වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරීම

Date:

පහත ප්‍රස්ථාරයේ තිබෙන්නේ වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්. පෙබරවාරි වෙද්දී ධන පැත්තට හැරිලා. අප්‍රේල් අවසානයේදී රුපියල් බිලියන 152ක් වෙලා. ඒ වන විට පැවති විණිමය අනුපාතය වූ ඩොලරයකට රුපියල් 321.65 සැලකූ විට ඩොලර් මිලියන 472ක්.

මැයි මාසයේදී මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විසින් මිල දී ගෙන තිබෙන, අන්තිමට ගෙවූ ස්වෛරිත්ව බැඳුම්කරයේ වටිනාකමටද වඩා වැඩි, මිලියන 662.50ක විශාල ඩොලර් ප්‍රමාණය සහ එසේ මිල දී ගැනීමෙන් පසුවද ඩොලරයක මිල රුපියල් 295.52 දක්වා සැලකිය යුතු ලෙස පහත යාම සැලකූ විට මැයි මාසයේදී බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් තවත් ඉහළ ගොස් තිබීමට මිසක් අඩු වී තිබීමට කිසිදු හේතුවක් නැහැ.

මෙපමණ අතිරික්තයක් බැංකු පද්ධතිය ඇතුළේ තිබෙනවා කියා කියන්නේ ආනයන සම්බන්ධ සීමාවන් ඉවත් කළා කියලා කිසිසේත්ම බැංකු පද්ධතිය ඇතුළේ ක්ෂණික ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම, ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යන්න හේතුවකුත් නැහැ. ඔය තියෙන ඩොලර් ටිකෙන්ම වුනත් මාස දෙක තුනක් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒ කාලයේත් තවත් ඩොලර් එනවා.

වාහන ආනයන සීමා ඉවත් කළොත් පමණක් වෙනසක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ ගොඩක් අය වාහන ගන්නේ ආයෝජනයක් විදිහට. ඩොලරය දිගුකාලීනව කොහොමටත් ඉහළ යනවා. කාලෙකින් වාහන ආනයනය කරන්න ඉඩ ලැබිලත් නැහැ. ඒ නිසා ඩොලරයක මිල අඩු වෙලා තිබෙන මේ වෙලාවේ වාහනයක් ගන්න එක විශාල වාසියක්. ඔය හේතුව නිසා ක්ෂණිකව, සාමාන්‍ය ඉල්ලුම ඉක්මවන ලොකු ඉල්ලුමක් එන්න පුළුවන්. හැබැයි අනෙක් අතට ඉහළ පොලී අනුපාතික නිසා මේ ඉල්ලුම යම් තරමකින් සීමා වෙනවා.

ගෙවුම් ශේෂ අර්බුද, වසංගත එන්න කලින් 2019දී පෞද්ගලික වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 815.7ක් ගිහින් තිබුණා. ප්‍රවාහන උපකරණ වෙනුවෙන් තව ඩොලර් මිලියන 596.6ක් ගිහින් තිබුණා. දෙක එකතු කරලා දොළහෙන් බෙදුවොත් මාසයකට ඩොලර් මිලියන 118ක්.

අනෙක් අතට 2019 වෙළඳ හිඟය (ඩොලර් මිලියන 7,997) දොළහෙන් බෙදුවොත් ඩොලර් මිලියන 666ක්. ගෙවුණු අප්‍රේල් මාසයේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 583ක්. බොහෝ දුරට මෙය පුළුල් වෙන්න ඉඩ තියෙන්නේ වාහන ආනයනය සිදු වෙද්දී. කෑම වර්ග, සනීපාරක්ෂක ද්‍රව්‍ය, සුවඳ විලවුන් වගේ දේවල් ටිකක් ගෙනාවා කියලා ඔය හිඟය ලොකුවට වැඩි වෙන්නේ නැහැ.

වාහන හැර අනෙක් දේවල් හා අදාළව වුවත් ඉල්ලුමේ යම් තාවකාලික වැඩි වීමක් වෙන්න පුළුවන්. ආනයන නැවැත්තුවට පස්සේ ටික කාලයක් රට ඇතුළේ තිබුණු තොග වලින් ආනයන ආශ්‍රිත ව්‍යාපාර දිවුවා. පහු වෙද්දී ඒ ව්‍යාපාර වැටුනා. දැන් ඒ වගේ ව්‍යාපාර නැවත ඔලුව උස්සද්දී එක පැත්තකින් රටේ කාලයක් තිස්සේ තියෙන ඉල්ලුමට හරියන්නත්, අනෙක් පැත්තෙන් ව්‍යාපාර දුවන්න තොග හදාගන්නත් ආනයන කරන්න සිදු වෙනවා. ජංගම දුරකථන හා උපාංග, ගෘහ විද්‍යුත් උපකරණ වගේ දේවල්. තව එතකොට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය දේවල්. ඒ නිසා, සීමා ඉවත් වෙද්දී මුල් මාස කිහිපය තුළ ඉල්ලුමේ පීක් එකක් එන්න පුළුවන්. ඒක පස්සේ හරියයි.

මහ බැංකුව විසින් එකතු කරගත්ත සංචිත නැවත විකුණන්නත් බැරි නිසා ඔය පීක්‌ එකට අවශ්‍ය තරම් විදේශ විණිමය සංචිත බැංකු පද්ධතිය ඇතුළේ තිබිය යුතුයි. මම හිතන්නේ එම අවශ්‍ය ප්‍රමාණය තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...