ජයිශංකර් අනුරව හමු නොවුණේ ඇයි ?

Date:

2024 පෙබරවාරි මාසයේදී ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ඉන්දියාවේ දින 05ක සංචාරයක නිරත වුණා.

ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයක් අනුවයි. එහිදී අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ඇතුළු ඉන්දීය රජයේ නියෝජිතයින් සහ තවත් පාර්ශ්ව ගණනාවක් හමුවී සාකච්ඡා පවත්වලා තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාජබ සහ ජවිපෙ ඉහළ පෙළේ නායකයින් සියලුම දෙනා ඒ අවස්ථාවේදී එක හඬින් කිව්වේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ අනුර බව ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් ඉන්දීය ආණ්ඩුවට තහවුරු කරලාය, ඉන්දියාව අනුර ඇතුළු ජාජබට නිල වශයෙන්ම ආරාධනාවක් කරලා ගෙන්වා ගත්තේ ඒකය කියලායි.

විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ඉන්දියාවට ගෙන්වා නොගෙන අනුර කුමාර දිසානායක මහතාව ගෙන්වා ගැනීම තුළ ඉන්දියාව ලබාදුන් ඉඟිය ඉතාම පැහැදිලි බව තමයි ජාජබ සහ ජවිපෙ නායකයින් ඒ දිනවල මාධ්‍ය ඉදිරියේ මහත් අභිමානයෙන් යුතුව කිව්වේ. ඒ වගේම තමන්ට ජාත්‍යන්තර සබඳතා හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් නැතැයි කියලා සමහරු කියපු කතා එතැනින්ම බොරු වුණාය කියලාත් අනුරගේ ජයග්‍රහණයට ඉන්දියාවෙන් සෘජුවම සහතිකයක් ලැබිලා තියෙනවා කියලාත් ඔවුන් කිව්වා.

ඒ, මීට මාස හතරකට කලින්.

කෙසේවෙතත් ඊයේ (20) දිනයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වුණු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අනුර කුමාර දිසානායක මහතාව හෝ ජාතික ජන බලවේගයේ කිසිදු නියෝජිතයකුව හමුවීමට අවස්ථාවක් යොදාගෙන තිබුණේ නෑ. අනුර කුමාර දිසානායක මහතා ඊයේ හිටියේ දෙහිඅත්තකණ්ඩියේ ප්‍රචාරක රැලියකට සහභාගී වෙමින්.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු රජයේ බලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානයේ නියෝජිතයින්, උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින්, වතුකරයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්වත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තම එක්දින නිල සංචාරයේදී හමුවෙලා තිබුණා. ඒත් ඒ ලැයිස්තුවේ අනුර කුමාර දිසානායකට තැනක් හිමිවෙලා තිබුණේ නෑ.

ඉතින් මීට මාස හතරකට කලින් අනුර ඇතුළු ජාජබ නායකයින් කියපු ආකාරයට මීළඟ ජනාධිපතිවරයා අනුරමයි කියලා ඉන්දීය බුද්ධි අංශ ඉන්දීය රජයට තහවුරු කරලා තියෙනවා නම් මෙරටට ආපු ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා කීයටවත් ඒ අනාගත ජනාධිපතිවරයාව හමුනොවී ආපහු යයිද ? රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවලදී එහෙම දෙයක් නම් කීයටවත් සිද්ධ වෙන්න බෑ.

අනිත් එක, ඉන්දියාවේ ප්‍රතිපත්තිය අනුව ඒගොල්ලෝ විදේශ ඇමතිවරයෙක් නිල සංචාරයකට එවනවා නම් ඒ ඇමතිවරයා ඉදිරියේදී ආණ්ඩු පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය කියන දෙකටම එන්න නියමිත දේශපාලන පක්ෂවල නියෝජිතයින්ව හමුවෙනවා. ඒ අනුව ඉන්දියාව අනුරව හමුවීම අත්හැර දැම්මේ මේ වෙනකොට අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රධාන විපක්ෂය බවට පත්වීමේ හැකියාවකුත් නැතිව අංක තුනට වැටිලා ඉන්න නිසාද ?

එදා නිල ආරාධනයක් කරලා ඉන්දියාවට ගෙන්වා ගත්තු එකෙන් අනුර දිනනවා කියලා ඉඟියක් ඉන්දියාව දුන්නා නම් මෙදා ලංකාවට ඇවිල්ලාත් අනුවර හමුනොවී යාමෙන් ඉන්දියාව දුන්නු ඉඟියත් ඒ විදියටම තේරුම් ගන්න වෙනවා නේද ?

ඔය ඔක්කොමත් නෙවෙයි නම් ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයාව හම්බුවෙනවාට වඩා දෙහිඅත්තකණ්ඩියේ ගොවි සහෝදරවරුන්ගේ රැලිය මට වැදගත් කියලා අනුර කිව්වාවත්ද ?

කොහොමවෙතත් ජනාධිපතිවරණයට තව තියෙන්නේ දින 100 කට ආසන්න කාලයක්. එහෙම වෙද්දී මේවාත් පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න ඕනෙද, එහෙම නැත්නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නවත් දෙයක් ආයෙ ඉතුරු වෙලා නෑ වගේද ?

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...