මැයි නව වැනිදා ගෝල්ෆේස් සාමකාමී අරගලයට කළ තිරිසන් පහර දීමෙහි ප්‍රතිපලය වූයේ එදින රාත්‍රිය වන විට ප්රචණ්ඩ ක්‍රියා රැල්ලක් රට පුරා ඇති වීම ය.ගාලුමුවදොර ජන අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත් වීමේ ප්‍රතිපල හැටියට රටේ දස දෙසින් විශාල ජන පිරිවරක් ඇදී ආවේ ය.සිරිපා වන්දනා සමයෙහි ජාති ආගම් කුල භේදයකින් තොර ව ජන ගඟක් ඇදෙනා සේ ගෝඨාගේහෝම් ගම්මානයට ද ජන පිරිවර ඇදී ආහ.මුලු රටේ ම හෘද සාක්ෂිය එතැන විය.
අරලිය ගහමන්දිරයේ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමෙහි අවසන් ප්‍රතිපලය වූයේ පොලු මුගුරු යකඩ බට අතින්ගත් දාමරිකයන්ගේ බිහිසුණු ප්‍රහාරයයි.මේ ප්‍රහාරයෙන් රට ම කැළඹුණේය.පහර දීමට පැමිණි මැරයන් ගමන්ගත් බස්රථ ඇතුළු වාහන සොයා මංමාවත් අවහිර කෙරුණේ වීදි බට ජනතාව අතිනි.හඳුනාගත් බස් රථ ගණනාවක් ගිනි බත් කෙරිණ.රාත්‍රි කාලයෙහි මහජන නියෝජිතයන් සතු නිවාස රැසක් ද ගිනිබත් කෙරිණ.ඒ සම්බන්ධයෙන් සැකපිට විවිධ අය අත්අඩංගුවට ගෙන ඇත.යම් සැකයක් ද පහළ වේ.එනම් අරගලය විකෘති කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් දියත් වූයේ ද යන්න ය.එමෙන් ම සිංහල සහ මුස්ලිම් ජනවර්ග අතර මීගමුවෙන් ඇරඹෙන්නට ගිය ගැටුම ද ජන මැදිහත් වීමෙන් නතර කෙරිණ.
අත්අඩංගුවට ගැනීම් තවමත් සිදු වෙයි.ගාලුමුවදොර ප්‍රහාරයේ මහමොළකරුවන් එලියේ සිටියදී දෙවැනි හා තෙවැනි පෙළ දාමරිකයන්ගෙන් ඇතැමුන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර නිවාස අහිමි වූ මහජන නියෝජිතයන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන ද අවධානය යොමු ව තිබේ.මේ සඳහා මහා භාණ්ඩාගාරයෙන් විශාල මුදලක් ද ඉල්ලා ඇත.
ගිනි තබා විනාශ කළ නිවාස රජයේ වියදමෙන් ඉදි කර දෙන්නැයි බලවත් ඉල්ලීමකි.සමහරු අඬති.දුක්ගැනවිලි කියති.
මේ සෑම ඉදිකිරීමක් පිටුපස ම මහා ශ්‍රමයක් ඇත.ධනය ආයෝජනය කිරීමක් පවතී.ඇතැමුන් තම නිවාස ඉදිකරගෙන ඇත්තේ දුක සේ සාධාරණ ව උපයාගත් ධනයෙනි.සමහරුන්ට එය පරම්පරාවෙන් ලද උරුමයකි.තවත් අයෙක් දූෂණයෙන් වංචාවෙන් උපයාගත් ධනයෙන් හිතන්නටත් බැරි තරම් මාලිගා තනති.
හිඟන්නෙක් මෙන් ප්‍රාදේශීය සභාවට,නගර සභාවට,පළාත් සභාවට,පාර්ලිමේන්තුවට තේරී පත් වී කෙටි කලකින් සුවිසල් මන්දිර තනන්නෝ ද වෙත්.මේ වනාහී මහජනයාගෙන් සොරාගත් ධනයයි.
නිවාස හා දේපල වැනසීම,ගිනි තැබීම අපරාධයකි.එයට අනුබල දිය යුතු නැත.එහෙත් අසාධාරණයට එරෙහි වන ජනතා සිත්හි සාධාරණ තරහක් පවතී.
“මුන් අපෙන් හොරා කාපු සල්ලිවලින් හදපු මන්දිර”
ඒ තමයි හැඟීම.ඒ නිසා ලද අවසරයෙන් පහර දෙති.කොල්ල කති.ඒ නාටකය අපි දුටුවෙමු.
මෙහිදී සිහි නුවණින් ඇත්ත ඇති සැටියෙන් දකිමු.
වත්කම් හා බැරකම් නීතිය මහජන නියෝජිතයන් ඇතුළු පාර්ශ්ව ගණනාවකට අදාල ය.පූර්ණකාලීන ජනමාධ්‍යවේදියකු හැටියට කටයුතු කළ සමයෙහි මම ද වත්කම් බැරකම් පෝරමය පුරවා බාර දී ඇත්තෙමි.
වත්කම් බැරකම් නීතිය නොසලකා කටයුතු කරන ඇතැම්හු ද මහජන නියෝජිතයන්ගේ දේපල සංහාරය අනුමත කරති.එය උත්ප්රාසජනක ය.
ගිනිතැබීම හා එය අනුමත කිරීමට පෙර කළ යුතු වගකීමක් ඇත.එනම් වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු අය ඒ වගකීම ඉටු කිරීම ය.නොකරන අයට බල කිරීම ය.
දෙවැන්න අතිශයින් වැදගත් ය.එනම් අයථා අයුරින් දේපල උපයා ඇති බව හැඟේ නම් සෑහීමකට පත් විය හැකි ආකාරයෙන් තොරතුරු සපයාගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීම ය.
පළාත් පාලන ආයතනය හෝ පාර්ලිමේන්තුව මගින් ලබන වැටුපෙන් කළ නොහැකි විස්මකර්ම ඉදිකිරීමක් හෝ දේපල මිලදී ගැනීමක් සම්බන්ධ ව තමාට සැකයක් තිබේ නම් අසවල් කාලය තුළ අසවල් වැටුපක් ලැබූ පුද්ගලයා මේසා ධනයක් උපයා ගත්තේ කෙසේ දැයි පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සිටිය හැකි ය.
දේපල විනාශ කිරීමට වඩා එය ප්රඥාගෝචර ය.අපි එතනින් පටන් ගමු.
විනාශ කළ නිවාස රජයෙන් ඉදිකර දීම යනු මහජන මුදලින් නැවත ඉදිකිරීම ය.ඒ වනාහී දෙවතාවක් ම මහජන මුදල් කොල්ලකෑමකි.එය අපරාධයකි.සාධාරණ සැකයක් ඇති තැන් විමසා බලා පැමිණිලි කිරීම අරඹමු.හිතවතුනි;වතියනි.එය තමන්ගේ ගම්පළාතෙන් ම ආරම්භ කරමු.!
තිඹිරියාගම බණ්ඩාර