ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය වෙනුවෙන් ඉතිහාසගත ප්‍රතිපාදනයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:2026 වර්ෂය සඳහා වෙන් වූ අයවැය මුදලින් ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය සඳහා ඉතිහාසය තුළදී වෙන්වූ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 13.5 ක මුදලක් වෙන්කර ඇති අතර පාසල් අලුත්වැඩියා කටයුතු සඳහාද රුපියල් බිලියන 5ක් වෙන්කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

එසේම දරුවකුට ආදරය, රැකවරණය සහ සුරක්ෂිතතාව ලබාදෙන සුවිශේෂී ස්ථානයක් බවට පාසල පත් කිරීමේ වගකීම රජයක් ලෙස අප ඉතා විශ්වාසයකින් යුතුව භාරගන්නා බවයි අගමැතිවරිය පැවසුවේ.

අගමැතිවරිය මේ බව සඳහන් කළේ පසුගිය (02) දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන සඳහා පැමිණ සිටි බස්නාහිර පළාතේ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් අමතමිනි.

මෙහිදී අමාත්‍යාංශ චක්‍රලේඛයන්ට අනුව පාසල් වැඩකටයුතු පවත්වාගෙන යාම සහ මූල්‍ය විනිවිදභාවයකින් යුතුව පාසල් සංවර්ධන ව්‍යාපෘති ඇතුළු පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම්වත් කිරීම් බස්නාහිර පළාත් විදුහල්පතිවරුන්ට ලබාදීම සිදු විය.

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම්වලට අනුව පාසල් පරිසරය හැඩගැස්වීම සඳහා වූ අවබෝධයද ඔවුන්ට ලබාදීම සිදුව ඇති අතර පාසල් කටයුතු පවත්වාගෙන යෑමේදී මුහුණපෑමට සිදුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය හමුවේ අදහස් ප්‍රකාශ කිරීමට පැමිණ සිටි විදුහල්පතිවරුන්ට අවස්ථාව හිමි වී ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකත්වය දරන පිරිසක් ලෙස විදුහල්පතිවරුන් සිදුකරන කාර්යභාරයේ ඇති වගකීම් සහගත බව රජයක් ලෙස අප හොඳින් අවබෝධ කර සිටින බවත්, ඕනෑම අර්බුදකාරී තත්ත්වයකදී පවතින සම්පත් කළමනාකරණය කරමින් පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන් විසින් සිදුකරන කැපකිරීම අගය කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ කාලයක් තිස්සේ නිර්මාණය වී තිබූ අර්බුද හා ගැටලු හේතුවෙන් පැන නැගුණ ප්‍රශ්න සමස්තයක් ලෙස අවබෝධ කර ගනිමින්, සැමටම වරප්‍රසාද හිමිවන පරිවර්තනීය මාවතකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යොමුකරලීම සඳහා රජයට තිරසාරාත්මක සැලසුමක් ඇති බවද ඇය සඳහන් කළාය.

එසේම ගුරු බඳවාගැනීම් සම්බන්ධ නඩු තීන්දුවට අනුව ගුරුවරුන් 23000ක ප්‍රමාණයක් බඳවාගැනීමට අනුමැතිය හිමිවී ඇති හෙයින් මෙම වසර අවසානයේදී ගුරුවරුන් බඳවාගැනීම් සිදුකරන බවත්, ඒ අනුව 2027 වසර වන විට ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගත හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

මේ වන විට අරඹා ඇති පාසල් යටිතල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධන වැඩසටහන් හැකි ඉක්මණින් නිමාකර සිසුන්ට ඒවා භුක්ති විඳීමට සලස්වා, 2027 වසරේ සිට නව පාසල් සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට රජය සැලසුම් සකස් කර ඇති බවත් මෙහිදී පාසල් යටිතල පහසුකම් සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...