දැනට ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ග්‍රෑන්ඩ් හයට් හෝටලය හිමි කැන්විල් හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ රජය සතු කොටස් අයිතිය බැහැර කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එම කැබිනට් තීරණය සම්බන්ධයෙන් දැනුම් දුන්නේ මෙසේය.
“මේ යෝජනාව කැන්විල් හෝල්ඩිංස් සමාගමේ කොටස් අයිතිය බැහැර කිරීම සම්බන්ධව. 2011 දෙසැම්බර් මාසයේදී සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා කැන්විල් හෝල්ඩිංස් පුද්ගලික සමාගම ස්ථාපනය කරනු ලැබුවා. එම සමාගමේ ආයෝජනයක් වන ග්‍රෑන්ඩ් හයට් කලම්බෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සිනො ලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගම ස්ථාපිත කොට තිබුණා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ කැන්විල් හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ කොටස් අයිතිය බැහැර කිරීම සඳහාත් එකී කාර්යයේ ගනුදෙනු උපදේශක වශයෙන් ඉන්දියාවේ ඩෙලොයිට් ටච් හමත්සු ආයතනය තෝරාගැනීමටත් එවකට පැවති අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදීලා තිබුණා. එහෙත් ඒ අනුව ඉදිරි පියවර ගෙන තිබුණේ නැහැ. ග්‍රෑන්ඩ් හයට් කළම්බෝ ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් ඇමරිකන් ඩොලර් මිලියන 120ක් (දළ වශයෙන් රුපියල් බිලියන 36ක් පමණ) අවශ්‍ය වනු ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කරලා තියෙනවා. ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය අරමුදල් එම සමාගමේ කොටස් හිමියන්ගෙන් හෝ ණය මූල්‍යකරණය හරහා ලබාගැනීමට පවතින අපහසු තත්වය සැලකිල්ලට ගෙන සමාගමේ කොටස් විකිණීමේ ක්‍රියාවලියක් හරහා අවශ්‍ය අරමුදල් සලසාගෙන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය විකල්පය හැටියට දැනට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව කැන්විල් හෝල්ඩිංස් ආයතනයේ කොටස් අයිතිය බැහැර කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමටත් ඒ සඳහා තවදුරත් ගනුදෙනු උපදේශක ලෙස ඉන්දියාවේ ඩෙලොයිට් ටච් හමත්සු සමාගමේ සේවය ලබාගැනීමටත් මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිතුමා හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා”
