*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 31 විශේෂ චාරිකා

ඉස්සර මගී බස් රථවල – විශේෂයෙන්ම පෞද්ගලික බස් රථවල ඉදිරිපස ප්‍රදර්ශනය කෙරෙන ගමනාන්ත පුවරුව එසේ තිබියදී, තවත් පුවරුවක් ප්‍රදර්ශනය වුණා. ඒ තමයි `විශේෂ චාරිකා`. විශේෂ චාරිකා පුවරුව ඉස්සරහට එන්නේ විශේෂ චාරිකාවක් යන වෙලාවට. එතකොට සාමාන්‍ය ගමනාන්ත පුවරුව එක්කෝ පිටුපසට යනවා. නැත්නම් අනෙක් පැත්ත හැරිලා හැංගෙනවා.

විශේෂ චාරිකා කියල හඳුන්වන්නේ `සිංහලෙන්ම කියනවනම්` ට්‍රිප් යන එකට.  ලංකාවේ මිනිස්සු ඒ කාලේ ගියේ ට්‍රිප් ජාති දෙකයි. එකක් වන්දනා ගමන්. අනික විනෝද ගමන්. වන්දනා ගමන් ගියේ අනුරාධපුර, සිරීපාදෙ, වෙහෙරහේන වැවුරුකන්නල එක්ක කතරගම, ගඩලාදෙණිය ඇම්බැක්කේ එක්ක මහනුවර වගේ ආගමික සිද්ධස්ථාන තියෙන ප්‍රදේශවලට.

විනෝද ගමන් ගියේ සීගිරි දඹුළු, බදුලු බණ්ඩාරවෙල වගේ ප්‍රදේශවලට. බොහෝ වෙලාවට වන්දනා – විනෝද දෙමුහුන් වුණා. සීගිරි ලෞකිකයි. දඹුළු ලොවුතුරුයි. හැබැයි ඒ ගමන්වලට එක්කහු වෙච්ච තරුණ තරුණියන්ට දැනුණේ මුළු ගමන පුරාම ලෞකිකත්වයක්. බැතිබර වැඩිහිටියෝ සීගිරි ගියෙත් වන්දනා මනසින්. ඒක වරදක් නෙමෙයි. එකිනෙකා ලෝකෙ දකින විදිහ.

ට්‍රිප් යන එක බස් රථය කුලියට ගන්න කණඩායමේ උදවියට විතරක් නෙමෙයි බස් රථයටත් එහි සේවක මහත්වරුන්ටත් ජීවිතය නැවුම් කරන අද්දැකීමක්. හැමදාම එකම කාල සටහනකට එකම ධාවන මාර්ගයක දුවල දුවල ඒකාකාරී වෙලා තිබ්බ ඒගොල්ලන්ගෙ ජීවිතත් වෙනස් කරන්නේ ට්‍රිප්. යාමෙන් ඒමෙන් විතරක් නෙමෙයි කෑමෙන් බීමෙන් මිනිස් ඇසුරෙනුත් විශේෂ චාරිකා ජීවිත අලුත් කරනවා.

අර කලින් කිව්ව ලෞකිකත්වයේ මනසින් යුතුව යන ට්‍රිප්වලදී නිතර නිර්මාණය වෙන දෙයක් තමයි ලව්. ට්‍රිප් එක පටන්ගන්න හරියෙදි කොල්ලො කෙල්ලො ඇස්වලින් කතාකරනවා.  ට්‍රිප් එක ඉවර වෙන හරිය වෙනකොට..  ඈත කාලෙ නම් ඇඩ්‍රස් – මෑත කාලෙ නම් ෆෝන් නම්බර්ස් හුවමාරු වෙනවා. ශ්‍රද්ධාවන්තම වන්දනා ගමනකදී වුණත් මිහිරිතම ප්‍රේමයන් පවා මුණගැහෙන්න ඉඩ තියෙනවා.

“අපි වැඩිපුර ට්‍රිප් ගියේ කටින්“ කියල විහිළුවට වගේ කිව්වත් ඒක විහිළුවක්ම නෙමෙයි ඇත්තක්. අහම්බෙන් හොඳ මිතුරු හමුවකට ඇතුළු වුණාම – ඒකෙ අසිරිය දරාගන්න බැරි වුණාම “මචන් අපි සෙට් එක යන්කො ට්‍රිප් එකක්“ කියන යෝජනාව කාගෙන්හරි එනවා. එතන ඉඳන්.. කොහෙද යන්නෙ – කොහොමද යන්නෙ – මොකේද යන්නෙ – හැමදේම සැලසුම් කරනවා.

ඒත් පසුවෙනිදා ඉඳන් ජීවන අරගලය පටන් ගත්තට පස්සෙ අර සැලසුම් ඈතට යනවා. ආයෙත් එකිනෙකා අමතන්නවත් වෙලාවක් නැති වෙනවා. ඒ සමහර මිතුරුහමු මුළු ජීවිත කාලෙටවත් ආයෙ මුණ නොගැහිච්ච අද්දැකීම් ලියුම්කරුට තියෙනවා. සාමුහික වීමේ ආශාව කේවල ජීවිත ඇතුළෙ ඒ විදිහට දිය වෙලා යන එක ගැන පුංචි දුකක් ඔබට දැනෙන්නෙ නැද්ද ? ලස්සන ට්‍රිප් යන්න හිත්වලින් ප්ලෑන් කරන අපි පව් නැද්ද ?

ජීවිතයටත් විශේෂ චාරිකා අවශ්‍යයි. වෘත්තීය හා පෞද්ගලික ජීවිතවල විශේෂ චාරිකාත් ප්‍රධාන චාරිකාව බවට පත්වෙන අවස්ථා සමාජයේ දකින්නට නැතුවා නොවෙයි. විශේෂ චාරිකා විශේෂ වෙන්නේ එහි අඩංගුවේ හැමදෙයක්ම පාහේ විශේෂ නිසා. ජීවිතේ නිශ්චිත නිල හඳුනාගෙන ඒවාට විශේෂ සත්කාර කළොත් සාමාන්‍ය මනුස්ස ජීවිත ගමන විශේෂ චාරිකාවක් කරගන්න පුළුවන් නේද කියල ලියුම්කරු කල්පනා කරනවා.

ඒ කොයි දේ තෝර බේර ගන්නත් හිතේ සැනසීම තියෙන්න ඕන. ජීවත්වෙන රටේ සමාජයේ සැනසීමක් නැත්නම් හිතේ හදවතේ සැනසීම අහසින් පාත් වෙන්නෙ නැහැ. අපි මේ විශේෂ චාරිකා ගැන ලියන්නෙත් එදිනෙදා ගමනක් බිමනක් යන්නත් බස් එකක් නැති මොහොතක. බසුත් මිනිස්සුත් එක එක පෝලිම්වල. කොල්ලො කෙල්ලො සින්දු කිය කිය ට්‍රිප් යන බස්.. ආයෙ කවදා පාරවල්වල දකින්න වෙයිද කියන්න කවුරුවත් දන්නෙ නැහැ.
ආර්ථික අර්බුදයේ කරවටක් ගිලෙනකොට මිනිස්සු මුලින්ම කප්පාදු කරන්නෙ විනෝදය.

විනෝදය කප්පාදු කරනකොටම ජීවිතය වෙලාගන්නේ ආතතිය. තෘප්තියක් ළඟා කරගන්න මාවතක් නැති මිනිස්සු එකිනෙකා නුරුස්සන තිරිසන්නු වෙන දවස වැඩි ඈතක වෙන්න බැහැ. ඒ නිසා අන්තිම මොහොත වෙනකම්ම සම්මා සතිය තියාගන්න පුළුවන් උන්ට වගකීමක් තියෙනවා.

ඒ වගකීමේ එක කලාපයක් තමයි වැඩි වැඩියෙන් ආදරේ කරන එක. වැඩි වැඩියෙන් ආදරේ වපුරන එක. සමාජය වෛරයෙන් ගිනිගන්න නොදී ආදරයෙන් වැළඳගන්න එක. ඒ ආදරය බෙදන අතරතුරේ, අවුරුදු සීයක් විතර එකම මගක ආව ලංකාව, නිවැරදිම බස් එක හොයල දීල විශේෂ චාරිකාවකට යොමු කරන එක. හැබැයි, ආපහු පරණ පාරට එන්න නෙමෙයි.. ආදරෙන් විනෝදෙන් සැහැල්ලුවෙන් අලුත් පාරක යන්න !

– විමල් කැටිපෙආරච්චි  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan