ඉසුරු පරාක්‍රම
මැයි 25, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ තිස් වසරක් පුරා පැවති සිවිල් යුදමය තත්ත්වය අවසන් වී වසර 15ක් ගත වී තිබුණ ද, ඇතැමුන් විසින් තවමත් සම්පූර්ණයෙන්ම පාහේ භුක්ති විඳිනු ලබන දණ්ඩමුක්තිය සහ වින්දිතයන් කේන්ද්‍රකොට ගත් යුක්තිය ඉටු කිරීම පමා වීම, සහ යුදකාලසීමාව තුළ සිදු වූ, ශ්‍රී ලංකා රජය සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යන දෙපාර්ශවය ම වගකිව යුතු ම්ලේච්ඡ ක්‍රියා සඳහා වගවීමක් නොදැක්වීම හෙළා දකින බව නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (International Commission of Jurists) පවසයි.
2024/05/17 වන දින, “ශ්‍රී ලංකාව තුළ සිදුකළ බලහත්කාර අතුරුදහන් කරවීම් සඳහා වගවීම” (Accountability for Enforced Disappearances in Sri Lanka) මැයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නිකුත්කළ වාර්තාව විසින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් දක්වා ඇති බවයි ICJ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
යුදමය කාලසීමාව තුළ දෙපාර්ශවය විසින්ම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරන ක්‍රියා සිදුකළ බවත්, ඒවා කෙරෙහි වගවීමක් දැරීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇති බවත් පෙන්වා දෙන ICJ සංවිධානය, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්, හිටපු එල්ටීටීඊ කැරළිකරුවන්, මාධ්‍යවේදීන්, සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා පෙනී සිටින පුද්ගලයන් මිලිටරිකරණය වූ පරිසරයක් තුළ දිගින් දිගටම කෙණහිලිකම්, බියවැද්දවීම් සහ අවේක්ෂණයන්ට ලක්ව ඇති බව අවධාරණය කරයි.
තව ද, හමුදාවේ සහ අනෙකුත් රජයේ බලධාරීන්ගේ සහාය ද ඇතිව, හින්දු ආගමික පුදභූමි බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ඇතැම් බෞද්ධ භික්ෂූන් කටයුතුකර ඇති බවත්, නීතියේ ආධිපත්‍යය පවා උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම දිගටම සිදුවෙමින් පවතින බව ද එම සංවිධානය සිය නිවේදනය ඔස්සේ පෙන්වා දෙයි.
රජයේ වගවීම සඳහා ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයන් ලෙස අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (Office of Missing Persons) සහ වන්දි ගෙවීමේ කාර්යාලය (Office for Reparations) ස්ථාපිත කිරීමට කටයුතුකර තිබුණ ද, ඒවා හි ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම බවත්, මෙම වර්ෂයේ මුල දී සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් (Commission for Truth, Unity and Reconciliation) පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත්කළ ද, එහි විනිවිදභාවය පිළිබඳ ගැටළු පවතින බවත්, එය කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමය තුළ නිසි පරිදි උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ, සමාජභාවී සංවේදීතාවයකින් යුතුව කටයුතු කර ඇත්තේ, හෝ වින්දිතයන් කේන්ද්‍ර කොටගත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමක් යෝජනා කර ඇත්තේ නැති බවත් නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) පවසයි.
ඒ අනුව, වගවීම සහ යුක්තිය දිරිගැන්වීමට සහ වින්දිතයන් සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා කැපවූවන් හිරිහැර කිරීම් සහ බියගැන්වීම්වලට ලක්කිරීම අවසන් කොට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට දක්වන බැඳීම්වලට ගරු කරමින්, ඒවා ප්‍රවර්ධනය කිරීම සහ ඉටු කිරීම සඳහා අව්‍යාජමය ලෙස පියවර ගත යුතු බවයි එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
සම්පූර්ණ නිවේදනය පහතින්:
ශ්‍රී ලංකාව: යුද්ධය අවසන් වී වසර 15ක්, යුක්තිය සහ වගවීම පිළිබඳ වින්දිතයෝ සහ දිවි ගලවා ගත්තෝ තවමත් බලා සිටිති
2024 මැයි 18 වන දිනට, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළ පැවති යුද්ධය අවසන් වී 15 වසරක් පිරෙන අතර, තවමත් සම්පූර්ණයෙන්ම පාහේ භුක්ති විඳිනු ලබන දණ්ඩමුක්තිය සහ වින්දිතයන් කේන්ද්‍රකොට ගත් යුක්තිය ඉටු කිරීම පමා වීම, සහ යුදකාලසීමාව තුළ සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා සඳහා වගවීම නොමැතිකම හෙළා දැකීමට නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) කටයුතු කරයි. එකී ක්‍රියාදාමය අහෝසි කොට යුදමය තත්ත්වයේ විවිධ වූ වින්දිතයන් සහ දිවි ගලවාගත්තන් හට යුක්තිය සඳහා වූ සැබෑ ප්‍රවේශය තහවුරු කිරීමට පියවර ගන්නා මෙන්, හා එකී අපරාධවලට වගකිව යුත්තන් ජාත්‍යන්තර නීතිය ඉදිරියට ගෙන එන මෙන් නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
2024 මැයි 17 වන දින නිකුත් කරන ලද, “ශ්‍රී ලංකාව තුළ සිදුකළ බලහත්කාර අතුරුදහන් කරවීම් සඳහා වගවීම” (Accountability for Enforced Disappearances in Sri Lanka) මැයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UN Office of the High Commissioner for Human Rights: OHCHR) විසින් නිකුත්කළ වාර්තාව විසින් මේ සම්බන්ධයෙන් පවතින අඳුරු පැතිකඩ වෙත ආලෝකයක් සපයා දී ඇත. දශක හතරකට වඩා කාලයක් පුරා පුළුල්ව විහිදී ගොස් ඇති බලහත්කාර අතුරුදහන්කරවීම්වල අපරාධකරුවන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ භුක්ති විඳිනු ලබන දණ්ඩමුක්තිය, සහ යුද්ධයේ වින්දිතයන්ට අත්වූ ඉරණම සහ ඔවුන් සිටින්නේ කොහේ දැයි යනාදිය සොයා බැලීම සඳහා වූ ක්‍රමානුකූල අසමත් වීම ආදී කරුණු මෙම වාර්තාව ඔස්සේ පෙන්වා දී තිබේ.
“මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වාර්තාව මඟින් පැහැදිලි කර ඇති පරිදි, අතුරුදහන්වූවන් ගේ පවුල්වලට තම ආදරණීයයන් පිළිබඳ සත්‍යය දැන ගැනීමට දින නියමයක් නොමැතිව බලා සිටීමට සිදුව ඇති අතර, සත්‍යය, යුක්තිය සහ වන්දි ලබා ගැනීම සඳහා ඔවුන් සතු අයිතිවාසිකම් ක්‍රමානුකූලව ප්‍රතික්ෂේප කර ඇත. තම ආදරණීයයන්ට එරෙහිව සිදුකරන ලද සාහසික අපරාධවල වරදකරුවන් නීතිය හමුවට ගෙන එනු දැකීමට මෙම පවුල්වලට අයිතියක් තිබේ,” යනුවෙන් නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසමේ (ICJ) ආසියා-පැසිෆික් වැඩසටහනේ අධ්‍යක්ෂ මෙලීසා උප්‍රේටි පැවසුවාය.
ශ්‍රී ලංකා රජය (GoSL) සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) අතර පැවති සන්නද්ධ ගැටුමේ අවසාන අදියර තුළ, සියලු පාර්ශව වගකිව යුතු, ජාත්‍යන්තර නීතිය විසින් අපරාධ ලෙස සලකනු ලබන ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය වීම් සහ දරුණු මානව හිමිකම් කඩකිරීම් වලින් පිරී තිබුණි. වගවීම සහතික කිරීම උදෙසා මෙම අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී විමර්ශන පැවැත්වීමට බලධාරීන් මේ දක්වා සමත් වී නොමැත.
සන්නද්ධ ගැටුම අවසාන වන්නට ඇත, එහෙත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අතුරුදහන් වූ පුද්ගලයන්ගේ බොහෝ පවුල්, හිටපු එල්ටීටීඊ කැරළිකරුවන්, මාධ්‍යවේදීන්, සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා පෙනී සිටිනවුන් දැවැන්ත මිලිටරිකරණය වූ පරිසරයක් තුළ දිගින් දිගටම කෙණහිලිකම්, බියවැද්දවීම් සහ අවේක්ෂණයන්ට ලක්ව ඇත.
හමුදාවේ සහ අනෙකුත් රජයේ බලධාරීන්ගේ සහාය ද ඇතිව, හින්දු ආගමික පුදභූමි බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ඇතැම් බෞද්ධ භික්ෂූන් කටයුතුකර ඇති බවට ද වාර්තා වේ. නීතියේ ආධිපත්‍යය පවා උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act) ක්‍රියාත්මක කිරීම සිදුවෙමින් පවතියි.
වගවීම සඳහා ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයන් ලෙස අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (Office of Missing Persons: OMP) සහ වන්දි ගෙවීමේ කාර්යාලය (Office for Reparations) ස්ථාපිත කිරීමට රජය විසින් කටයුතුකර තිබුණ ද, ඒවා හි ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂමවන අතර, වින්දිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් විසින් එවන් යාන්ත්‍රණයන් බැහැර කර ඇත. එමෙන්ම, මෙම වර්ෂයේ මුල දී ගැසට් කරන ලද, සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් (Commission for Truth, Unity and Reconciliation) පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත්කළ ද, එහි විනිවිදභාවය පිළිබඳ ගැටළු පවතින අතර, එය කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමය තුළ නිසි පරිදි උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ, සමාජභාවී සමානාත්මතාවය සඳහා ප්‍රතිචාර දක්වන්නේ හෝ වින්දිතයන් කේන්ද්‍ර කොටගත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමක් යෝජනා කර ඇත්තේ නැත.
ඉකුත් සතියේ, යුද්ධයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීම සඳහා පවත්වන ලද ක්‍රියාකාරකම්, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීහු දැඩි සෝදිසි කිරීම් සහ බිය ගැන්වීම්වලට ලක්කළ අතර, මෙම අනුස්මරණ සිදුවීම් “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමක්” ලෙස අර්ත නිරූපණය කිරීමට කටයුතු කළහ.
“යුද කාලීසීමාව තුළ හටගත් කුරිරුකම් හේතුවෙන් දැවැන්ත ලෙස පීඩාවට පත්වූවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමී ජන රාශිය සඳහා වූ නිදහස වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ බලවත් මැදිහත් වීම, ජාත්‍යන්තර නීතිය හමුවේ ශ්‍රී ලංකාව දක්වන බැඳීම් සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන” බව මෙලීසා උප්‍රේටි පැවසුවාය.
වගවීම සහ යුක්තිය දිරිගැන්වීමට සහ වින්දිතයන් සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා කැපවූවන් හිරිහැර කිරීම් සහ බියගැන්වීම්වලට ලක්කිරීම අවසන් කරමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට දක්වන බැඳීම්වලට ගරු කිරීම, ඒවා ප්‍රවර්ධනය කිරීම සහ ඉටු කිරීම සඳහා අව්‍යාජමය ලෙස පියවර ගන්නා මෙන් නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.