සටහන – රෂිකා හෙන්නායක
මැයි 30 , කොළඹ (LNW): දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට හැට වසරක් සැපිරීම නිමිත්තෙන් “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) පැවති උත්සවයට එක් වෙමින්, රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඉටු කරන මහඟු මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එතුමා සෑමවිටම සමාජ යථාර්ථය හදුනා ගනිමින් නවීකරණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ බවද සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,
“ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වුණේ 1964 වසරේදීයි.එය තීරණාත්මක කාලයක්.පළමු වතාවට වමේ පක්ෂ එකට එක්ව එක්සත් වාමාංශික පෙරමුණ ඇති කළා.එන්.එම්. පෙරේරා, පිලීප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, කොල්වින් ආර්. සිල්වා යන මේ සියලුදෙනා එකට එකතු වෙලා මැයි දින රැළියට සහභාගි වු අයුරු එහිදී අප පළමු වරට දුටුවා. සටන් පාඨ කියමින් ගාලු පාරේ විශාල සෙනඟක් අරගෙන ආවා.
1964 මැයි දිනය අමතක නොවන මැයි දිනයක් වුණා.එයින් මාස තුන හතරකට පසු තවත් පරිවර්තනයක් සිදු වුණා.එම සන්ධානයම කඩා වැටුණු අතර සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ආණ්ඩුවට එක් වුණා.
එසේනම් එදා තිබුණු වමේ වෘත්තිය සමිති ව්‍යාපාරය එතැනින් කඩා වැටුණා. ඉන් පසුව කිසි දිනක ප්‍රධාන වෘත්තීය සමිතිවලට එකතු වෙන්න අවස්ථාව හිමි වුයේ නැහැ.
1970 – 1974 කාලයේ ජනතාව විඳි දුක නිසා ඒ වටා සම්බන්ධ වෘත්තීය සමිතිවලටත් සාමාජිකත්වය අහිමි වුණා.1977 සිට තවත් යුගයක් ඇති වුණා. ආණ්ඩුවේ ආර්ථික පාලනයේ උපරිම යුගය තමයි 77 වන තෙක් පැවතුනේ.ඉන්පසුව නව යුගයක් පැමිණියා.ක්‍රමානුකූලව විවෘත ආර්ථිකයක් ඇති කළා.වෘත්තීය සමිති ව්‍යාපාරයත් ඒ සමඟ වෙනස් වුණා.
ජාතික සේවක සංගමය ප්‍රධාන වෘත්තිය සමිති සංගමය ලෙස ඉදිරියට පැමිණියා.
1972 ජාතික සේවක සංගමයේ නීති උපදේශක ලෙස එම වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
කෙසේ හෝ ඒ කාලයේ සිට අද වන තෙක් තවත් වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා.
ලෝකයේ දේශපාලනය වෙනස් වුණා.
සමාජවාදී හා ධනවාදී රටවල් අතර තරගය වෙනුවට 1989 සිට ගෝලීයකරණය සමඟ ඉදිරියට ආවා.
ඒ වගේම විවෘත ආර්ථිකය සමඟ ආර්ථිකය විවිධ අයුරින් වෙනස්කම්වලට ලක් වුණා.
එම අත්දැකීම් සමඟ තමයි අප ඉදිරියට පැමිණියේ.
අද කම්කරුවන්ද, කොන්ත්‍රාත්කරුවන්ද, හිමිකරු ද කියලා වෙනසක් නැහැ.
අලුත් විදියට නිවසේ සිට වැඩකටයුතු කරනවා. කොවිඩ් සමයේ අප සියලුදෙනා මෙම අත්දැකීම ලබා ගත්තා.
සම්පුර්ණයෙන් ලංකාවේත්, ලෝකයේත් ක්‍රමවේදය වෙනස් වෙලා තිබෙනවා.
වෘත්තීය සමිතිත් ඒ අනුව වෙනස් විය යුතුයි. එම යථාර්ථය හදුනාගත් පුද්ගලයෙකු ලෙස ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා හැඳින්විය හැකියි.
ඔහු නවීකරණය සමග ඉදිරියට යාමට කටයුතු කළා. අද තිබෙන ව්‍යාපාර නෙවෙයි එදා තිබුණේ.
අද ලෝකයත් වෙනස් වෙලා, අපේ රටත් වෙනස් වෙලා. අද අප සිටින්නේ විවෘත ආර්ථිකයකයි.
ඒ අනුව අලුත් ලෝකය සමඟ අපේ සම්බන්ධකම් පවත්වාගෙන යන්නේ කෙසේද කියා අප තීරණය කළයුතුයි.
1964 සටන් පාඨ හෝ ක්‍රියා මාර්ග අද අපට සුදුසු නැහැ. එසේනම් අප සියලුදෙනා යථාර්ථය පිළිගෙන අනාගතයට මුහුණ දිය යුතුයි.
විශේෂයෙන් වෙළෙඳපොළ ආර්ථිකයත්, සමාජ සාධාරණත්වයත් එකට එක් කරගෙන ඉදිරියට යන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි.
අද අප රටක් ලෙස ඉදිරියට යන්නේ අසීරු තත්ත්වයක සිටයි. අපේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා.
අද අපේ රටේ ජනතාව සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරු අන්දම දෙස බැලූ විට එක අතකින් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබෙන බව කියන්න පුළුවන්.
නමුත් මම එයින් සෑහිමකට පත් වන්නේ නැහැ.
වැටී සිටී අප දැන් නැගිට ඇවිදිමට පටන් ගත්තා පමණයි.
අපට තව දුර යාමට තිබෙනවා.
අප එය මතක තබා ගෙන කටයුතු කළයුතුයි.
2027 වන තෙක් ණය නොගෙව සිටීමට අප දැන් අවස්ථාව ලබාගෙන තිබෙනවා.
පොළිය ගෙවීමට තිබෙනවා.
නමුත් ණය ගෙවන්නේ නැහැ.
ණය ගෙවීමේ කාලය 2042 දක්වා අප ඉල්ලා තිබෙනවා.
අප ඒ පිළිබද සාකච්ඡා කර අවසාන එකඟතාවකට පැමිණීමට කටයුතු කරනවා.
ණය බර නිසා රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දිය නොහැකියි.
නමුත් අප ආනයන පදනම් කරගත් ආර්ථිකයක තවදුරටත් රැදී සිටියහොත් අපට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා.
මේ විදියට විදේශ ණය ලබාගැනීම අඛණ්ඩව සිදු කළහොත් අප එම ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි.
ඒ වගේම දේශීය ණය ලබා ගැනීමත් සීමා කිරීමට අප දැන් තීරණය කර තිබෙනවා.
දේශීය ණය සීමා කළ විට සේවක අර්ථ සාධක අරමුදලින් ලබාගත හැකි මුදල් ද සීමා වෙනවා.
ඊළගට මතු වන්නේ එම ආයතනවල රැස්වන මුදල් ආයෝජනය කරන්නේ කෙසේද,
දේශීය වශයෙන් ආයෝජනය කරනවාද විදේශීය වශයෙන් ආයෝජනය කරනවාද කියන ප්‍රශ්නයයි.
එම තීරණය ගතයුත්තේ කවුරුන් විසින්ද යන්න අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු විය යුතු කරුණක් බවට පත්ව තිබෙනවා.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වැදගත්ම අංශ වන්නේ මූල්‍ය අංශයයි.
බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් තමයි වෙළෙඳ ආර්ථිකය තීරණය කර තිබෙන්නේ.
ඒ නිසා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන මේ සියල්ල ශක්තිමත් කර බැංකු ක්ෂේත්‍රය තුළ රජයේ අයිතිය තබා ගැනීමට රජය කටයුතු කරනවා.
පාලනය කරන බැංකු කිහිපයකුත්, පුද්ගලික බැංකුවලත් කොටස් ලබාගෙන මූල්‍ය අංශයේ රජයේ ශක්තිය තබා ගැනීමට කටයුතු කළයුතුයි.
එතැන් සිට තමයි අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ.
රජයේ අනෙක් ආයතන සඳහා, එදිනෙදා කෙරෙන දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් සිදු නොවන අයුරින් නව නීති කිහිපයක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මේ රට දියුණු කිරීම පිළිබඳ අප අලුතින් සිතිය යුතුව තිබෙනවා. ආර්ථිකය දියුණු නොකළහොත් ලංකාවට අනාගතයක් නැහැ.
මේ රටේ ජනතාව විදි දුක පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා.
2019 වසරේ 15%ක්ව තිබූ මේ රටේ බහුමාන්‍ය දිළිදුකම අද 26%ක් දක්වා වැඩි වී තිබෙනවා.
ආදායම් මාර්ගයක් නැති, අධ්‍යාපන පහසුකම් නැති කොටසක් සිටිනවා. 2032 වන විට එය 10%ක් දක්වා අඩු කර ගැනීමට ඒ අනුව අප දැන් එකඟ වෙලා තිබෙනවා.
එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවල ඇතුළත් වෙලා තිබෙනවා.
ඒ නිසා අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.
මෙම බහුමාන්‍ය දිළිදුභාවයට විසදුම් ලබාදීම වෙනුවෙන් තමයි අපි උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ.
ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියත් එම පදිංචිකරුවන්ට ලබාදීමට අප කටයුතු කරනවා.
වත්කමක් නැති ජනතාව වෙනුවෙන් එම වත්කම ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අප අලුතින් සිතිය යුතුයි.
අපි දැන් ආර්ථික වශයෙන් දෙපයින් සිට ගත්තා විතරයි. අපිට දැන් ඇවිදින්න තිබෙනවා.
කෙසේ හෝ මෙම වසරේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළා.
ඒ හා සමගාමීව පුද්ගලික අංශයේද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම වසරේ දී තවත් සහන ලබාදීමට ආර්ථික ශක්තියත් නොතිබුණද ලබන වසරේදී රාජ්‍ය සේවකයන්ට යම් සහනයක් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසදීමට කමිටුවක් පත් කිරීමට අප තීරණය කර තිබෙනවා.
ඒ අනුව කමිටුවට සුදුසු අය පත්කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
මෙය අසීරු ගමනක්.
පසුගිය ආර්ථිකය අර්බුදයෙන් වැඩීම පීඩාවට ලක්වූයේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි.
අප සියලුදෙනා එකට මේ ගමන යා යුතුයි.
විශේෂයෙන්ම අපි සේවක කේන්ද්‍රයක් ඇති කරමු.
අලුත් වෘත්තීය සමිති, සේවක අයිතිවාසිකම් ලබා ගැනීම්, ක්‍රමවේද කුමක්ද කියා අවධානය යොමු කර ඒවා ක්‍රියාත්මක කළයුතුයි.
එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුවෙන් වසරකට යම්කිසි මුදලක් ලබාදීමට කටයුතු කරනවා මේ පිළිබඳ අප තවදුරටත් සාකච්ඡා කරමු.
මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සහ දේශපාලය සහ වෘත්තීය සමිති ව්‍යාපාරය අතර තිබෙන සම්බන්ධතාවත්, අනාගතයේ ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳවත් සිතිය යතුයි.
අද අපේ රට වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.
ඒ පිළිබඳ සියලුදෙනාගේ අදහස් ඉදිරිපත් කර එකඟතාවකට පැමිණීමට සේවක කේන්ද්‍රයක් ඇති කිරීමටත්, ඒ සඳහා ආණ්ඩුවෙන් මුදලක් ලබාදීමටත් අප සූදානම් බව ප්‍රකාශ කරමින් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙම කාලය තුළ කළ සේවයට මාගේ ස්තූතිය පිරිනමනවා.” ලෙස පැවසීය.