2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සෑම වසරකම ජුනි 14 වන දින සමරනවා. මේ සටහන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ගැන.
රුධිරය එහෙම නැත්නම් ලේ කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන තරලමය පටකයක් කියලා අපි දන්නවා. සමහර වෙලාවට විවිධ රෝගාබාධ සහ අනතුරු නිසා ශරීරයේ තියෙන ලේ ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල රුධිරය කෘත්‍රීමව නිපදවිය නොහැකි නිසා රුධිර දායකයන්ගෙන් ලබා ගන්නා රුධිරය මෙවැනි රෝගීන්ට ලබා දීම සිදු කරනවා. රුධිර පාරවිලයනය කියලා කියන්නේ මෙසේ නිරෝගී රුධිර දායකයෙකුගෙන් ලබා ගන්නා රුධිරය, අවශ්‍ය රෝගියෙකු වෙත ලබා දීමයි.
ඕනෑම රුධිර දායකයන්ගෙන් ලබා ගන්නා රුධිරය ඕනෑම රෝගියෙකුට දෙන්න හැකියාවක් නැහැ. රුධිර පාරවිලයනය අත්හදා බලමින් සිටි අතීතයේ එසේ රුධිර පාරවිලයනය කිරීම රෝගීන් මිය යාමට පවා හේතු වුණා. වාසනාවකට 1901 වසරේ දී ඔස්ට්‍රියන් ජාතික කාල් ලෑන්ඩ්ස්ටයිනර් නම් විද්‍යාඥයා රුධිර වර්ගීකරණය සොයා ගත්තා. ඒ සොයා ගැනීම තමයි අදටත් රුධිර පාරවිලයනය සම්බන්ධ වැදගත්ම සාධකය. රුධිර පාරවිලයනයේදී ABO රුධිර ගණ ගැලපීම අත්‍යවශ්‍යම පියවරක්. මේ සොයා ගැනීම නිසා මෙම විද්‍යාඥයා 1930 වසරේදී නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලබනවා. ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාගේ උපන්දිනය යෙදෙන ජුනි 14 දා තමයි ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරලා තියෙන්නේ.
සෑම වසරකම තෝරා ගත් රටකදී ජාත්‍යන්තර සැමරුම් උත්සවයක් පැවැත්වෙනවා. මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වන්නේ ජීවිතයට බලාපොරොත්තුවක් දෙමු, රුධිර පරිත්‍යාගය සඳහා එක් වෙමු යන්නයි. 2014 වසරේදී එම ජාත්‍යයන්තර සැමරුම් උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදී. මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රධාන උත්සවය ජුනි 14 වෙනිදා කොළඹ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙනවා. ඒ රුධිර දායකයන් වගේම ලේ දන්දීමේ කඳවුරු සංවිධායකයින් ඇගයීම උදෙසා. වසරකට ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවයට රුධිර ඒකක ලක්ෂ 4ක් පමණ එකතු වෙනවා. ලේ දන්දීමේ කඳවුරු 5000ක් පමණ සංවිධානය වෙනවා. ඒ සියලු දෙනාම තවත් ජීවිතයක් බේරා ගැනීමට සිදු කරන මේ මෙහෙය, දායකත්වය අපිට එක දවසකට සීමා කරන්න බැහැ. ඒ වගේම ඒ උතුම් කාර්යයේ නිරත සියලු දෙනා එක් ස්ථානයකට කැඳවීමත් පහසු කටයුත්තක් නොවෙයි. එම නිසා ජාතික රුධිර පාරවිලයන සේවය මඟින් තෝරා ගත් පිරිසක් ඇගයීමට ලක් කරන අතරම සියලුම දෙනාගේ සේවය කෘතවේදීව සිහිපත් කරනවා.
~ විශේෂඥ වෛද්‍ය සමන්ත සෙනවිරත්න
