මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්වය හේතුවෙන් අපේ රටේ ආර්ථිකයට එල්ල වී ඇත්තේ කෙටිකාලීන බලපෑමක් බවත් රටින් පිටට ගලායන ඩොලර් ප්රමාණය ඉතිරි කරගැනීම සඳහා තනි තනිව මැදිහත් වන්නැයි රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“මෑත කාලීනව මැදපෙරදිග කලාපය කේන්ද්ර කරගෙන යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙනවා. එය නිසා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල්, අඩු ආර්ථික හැකියාවන් තියෙන රටවල් යන සෑම රටක්ම භේදයකින් තොරව ආර්ථික අභියෝගයන්ට මුහුණදී තිබෙනවා. ඒ ආර්ථික අභියෝගයන් ප්රධාන වශයෙන් කොටස් දෙකක තිබෙනවා.
එක, භාණ්ඩාගාරයට අවශ්ය වන රුපියල් ප්රමාණය උපයාගැනීම. ඒක අපි ශක්තිමත්ව ඉටුකරලා තිබෙනවා. අපේ ශක්තිමත් ආර්ථික කලමනාකරණයක ප්රතිඵලයක් ලෙස මෙවැනි ව්යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා.
දෙක, වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙලා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කරලා තිබෙනවා.
අපේ ප්රධාන ඩොලර් ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය. ගිය අප්රේල් මාසයට සාපේක්ෂව මෙවර 29%කින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා.
ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපේ අපනයනවල අඩුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපනයන හරහා ලැබෙන ඩොලර්වලත් හිඟතාවක් මතුවෙලා.
අනිත් පැත්තෙන් විදෙස්ගත ශ්රී ලාංකිකයින් එවන මුදල්වල පසුබැසීමක් තිබෙනවා. ඒ වගේම ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවීමත් බලපා තිබෙනවා. එය අපේ රුපියලට තෙරපුමත් ඩොලරයට ඉල්ලුමත් ඇතිකොට තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්රියාමාර්ග රැසක් නියමිතව තිබෙනවා.
කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි. අපේ ආනයන භාණ්ඩ පරිහරණය පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. අපේ ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අවධානය කල්පනා කළ යුතුයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා සියලු පුරවැසියන්ගෙන් මේ පිළිබඳ කල්පනා කරන්න. රටින් එළියට ගලායන ඩොලර් ප්රමාණය අඩු කිරීමට අපි කොහොමද තනි තනිව මැදිහත්වනේ කියා කල්පනා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මේ තත්වය කෙටි කාලයක් පවතීවි. නැවත ආර්ථිකයේ විනාශකාරී තත්වයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට මම ඔබට සහතික වෙනවා”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) මඩකලපුව ප්රදේශයේදී පැවති විෂ මත්ද්රව්යට එරෙහි “රටක එකට ජාතික මෙහෙයුමේ” සමුළුවක් අමතමිනි.


