මැයි 09 නඩුව ඉල්ලා අස්කරගත්තේ කරන්නාගොඩ වාර්තාව ගැන සැක නිසාද?

Date:

කොළඹ LNW: පසුගිය වසරේ මැයි මස 09 වන දා සිදුවූ දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්නිගේ නිවාස දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් 39 විසින් අභියාචනාධිකරණය හමුවේ ගොණු කර තිබුණු පෙත්සම අද (22) ඉල්ලා අස්කර ගැනුණි.

එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ පසුගිය වසරේ මැයි මස 09 වැනිදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇති බවයි.

ඒ අනුව එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන බව පවසමිනුයි උක්ත පෙත්සම ඉල්ලා අස්කර ගැනුණේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා එම ඉල්ලීම අභියාචනාධිකරණය හමුවේ සිදුකළ අතර නීතියේ ප්‍රතිපාදන මත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දී තිබුණි.

එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වී තිබුණේ නඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු වන බවට කරුණු දක්වමිනි.

උක්ත පෙත්සම ගොණු කර තිබුණේ සිද්ධිය සම්බන්ධ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව පදනම් කරගෙනය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ඇතුලු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙසයි පෙත්සම ගොණු කර තිබුණේ.

මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වගවීම සම්බන්ධයෙන් වැඩිවශයෙන් දක්වා තිබුණි.

තත්ත්වය එසේ පැවතියද අද දින මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැක්වූ කරුණු දැක්වීම මත එම පෙත්සම ඉල්ලා අස්කර ගැනුණු අතර එතරම් බරපතල කාරණයක් සම්බන්ධයෙන් කමිටු නිර්දේශ පවා තිබියදී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවට කළ ප්‍රකාශය ගැන පෙත්සම්කාර පාර්ශවය සෑහීමකට පත්වීම ගැන වග උත්තරකාර පාර්ශ්වය මවිතය පළකර සිටියි.

ඒ අනුව කරන්නාගොඩ වාර්තාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයට විශ්වාසයක් නොමැති බව පෙන්නුම්කරන්නේද යන කාරණය මතුවන බවයි වග උත්තරකාර පාර්ශ්වය නඩුව ඉල්ලා අස්කරගැනීම සම්බන්ධයෙන් පශ්චාත් තත්ත්වය මත පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...