූ ඩොලර් සොයන මාර්ග ද අවහිර වී පැවතිණි. අනෙක් අතට ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවයක් පැවතීම අනිවාර්යය සාධකයක්ව පැවතිණි.
මහජන විරෝධතා යනු ජනතාව තමන් මුහුණ දී සිටින පීඩනය හමුවේ දක්වන ප්‍රතිචාරයකි. ඒවා සාධාරණ ය. එහෙත් රටක් වශයෙන් දීර්ඝ කාලයක් එවන් තත්වයක් තුළ ගමන් කිරීම යනු විනාශයට මඟ කපාගැනීමකි. මීළඟට කියන කතාව බොහෝ අයගේ ක්ෂණික කෝපයට හේතුවනු ඇත. එහෙත් ඒ නිශ්චිත මොහොතේදී ඒ විරෝධතා පාලනය කළ යුතුව තිබිණි. පසුගිය වසරේ අප්‍රේල් – ජුලි කාලසීමාවේ රටේ තිබුණු අස්ථාවරත්වය අඛණ්ඩව අද දක්වාත් තිබිණි නම් මේ වනවිට කොපමණ භයානක වාතාවරණයක් රටේ ඇතිවන්නට තිබිණිදැයි නිකමට කල්පනා කර බලන්න … IMF වැඩසටහන සාර්ථක වන්නේත් නැත, සංචාරකයින් එන්නේත් නැත, විදෙස් ආධාර ලැබෙන්නේත් නැත, ප්‍රේෂණ ඉහළ යන්නේත් නැත, රුපියල ශක්තිමත් වන්නේත් නැත, රැකියා හෝ ව්‍යාපාර කරගෙන යන්නට ලැබෙන්නේත් නැත. ඒ ආකාරයෙන් රටකට ඉදිරියට යාමට නොහැකි බව අරගලකරුවන් බහුතරයක් පවා එකහෙළා පිළිගන්නවා ඇත.
එසේම ඇතැම් දේශපාලන පක්ෂවල බල න්‍යාය පත්‍රයත් මේ ඇතැම් විරෝධතා තුළ පැහැදිලිවම තිබිණි. ජනතාව ජීවත් වන්නේ කෙසේද යන ප්‍රශ්නය ඔවුන්ට අදාළ නොවුණු අතර ඔවුන් අවශ්‍ය වී තිබුණේ තමන් අතට කෙසේ හෝ බලය ලබාගන්නා තුරු දේශපාලන අස්ථාවරභාවය පවත්වාගෙන යාමට ය. එය වර්ධනය කරගැනීමට ය.
ඒ සන්දර්භය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ රටේ නීතිය හා සාමය යළි ස්ථාපිත කිරීමේ කාර්යයට කරදුන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ය. එවකට රටේ පැවති තත්වය හමුවේ එය කිසිසේත් සරල, සුගම, සුමට කාර්යයක් වූයේ නැත. විරෝධතා පාලනය කිරීම යනු කොහොමත් අමිහිරි කටයුත්තකි. ජනතාවගේ පැත්තෙන් හොඳටෝම බැණුම් අසන්නට වෙන වැඩකි. එහෙත් කවුරුන් විසින් හෝ එය සාර්ථකව ඉටු නොකළේ නම් ඉතිහාසය ලියැවෙන්නේ වෙනස්ම ආකාරයකිනි.
මේ විරෝධතා – උද්ඝෝෂණ පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ දැඩි විවේචන එල්ල කරති. එහෙත් ඒ මොහොතේ ඔවුන් ආණ්ඩුව භාරගත්තේ නම් ඔවුන් කරන්නේ ඒවා ඔයිටත් වඩා බලය යොදවා මර්දනය කිරීම මය. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වන්නට හදන මහත්වරුන්, සහෝදරවරුන් කොයි ආකාරයෙන් විරෝධතාකරුවන්ට සලකන්නේද යන්න එසේ වූවා නම් කාටත් දැකගන්නට තිබිණි.
කෙසේවෙතත් එකක් පැහැදිලිවම කිව යුතුය. ඇමති ටිරාන්ට ලැබුණේ නරක තත්වයක් යටතේ නරක රාජකාරියක් වුවත් ඔහු එය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමන්ට යා හැකි අවම හානිකර මට්ටමකදී කළමනාකරණය කරගැනීමට සමත් විය. උද්ඝෝෂණ සහ පෙළපාලිවලට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ විසුරුවා හැරියා විනා රබර් උණ්ඩ හෝ ජීව උණ්ඩ යෙදූ ගිනිඅවි පත්තු කිරීමක් සිදුවුණේ නැත. ජීවිත හානි සිදුකෙරුණේ නැත. අත් අඩංගුවට ගැණුනු අය අතරිනුත් අතිවිශාල පිරිසක් ඉක්මනින්ම ඇප මත නිදහස් කෙරිණි.
රටේ ආර්ථිකයත් ජනජීවිතයත් සාමාන්‍ය තත්වයට පත්කරගනිමින් රට ඉදිරියට ගෙනයාම සඳහා අත්‍යාවශ්‍ය වූ රාජ්‍ය පාලනය ස්ථාවර කරගැනීම වෙනුවෙන් අවම බලය භාවිත කිරීමක් මිස ද්වේෂ සහගතව පළිගැනීමක් එහිදී සිදුවුණේ නැත. අප මුලින් කීවාක් මෙන් මෙය සුමට ක්‍රියාදාමයක් නොවේ. එහෙයින් එහි යම්යම් අමිහිරි අත්දැකීම් තිබෙන්නට ඇත. නමුත් ඇතැමුන් පින්තාරු කරන්නට උත්සාහ කරන පරිදි එය කිසිසේත් අති දරුණු මර්දනයක් නම් නොවුණු බව කාටත් පිළිගැනීමට සිදුවේ.
දේශපාලනයේදී කයිවාරු ගැසීම කාටත් කළහැකි දෙයකි. ඇත්තෙන්ම එය දේශපාලනයේ පහසුම දෙයයි. එහෙත් වැඩක් කරන්නට යාම අසීරු දෙයකි. වැඩක් සාර්ථකව කිරීම අතිශය අසීරු දෙයකි. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය අත්පත් කරගෙන සිටි, අග්‍රාමාත්‍ය කාර්යාලයත් අත්පත් කරගෙන පාර්ලිමේන්තුවත් අත්පත් කරගැනීම සඳහා යොමුවෙමින් සිටි අරගලයක් තිබුණු රටක් අද පවතින සාමකාමී තත්වයට පත්කිරීම යනු සිතන්නටත් අසීරු තරම් කාර්යයකි.
මෙය ටිරාන් අලස් මහතාට ඉටුකිරීමට හැකිවෙතැයි බොහෝ අය සිතුවේ නැත. එහෙත් ඔහු එය කළේය. මෙවන් කාර්යයකට අදාළව ගත් කල ස්වභාවිකවම හිමිවන පරිදි හතර වටින්ම බැණුම් අසමින් නමුත් ඔහු එය කළේය.
මේ වනවිට වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් දිවයිනට පැමිණෙමින් සිටිති. කෘෂිකර්මය, අපනයන කර්මාන්ත සාමාන්‍ය පරිදි සිදුවේ. කලකට පසුව විදේශ ආයෝජකයින් ද ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරමින් සිටිති. දරුවෝ පාසැල් යති. විභාග පැවැත්වේ. නවකතා, කවි පොත් එළිදැක්වීම් සිදුවේ. වේදිකා නාට්‍ය – චිත්‍රපට – සංගීත සංදර්ශන පැවැත්වේ. සාහිත්‍ය සංවාද, ව්‍යාපාරික වැඩමුළු පැවැත්වේ. ක්‍රීඩා තරග, විනෝද චාරිකා …. ආර්ථික අපහසුකම් මධ්‍යයේ වුවත් ජනජීවිතය සාමාන්‍ය තත්වයට හැරී තිබේ.
පසුගිය වසරේ මේ කාලසීමාව වනවිට සැම අතකින්ම රටේ පැවති තත්වයට සාපේක්ෂව බැලීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද වනවිට රට ස්ථාවර කර, මේ අර්බුදයෙන් රට ගොඩගැනීමේ යම් මාර්ගයකට යොමුකර ඇතැයි යන්න දේශපාලන විවේචන තිබියදී පවා බහුතරයකගේ පිළිගැනීම වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒ ගමනට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ලැබුණේ අසමාන සහායකි.
දුෂ්කරම මොහොතේ දුෂ්කරම ඇමති ධුරය දරමින් සිය මෙහෙවර සාර්ථකව ඉටුකිරීම පිළිබඳව ටිරාන් අලස් මහතාට ඒ ඇගයීම හිමිවිය යුතුය.
~ රජිත විරාජ්