දේශීය ණය පොලී වල අවදානම් අධිභාරය සහ පොලී අනුපාතික පහළ යාම

Date:

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර අනෙකුත් බිල්පත් ප්‍රතිව්‍යුහගත නොකරන බව මේ වන විට පැහැදිලිව කියා තිබෙනවා. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කර ගැන එවැනි කතාවක් කියා නැහැ. භාණ්ඩාගාර බැඳුම්කර වල යම් ආකාරයක ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමට නියමිතව තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම නිසා පොලී අනුපාතික මත යම් අවදානම් අධිභාරයක් එකතු වී තිබුණා. එම අවදානම් අධිභාරය කොපමණ වීද?

පහත තිබෙන්නේ ගෙවුණු මාර්තු මාසය අවසානයේ විවිධ දින ගණන් වලින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතික වල සංසන්දනයක්. මෙම ඵලදා අනුපාතික පදනම් වෙන්නේ ද්වීතියික වෙළඳපොළ ගැනුම් මිල ගණන් ඉදිරිපත් කිරීම් (quotes) මතයි. විකිණුම් මිල ගණන් ඉදිරිපත් කිරීම් දෙස බැලුවත් මීට කිට්ටු රටාවක් හඳුනා ගන්න පුළුවන්.

දින 45කින් කල් පිරෙන බැඳුම්කරය – 24.80%

මාස-1 කින් කල් පිරෙන බිල්පත – 23.50%

මාස-2 කින් කල් පිරෙන බිල්පත – 24.51%

දින 106කින් කල් පිරෙන බැඳුම්කරය – 25.74%

මාස-3 කින් කල් පිරෙන බිල්පත – 26.11%

මාස-4 කින් කල් පිරෙන බිල්පත – 25.86%

දින 154කින් කල් පිරෙන බැඳුම්කරය 1 – 25.71%

දින 154කින් කල් පිරෙන බැඳුම්කරය 2 – 26.13%

මාස-5 කින් කල් පිරෙන බිල්පත – 25.84%

දින 184කින් කල් පිරෙන බැඳුම්කරය – 26.09%

මාස-6 කින් කල් පිරෙන බිල්පත – 25.96%

දින 276කින් කල් පිරෙන බැඳුම්කරය – 27.43%

මාස-9 කින් කල් පිරෙන බිල්පත – 25.18%

දින 350කින් කල් පිරෙන බැඳුම්කරය – 27.38%

මාස-11 කින් කල් පිරෙන බිල්පත – 24.74%

මාස-12 කින් කල් පිරෙන බිල්පත – 24.53%

ඉහත ඵලදා අනුපාතික දෙස බැලූ විට පෙනී යන්නේ මාස හයකට අඩු කාලයක් තුළ ආසන්නව සමාන කාලයකදී කල් පිරෙන බිල්පත් හා බැඳුම්කර වල අපේක්ෂිත ප්‍රතිලාභ අතර සැලකිය යුතු වෙනසක් නැති බවයි. මෙය සාමාන්‍ය තත්ත්වයක්. ඔය දෙකෙන් කොයි එකේ ආයෝජනය කළත් වෙන්නේ රජයට ණය දීමක් නිසා අපේක්ෂිත ප්‍රතිලාභ වල වෙනසක් තියෙන්න හේතුවක් නැහැ.

කෙසේ වුවත්, කල් පිරෙන කාලය මාස 6 ඉක්මවද්දී (2023 සැප්තැම්බර් වලින් පසුව කල් පිරෙද්දී) පොලී අනුපාතික අතර 2%-3% ආසන්න වෙනසක් ඇති වෙනවා. මේ වෙනසට හේතුව ද්‍රවශීලතා වෙනස වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හදිසියකදී විකුණා ගන්න එක වඩා පහසු වීම හා ඒ නිසා සාපේක්ෂ ඉල්ලුම වැඩි වීම.

දැන් අපි පසුගිය සතියේ (ජූනි 16) පැවති තත්ත්වය දෙස බලමු.

දින 29කින් කල් පිරෙන බැඳුම්කරය – 24.05%

මාස-1 කින් කල් පිරෙන බිල්පත – 19.71%

දින 77කින් කල් පිරෙන බැඳුම්කරය 1 – 24.23%

දින 77කින් කල් පිරෙන බැඳුම්කරය 2 – 24.52%

මාස-2 කින් කල් පිරෙන බිල්පත – 20.59%

මාස-3 කින් කල් පිරෙන බිල්පත – 22.21%

දින 107කින් කල් පිරෙන බැඳුම්කරය 2 – 24.45%

මාස-3 කින් කල් පිරෙන බිල්පත – 22.21%

මාස-4 කින් කල් පිරෙන බිල්පත – 20.89%

දින 152කින් කල් පිරෙන බැඳුම්කරය 2 – 24.45%

මාස-5 කින් කල් පිරෙන බිල්පත – 20.77%

දින 182කින් කල් පිරෙන බැඳුම්කරය 2 – 24.53%

මාස-6 කින් කල් පිරෙන බිල්පත – 20.19%

දින 273කින් කල් පිරෙන බැඳුම්කරය 2 – 25.08%

මාස-12කින් කල් පිරෙන බිල්පත – 19.61%

දින 320කින් කල් පිරෙන බැඳුම්කරය 2 – 26.61%

මාස-12කින් කල් පිරෙන බිල්පත – 18.21%

දින 365කින් කල් පිරෙන බැඳුම්කරය 2 – 25.25%

මාස-12කින් කල් පිරෙන බිල්පත – 18.01%

දැන් අපිට කෙටිකාලීන (මාස 6 දක්වා වන) බිල්පත් හා බැඳුම්කර අතර 4%ක පමණ ඵලදා අනුපාතික වෙනසක් පේනවා. කල් පිරෙන කාලයක් වසරක් වෙද්දී මෙම වෙනස 6%-7% දක්වා ඉහළ යනවා. කලින් පැවති 2%-3% ප්‍රමාණයේ ද්‍රවශීලතා අධිභාරය පැත්තකට කළොත් නැවතත් 4%ක පමණ වෙනසක්. මේ වෙනස ඇති වුනේ කොහොමද?

මෙහි තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම නිසා බැඳුම්කර පොලී අනුපාතික මත එකතු වී තිබෙන අධිභාරය. මේ වෙද්දී බිල්පත් පොලී අනුපාතික වල මේ අධිභාරය නැහැ. ඒ කියන්නේ, භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියා මේ වෙලාවේ කිවුවොත් පොලී අනුපාතික අඩු වෙන්නේ ඔය ප්‍රමාණයට. අනෙකුත් සාර්ව ආර්ථික සාධක මත කොහොමටත් පොලී අනුපාතික අඩු වීම වෙනම කරුණක්.

තවත් විදිහකට කිවුවොත් 4%ක පමණ පොලී කප්පාදුවකට දැනටම වෙළඳපොළ සකස් වෙලා ඉවරයි. ඒ නිසා, එවැනි පොලී කප්පාදුවකින් කිසිදු වෙළඳපොළ කම්පනයක් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු කප්පාදුවක් කියන්නේ අනපේක්ෂිත වාසියක්. පාඩුවක් වෙන්නේ 4%කට වඩා වඩා වැඩියෙන් කප්පාදු කරන කොටස පමණයි. බැඳුම්කර මිල දී ගත් අය මිල දී ගෙන තියෙන්නෙම ඔය 4% ගෙවන මිලෙන් අඩු කරගෙනයි.

ඇතැම් විට ඉදිරි සති වල පොලී අනුපාතික පහළ යද්දී මේ පරතරය තවත් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුනොත් එහි තේරුම මීටත් වඩා වැඩි පොලී කප්පාදුවකට වෙළඳපොළ සූදානම් වෙලා ඉවරයි කියන එක.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...