කොළඹ LNW:ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින දවස පුරා ජපානය වාසය කරන සිංහල බෞද්ධ සැදැහැවතුන් සහ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
ථෙරවාදී සම්ප්‍රදායානුකූලව ජපානයේ 41 වන වරටත් පැවැත් වූ වෙසක් පුණ්‍ය මහෝත්සවය ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහ බෝධි සංගමයේ සභාපති, ලංකාජී විහාරයේ නිර්මාතෘ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස අභිනවයෙන් පත් වූ මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික සහ ජපන් බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සවරා ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී උදෑසන කිරි ආහාර සහිත සම්බුද්ධ පූජාව සහ දහවල් සම්බුද්ධ පූජාව සහ සවස චතුමධුර සහිත අටවිසි ගිලන්පස බුද්ධ පූජාව ලංකාජී විහාරවාසී ගලබඩ අස්සජි ස්වාමීන් වහන්සේ සිදු කළහ.
එම අවස්ථාවට විහාරවාසී හේනේගෙදර ශීල භද්‍ර හිමිපාණෝ ද මොට්ටුනේ අංගිරස හිමියෝ ද එක් වූහ. පුණ්‍ය උත්සවය මෙහෙයවීම ලංකාජී විහාරවාසී යටවර පඤ්ඤාරාම හිමියෝ සිදු කළහ. විහාරස්ථ දායක සභාව මෙදින විහාරවාසී සහ වැඩමවා වදාළ මහ සංඝරත්නය උදෙසා උදෑසන සහ දහවල් සපිරිකරගත සංඝ දක්ෂිණාවන් පැවැත්වීම සිදුකෙරිණ. ඊට අමතරව ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික පවුල් සහ ආයතන සංවිධානය කර තිබූ ආහාරපාන,තේ පැන් දන්සැල් විහාර පරිශ්‍රයේ දවස පුරා පැවැත්වුණි.
මෙහි දී අදහස් දැක්වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ වසර හතලිහකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් ජපානයට පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසකට සිය ජීවිතය මං මුලා නොවී සාර්ථක කරගැනීමට එදා පටන්ම බානගල නායක හාමුදුරුවෝ මඟ කියාදුන් බවයි.
මීට වසර විසි එකකට පෙර තමන් ජපානයට පැමිණි අවස්ථාවේ ද නොමසුරුව තමන්ට ඒමඟ කියා දුන් බවත්,බානගල නායක හාමුදුරුවන් වහන්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගූ ශක්තිමත් සබඳතාවේ පාලම අපි නිවැරදිව පාවිච්චි කළා නම් අද අපේ රට ආර්ථික හා සංස්කෘතික වශයෙන් මීට වඩා විශාල තැනකට ඔසවා තැබීමට හැකියාව තිබූ බවත් එම නිසා ජපානය සහ ශ්‍රී ලංකාව අතර එම සබඳතාව වර්තමාන රජය යටතේ ඉහල තැනකට ගෙන යාමට උන්වහන්සේගේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවත් කුමාරසිංහ මහතා සඳහන් කරන ලදී.





