වාහන ලීසිං සඳහා වටිනාකම මත ණය අනුපාත (LTV Ratios) සංශෝධනය කරයි

මෝටර් වාහන මිලදී ගැනීම සඳහා ලීසිං පහසුකම්, කුලී මිලදීගැනීමේ පහසුකම් හෝ වාහන ණය ලබාදීමේදී “උපරිම ණය – වටිනාකම් අනුපාත” (Maximum Loan-to-Value / LTV Ratios) සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

අද (මැයි 25) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව,

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර වසරකට වැඩි කාලයක් භාවිතා කර ඇති සියලුම වාහන සඳහා ණය ලබාදීමේදී උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වාත්
ලියාපදිංචි නොකල වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුල වසරකට වඩා අඩු කාලයක් ලියාපදිංචි කරන ලද වාණිජ වාහන (Commercial Vehicles) සඳහා ණය ලබාදීමේදී උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වාත්
ලියාපදිංචි නොකල වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුල වසරකට වඩා අඩු කාලයක් ලියාපදිංචි කරන ලද මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා ණය ලබාදීමේදී උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වාත්

සංශෝධනය කර තිබේ.

වඩාත් සරලව පවසන්නේ නම් මින් ඉදිරියට ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු අතින් දැරිය යුතුය.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙසේ මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් තවදුරටත් දැඩි කිරීමට කටයුතු කළ බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර ඇත්තේ.

මීට අමතරව, මෙම නියෝගය ක්‍රියාත්මක වන දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි (Letters of Credit – LCs) වෙනුවෙන් ණය පහසුකම් සැපයීමේදී අදාළ කරගත යුතු විශේෂ සංක්‍රාන්ති කාලීන ප්‍රතිපාදන (Transitional Provisions) ද මහ බැංකුව විසින් නිවේදනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...