දේශපාලන වේදිකාවේ ඕපා දූප කථා කර වැඩක් නැහැ,අද අප ආණ්ඩුවේ සිටින්නේ බිය නැතිව අභියෝග භාරගෙන කටුයතු කළ නිසයි – ජනපති රනිල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW):අද (04) දින රවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 350ක් ප්‍රදානය කිරීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින් ,රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් වන ඉලක්ක පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇති කරගෙන තිබෙන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.

2027 වන විට මෙරට ආර්ථිකය 5%ක් දක්වා වර්ධනය කර ගැනීමට ඇති බවත්, එය ඉදිරියේදී 8%ක් දක්වා වර්ධනය කරගත යුතු බවද කියා සිටියේය.

විරැකියාව 2025 වන විට 5% දක්වා අඩුකරගත යුතු බවත්, බහුමාන්‍ය දිළිදුකම 2027 වන විට 25% ක් -15%ක් දක්වා අඩු කර ගැනීමත් 2035 වන විට එය 10%කට අඩු කර ගැනීමේ ඉලක්කය වී ඇති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර අදහස් දක්වමින්,

” මෙම උරුමය සින්නක්කර ඔප්පු හිමිවීම ඔබේ අයිතිය ලබාදීමක් ලෙස මම සලකනවා. ජනතාවට මෙම අයිතිය ලබාදීමට මෙතෙක් පැවති සියලු ආණ්ඩු අපොහොසත් වුණා. ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වූණේ නැහැ. නමුත් අපි ආණඩුවක් ලෙස එම වැඩකටයුත්ත සිදු කර තිබෙන අතර සුදු ජාතිකයින් මෙරට ජනතාවගේ ඉඩම් අත්පත් කරගත් නීතියෙන්ම රටේ ජනතාවට යළි එම ඉඩම් අයිතිය ලබාදී තිබෙනවා. දැන් එම ඉඩම ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමක් වෙනවා.

මේ ආණ්ඩුව සමාන්‍ය ආණඩුවක් නොවෙයි. මෙය එක් පක්ෂයකින් නිර්මාණය වු ආණ්ඩුවක් නොවෙයි. සෑම පක්ෂයකම නියෝජිතයන් මේ ආණඩුවේ සිටිනවා. ඒ වගේම සෑම පක්ෂයකම කණ්ඩායම් විපක්ෂයේද සිටිනවා. ඒ නිසා ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් සර්වපාක්ෂිකයි.

නමුත් ආණ්ඩුවක් ලෙස අද අප විශාල වගකීමක් භාරගෙන තිබෙනවා. විපක්ෂය කියන්නේ එම වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ කණ්ඩායමයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ තිබෙන වෙනස එයයි. එදා රටේ තිබූ තත්ත්වය මම අමුතුවෙන් ප්‍රකාශ කළයුතු නැහැ. නමුත් අද අපි මේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට වසර 04ක් 05ක් ගතවනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවා. නමුත් වසර දෙකකින් අපට ගොඩ ඒමට හැකි වූ අතර එහිදී අසීරු තීන්දු තීරණ ගැනීමට ද සිදු වුණා.

අද රටේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට පැමිණ තිබෙනවා. දැන් අප රටේ බහුමාන දිළිදුකම අඩු කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කර තිබෙන අතර ඒ වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මේ රටේ 80%ක් පවතින්නේ ග්‍රාමීය ආර්ථිකයයි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නේ නැතිව දුප්පත්කම නැති කරන්න බැහැ.

ඒ වගේම රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් වන ඉලක්ක පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟතා ඇති කරගෙන තිබෙනවා. 2027 වන විට මෙරට ආර්ථිකය 5%ක් දක්වා වර්ධනය කර ගැනීමට තිබෙනවා. එය ඉදිරියේදී 8%ක් දක්වා වර්ධනය කරගත යුතුයි. විරැකියාව 2025 වන විට 5%දක්වා අඩුකරගත යුතුයි. ඒ වගේම බහුමාන්‍ය දිළිදුකම 2027 වන විට 25% ක් -15%ක් දක්වා අඩු කර ගැනීමත් 2035 වන විට එය 10%කට අඩු කර ගැනීමේ ඉලක්ක අපට තිබෙනවා.

අප මේ වැඩකටයුතු කරන බව ප්‍රකාශ කළ නිසා රටේ ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සම්පූර්ණ සහාය ලබා දී තිබෙනවා. ඒ වගේම අප ලබාගත් විදේශ ණය ආපසු ගෙවීම ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ කඩ කළහොත් අප නැවත රටක් ලෙස පසුපසට යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපට අහිමි වෙනවා. මොකද ලංකාව අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මෙම පොරොන්දු ලබාදී ඒවා කඩ කළා.

ඒ නිසා මේ සියලු එකඟතාවන් ඇතුළත් කර ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම කෙටුම්පත මඟින් අපේ ආර්ථික ඉලක්ක සහ එකඟතාවන් නීතිගත කර තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යන බවට, අපට ණය ලබාදුන් රටවල් සෑහීමකට පත්ව සිටින නිසා ඔවුන්ගේ සහාය අපට හිමි වෙනවා.

ඒ නිසා අපට මෙය වෙනස් කරන්න බැහැ. දැන් මෙම සාකච්ඡා අවසන් අදියරේ පවතිනවා. ඒ නිසා දේශපාලන වේදිකාවේ ඕපා දූප කථා කර වැඩක් නැහැ. තමන් කරන කියන දෙයක් මෙම රාමුව තුළ සිදු කළ යුතුයි. ඒ නිසා මම විපක්ෂයට කියනවා ඔබ විපක්ෂයට ගියේ වගකීම් භාර ගැනීමට නොහැකි වු නිසයි. සාම්ප්‍රදායික දේශපාලනය කළ නිසයි. අද අප ආණ්ඩුවේ සිටින්නේ බිය නැතිව අභියෝග භාරගෙන කටුයතු කළ නිසයි. දැන් අප ප්‍රතිඵල පෙන්වා තිබෙන නිසා අපි සියලුදෙනා එක්ව එක මාර්ගයක ගමන් කරමු කියා මා සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා” ලෙස පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...