20 – 40 තරුණ පිරිස් අතර හෘදයාබාධ එන්න එන්නම වැඩිවෙනවා – වෛද්‍ය ගෝඨාභය රණසිංහගෙන් බරපතළ අනාවරණයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අවුරුදු 20 – 40 වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් අතර හෘද රෝග වාර්තා වීම වැඩිවෙමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

ප්‍රශ්නය – හදිසි තරුණ මරණ වාර්තා වෙනවා. ඊයෙ හිටපු මනුස්සයා අද මැරිලා. හොයලා බලපුවාම හාට් ඇටෑක්. මොකක්ද ඇත්ත තත්වය ?

“ට්‍රෙන්ඩ් එක බලපුවාම මේ අවුරුදු 20 ට වැඩි – 40 ට අඩු අයට හාට් ඇටෑක් හැදෙනවා. මේක එන්න එන්න වැඩිවෙනවා. ප්‍රතිකාර ගන්න එන අය 10 දෙනෙක් ගත්තොත් අඩුම ගාණෙ 4ක් නැත්නම් 5ක් වයස 40 ට අඩු අය. එහෙම තත්වයක් තියෙනවා”

ප්‍රශ්නය – එකපාරට මියයෑම් වාර්තා වෙනවානෙ. එහෙම කොහොමද වෙන්නෙ ?

“හාට් ඇටෑක් හැදුණාම පළවෙනි පැය ඇතුළත මරණයට පත්වෙන අය හුඟක් වැඩියි. මොකද, තරුණ අයට හැදෙන නිසා. අපි බලන්න ඕනෙ මේ තරුණ අයට කොහොමද මේක හැදෙන්නෙ කියලා. කොලෙස්ටරෝල් ප්‍රශ්නය විතරක්ම නෙවෙයි. අපේ ජීවන රටාව ස්වභාවික රිද්මයෙන් වෙනස් කරගෙන කෘතීම රටාවකට ඇවිල්ලා තියෙනවා. අපි නිදාගන්න විදිහ, අපි කන කෑම, අපට ඇතිවෙලා තියෙන මානසික ආතතිය, ඒ හේතු තමයි මේ බලපාලා තියෙන්නෙ. අපේ චලනයන් අඩුවෙලා තියෙනවා. අපි ඩෙස්ක් එකක පැය හතක් අටක් වාඩිවෙලා ඉන්නවා උදේ ඉඳලා රෑ වෙනකල්. හුඟක් අය කම්පියුටර් එකත් එක්ක. ඩිජිටල් ඕවර්ඩෝස්. ඒ කියන්නෙ කම්පියුටර් එකක්, ෆෝන් එකක්, එහෙම නැත්නම් මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා, ජොබ් එකක් කරනවා. එතකොට එයා මොබිලිටි සම්පූර්ණයෙන්ම අඩුවෙලා තියෙන්නෙ. සැකසූ ආහාර – කුස්සියේ හදන කෑම නෙවෙයි අපි කන්නෙ කර්මාන්ත ශාලාවෙ හදන කෑම. මස් ගන්න – කුකුළු මස්වලින් අපි සොසේජ් එකක් තමයි කන්නෙ. අර්තාපල් බලමු – ඒක අපි තම්බලා කනවට වැඩිය ඒකෙන් අපි චිප්ස් එකක් ගන්නවා. අර සැකසූ ආහාර. අපි දැනගන්න ඕනෙ ඒවායෙ තියෙනවා හුඟක් සංඝටක මේ ශරීරයේ හදවතට බලපාන. ඒකෙන් වෙන්නෙ කිරීටක ධමනිවලට හානි වෙනවා. එහෙම හානි වෙච්ච ගමන් ආයෙ කොලෙස්ටරෝල් අවශ්‍ය වෙන්නෙ නෑ. රුධිර ගමනයට බාධා වෙනවා, එතන කැටියක් හැදෙනවා, හාට් ඇටෑක් එනවා”

ප්‍රශ්නය – ගොඩක් කට්ටියගේ මතයක් තියෙනවා මේ කොවිඩ් කාලෙ ගහපු එන්නතත් මේකට හේතුවක් කියලා. ඒක ඇත්තද ?

“දැන් කොවිඩ් හැදුණානෙ. කොවිඩ් හැදුණාට පස්සෙ අපි වැක්සීන් එකක් හොයාගත්තා. ඒ වැක්සීන් එකෙන් අපි බේරුණා ඇත්තටම. නමුත් වැක්සීන් එකෙන් අතුරු ආබාධ එන්න බැරිකමක් නෑ. හරියටම ඒක නිසා මේ හාට් ඇටෑක් ඇතිවෙනවාද කියන එක මම පිළිගන්නවා අඩුයි. හේතුව, මම මේ ට්‍රෙන්ඩ් එක දැක්කා පහුගිය අවුරුදු 15 – 20 ඇතුළත. කොවිඩ් එකට කලින්. ඒක හින්දා මේක කොවිඩ් එන්නත නිසා කියලා කියන්න බෑ”

ප්‍රශ්නය – තරුණ තරුණියන්ට දෙන්න පුළුවන් කෙටිම උපදෙස මොකක්ද ?

“තමන්ගෙ සෞඛ්‍ය ගැන හිතන්න. මුදල් පස්සේ ගියත්, බිස්නස් පස්සේ ගියත්, අධ්‍යාපනය පස්සේ ගියත් අන්තිමට සෞඛ්‍ය තමයි වැදගත්. ඒක හින්දා සෞඛ්‍යයට ප්‍රමුඛතාව දෙන්න. කන දේවල් ගැන හිතන්න. තමන්ගෙ හොඳම කෑම තමයි ගෙදර හදන කෑම. එතකොට තෙල් ගැන හරිම සැලකිලිමත් වෙන්න. සීනි හොඳටම අඩුකරගන්න. දුම්බීම කරනවා නම් ඒක අඩුකරගන්න. ජිම් යනවා නම් ස්වභාවික ප්‍රෝටීන් ගන්න, කෘතීම දේවල් ගන්න යන්න එපා. එතකොට ඉනේ වට ප්‍රමාණය – පිරිමි එක්කෙනෙක් නම් අඟල් 35ට අඩුව නම්, ගැහැණු කෙනෙක් නම් අඟල් 32ට අඩුව තියෙනවා නම් හොඳයි”

ප්‍රශ්නය – හදවතේ තත්වය ගැන බලාගන්න මොකක්ද ලේසිම ක්‍රමය ?

“හැමවෙලේම බලන්න තරුණ අය නිතර චෙකප් කරන්න. අපේ මෙටබොලික් හෙල්ත් එක බලන්න, ඒක තමයි වැදගත්. ෆාස්ටින් බ්ලඩ් ෂුගර් 100 ට අඩුවෙන් තියෙනවාද බලන්න. ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරලා බලන්න. ඇත්තටම මම කොලෙස්ටරෝල් ගැන කතා කළේ නෑ. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒකට තියෙන්නෙ හැමවෙලේම ස්වභාවික රිද්මයක් එක්ක යන්න. වෙනස් කරන්න යන්න එපා. හුඟක් වෙලාවට ස්වභාව ධර්මයත් එක්ක යන්න බලන්න”

විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...