නිශ්මං රණසිංහ ජුනි 06, කොළඹ LNW:
උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ වගකීම විය යුත්තේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක පරික්ෂාව සිදු කරනවාට වඩා වැඩි බරකින් ඔවුන් ඒ වෙත ඇදී යාමට ඇති හේතු වැළැක්වීම බවත්, තම දක්ෂතාවය සහ තමා තුළ පවතින ශක්තියෙන් ලබා ගන්නා ජයග්‍රහණය ශ්‍රේෂ්ඨ වන බව ක්‍රීඩකයන් තුළ ජනිත කළ යුතු බවත්, ආයතනයක් ලෙස සහෝදරත්වයෙන් මේ ගමන යන්නට සියලු දෙනාට ආරාධනා කරන බවත් ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ නව සභාපති ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය පැවසුවේය.
අිචාර්ය කහටපිටිය ක්‍රීඩා විද්‍යාව පිළිබඳ කියුබාවේ “මැනුවෙල් ෆජාර්ඩෝ” ජාත්‍යන්තර භෞතික, සංස්කෘතික හා ක්‍රීඩා විද්‍යා විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධියක් සහිතව ඉක්වදෝරයේ ක්විටෝ හි “ඩි’ෆර්නැන්ඩා” ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයෙහි පරිපාලන කළමනාකරුවෙකු වශයෙන් ද කලක් සේවය කර අත්දැකීම්ලත් අයෙකු බව න්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.මීට අමතරව ජාත්‍යන්තර බොක්සිං සංගමයෙහි (IBA) ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු වශයෙන් ද,කියුබා යොවුන් ජාතික බොක්සිං කණ්ඩායම් සහකාර පුහුණුකරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ පෙන්වා දෙයි.
මාධ්‍යකරුවන් ලෙස ඔහු සම්බන්ධ අප සතු වැදගත්ම මතකය වන්නේ, ඔහු දකුණු ආසියානු කණිෂ්ඨ බොක්සිං ශූරතාවලිය නියෝජනය කරමින් නේපාලයේ පැවති තරගාවලිය නියෝජනය කර, එහිදී පදක්කමක් දිනා ගන්නට සමත් විය. ජාත්‍යන්තර “YMCA” බොක්සිං ශූරතාවලියන්හි, පදක්කම් ලාභියෙකු ද වන ආචාර්ය ලලීෂ හොරණ විද්‍යාරතනයේ සිසුවෙකු ලෙස ද,මාස් ආයතනයට සම්බන්ධව එහි සේවය කළ බොක්සිං ක්‍රීඩකයන් ගොන්නේ ද රැදී ජාතික මට්ටමෙන් බොක්සිං තරග නියෝජනය කර ඇත.
වැඩ ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිළධාරීන් ඇමතූ නව සභාපතිවරයා තව දුරටත් පැවසුවේ, අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට මේ යන ගමනට ක්‍රිඩාව මගින් කළ හැකි කාර්යය ඉතා විශාල බවත්, එමගින් ඉතා යුහුසුළුව ජාත්‍යන්තරය ඉදිරියේ රට සන්නාමකරණයට ලක් කළ හැකි බවයි.
වර්තමාන රජයේ වැඩපිළිවෙල අනුව, එක්ව කටයුතු කිරීමේ හැකියාව නිසා,තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත්, තරුණ කටයුතු අංශයත් ඒකාබද්ධව විශාල සේවාවක් ක්‍රීඩාවෙන් ලබා දීමට හැකි බවත්, එමඟින් තරුණ පරම්පරාව රටටත්, තමාටත් හානි වෙන අනිසි මාර්ග කරා ඇදී යාම පාලනය කිරීමට හැකියාව පවතින බවත් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපති ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදී.

