එල්-නිනෝ බලපෑම සහ ඊට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ආදී අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඉදිරියේදී මතු විය හැකි එල්-නිනෝ තත්ත්වය මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇති කරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

මේ යටතේ දැනට පවතින ජලාශවල ජල ධාරිතා, කෘෂිකර්මාන්තය, පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඇති විය හැකි තෙරපුම කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර ආදී කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මෙවර ඇති වන එල්-නිනෝ තත්ත්වය වඩාත් සමීප විය හැක්කේ 2016 – 2017 වර්ෂවල ඇති වූ තත්වයට බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු විශේෂයෙන්ම ජල කළමනාකරණ සැලසුම ඒ අනුව සකසා ඇති බව පෙන්වා දුන්හ. මේ යටතේ 2026 වසරේ යල කන්නය මාස එක හමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවද ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.

ඇති විය හැකි තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර විදුලි නිෂ්පාදනය මෙන්ම ඉදිරි යල කන්නය ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වයද කළමනාකරණය කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගොපොලගේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.කේ.කේ. හේරත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් ඩී.ඩී.ජී.ඒ. ජයවර්ධන යන මහත්වරු සහ අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...