රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW :
හෙට (10) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එම සංචාරයේ ප්‍රධාන අරමුණ වනුයේ, දෙරට අතර සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම බව සඳහන් වේ.
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු කරනු ඇත.
තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් හමුවීමටද නියමිතය.
මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වන බව සඳහන් වේ.
