සංඝ සමාජයේ විනය සුරැකීම වෙනුවෙන් කැපවෙනවා – ජනපති අනුර

රෂිකා හෙන්නායක මැයි 27, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ සංඝ සමාජයේ විනය සුරැකීම වෙනුවෙන් නැවතත් ධර්මාධිකරණ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ සඳහා 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇත. මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, නීතිපතිවරයා සහ රජයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව අවසන් එකඟතාවයකට පැමිණ තිබේ.

මාතර ප්‍රදේශයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය ඇමතූ ජනාධිපතිවරයා, භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය සහිතව මෙම ව්‍යුහය ස්ථාපනය කරන බව අවධාරණය කළේය.

ඒ අනුව, සංඝ සංස්ථාවේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීතිමය රාමුව ඉතා ඉක්මනින් සකස් කිරීමට රජය අපේක්ෂා කරයි. මෙම ක්‍රියාවලිය හරහා මෙරට බෞද්ධ ශාසනික පරිපාලනය වඩාත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

“අපේ සෝභිත මාහිමිපාණන් වහන්සේ මගෙන් ඉල්ලා සිටියා, යමක් නැසෙන්න, ඒ තුළින්ම උපදවිය හැකි අනතුරක් තිබෙන බව. උන්වහන්සේ ඒක තිබෙන බව දැක්කා. දැකලා මගෙන් ඉල්ලුවේ මොකක්ද? 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්න කියලා. නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරුවන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබාදෙන්න කියලා. විශේෂයෙන්ම මේක අපෙත් ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලා විසිනුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා නැවත මෙම 41 සහ 42 වගන්ති සංශෝධනය කරලා දෙන්න කියලා. 

අපේ කැබිනට් මණ්ඩලයේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා අපේ ඇමතිතුමා විසින් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කළා. ඒ අනුව සංශෝධනය සකස් කරා. සාමාන්‍යයෙන් අපි ඕනෑම පනතකට, ව්‍යවස්ථාවකට ගෙන එන සංශෝධනයක්, අපේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතියට ලක්විය යුතුයි. මොකද ඔවුන් තමයි බලන්නේ මේ නීතිය පැනවීම, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවාද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා.

මේ නීතිය පැනවීම අපේ මූලික නීතීන් එක්ක ගැටෙනවාද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් යම් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. පසුගියදා අපේ අස්ගිරි මල්වතු සියම් නිකායේ පාර්ශවයන් වගේම, රාමඤ්ඤ මහා නිකායත්, අමරපුර මහා නිකායේ ලේඛාධිකාරී හාමුදුරුවන් වහන්සේලා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් සමග නීතිපතිතුමා සමඟ සාකච්ඡා පවත්වන්න මම යොදලා දුන්නා. ඒ නීතිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අපේ හාමුදුරුවන් වහන්සේලා මට කිව්වා ඉතාම සුහදව පැවතුනු බවත්, අපි අවසන් එකඟතාවයකට එළඹීමට හැකියාව ලැබුණු බවත්.

ඒ නිසා අපෙත් ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ නියෝජනයත් නීතිපතිතුමත් එක්ක කරන ලද සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා. අපි දැන් ඒක අවසන් අදියරේ තිබෙන්නේ. අපි ඉතා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නීති සම්පාදනය කරලා දෙන්නම්.” ලෙස පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...