බැංගලෝර් අහසෙන් සිංහයා හැංගුව හිවල් වැඩ

Date:

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු ආසියානු පාපන්දු තරගාවලියෙන් වීසි වී ඇත.කොරෝනා අවදියේදී පවා අත් නොහැරි මේ තරගාවලිය ශ්‍රී ලංකාවට මඟ හැරෙන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දේශපාලන බලපෑම් සිදුවන බවට ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරමින් පාපන්දු ක්‍රීඩාව තහනම් කර ඇති බැවින්ය.

අද ඉන්දියාවේ බැංගලෝරයේ ඇරඹෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියට දකුණු ආසියාවේ පාපන්දු ක්‍රිඩාවේ තරගකාරීත්වය ඉහළ දමමින් කළාපීය පාපන්දු ක්‍රීඩාව ඉහළ නැවීමේ අරමුණෙන් ලෙබනනය සහ කුවේට් දේශයද ආරාධිතයෝ සේ සහභාගි වෙති.එහෙත් කලාපයෙන් පිට ඒ ධජ ද අද බැංගලෝර් සුළගේ ලෙලෙන විට ලංකාවේ සිංහයා දේශපාලන හේතු මත අමාත්‍යවරයා දෙපරැන්දේ ගසාගෙන ඔහුට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඇති බල පරාක්‍රමය ගැන පම්පෝරි ගසමින් රට වටේ ඇවිදිති.රටේ ජනාධිපතිවරයා ඒ සියල්ලට ඉඩ දී තමන්ගේ දේශපාලන පක්ෂයෙන් ඊ ළඟ ඡන්දයට ක්‍රීඩා ඇමතිවරයා දඹුල්ලෙන් තරග වඳිනු ඇතැයි සිතා ඒ සියල්ල ඉවසමින් සිටින බව දේශපාලන කේෂ්ත්‍රයේ එක තැනක කතාවය.නමුත් තවත් තැනෙක අදහස ඊ ළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට තමන්ට රාජ යෝගයක් ඇති බවට ලැබුණ තොරතුරු මත රොෂාන් රණසිංහ සිටින්නේ ජනාධිපතිවරයා වූ පසු ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධාන තමන්ගේ පය පාමුලට ගෙන ආ හැකිය යන සිහිනයේ බවය.අදහස් සිහින කෙතරම් තිබුණත් ඉතිහාසයේ ප්‍රථම වරට දකුණු ආසියාතික පාපන්දු සූරතාවලියක සිහ ධජය නොමැති වීමෙන් පිළිඹිබු හානිය වන්නේ රටට බැවින් එවන් තත්ත්වයකට පත් කිරීම මෙරට සියලු පුරවැසියන්ට කළ ද්‍රෝහිකමකි.
ඉතිහාසයේ දෙවරක්ම සත්කාරකත්වය දරා ඇති ශ්‍රී ලංකාව එක් වරක් අනු සූරතාවය ද,වරක් සූරතාවය ද දිනා ඇත.ඒ මෙම තරගාවලි ඉතිහාසයේ පළමු තරගාවලියේ අනු සූරතාවය සහ දෙවන තරගාවලියේ සූරතාවය ලෙස ය.1993 දී අනු සූරතාවය සහ 1995 සූරතාවය දිනා ඇති ශ්‍රී ලංකාවේ පාපන්දු එතැන් සිට දිගටම කර ඇත්තේ පහළට වැටීමය.මේ ඉතිහාසයට දේශපාලකයන්ට අත පොවන්නට හැකි වී ඇත්තේ ඒ පාපන්දුවේ දුර්වලතාවය නිසාය.එහෙත් පාපන්දුව මනිලාල් ප්‍රනාන්දු සමයේදී විශාල මූල්‍යමය ශක්තියක් සහිතව ගොඬ නැඟෙන්නට පටන්ගත් අතර එවිට සිදු වූයේ පාපන්දුවේ සරණ යාමට දේශපාලකයන් රොක්වීම මිස පාන්දුවේ ශිල්පීය ගුණය ඉහළ නැංවීමට පිරිස් මැදිහත් නොවීමය.

අවසාන වරට ශ්‍රී ලංකාවේ පාපන්දුවේ ඇති කුසීතකම් නිසා ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග තරගකාරී ආකාරයට ඉහළ නොනැඟෙන තත්ත්වය පාදක කරගෙන විදෙස් රටවල සිට ක්‍රීඩා කරපු ලාංකිකයන්ද එක් කරගෙන නැවත රටේ පාපන්දු ජාත්‍යන්තර අවධානයට පත්වන ආකාරයෙන් සැකසෙමින් තිබිණ.එහෙත් එම ක්‍රීඩකයන්ගේ වෘත්තීමයභාවය නිසා සෘජු හැසිරීම් පාලකයන්ට දිරෙව්වේ නැත.අවසානයේ ඔවුන්ට රටට කීර්තිය දිනා දීමට පැමිණ කළකිරීම ඉතුරු වූ අතර පාලකයන්ට ඒ සම්බන්ධයෙන් කිසිඳු අවවාද කිරීමක් හෝ නොලැබුණේ පරිපාලනය දේශපාලනය පිනවීම සඳහා කරගෙන ගිය ව්‍යාපෘති නිසාය.
අවසානවරට මහින්ද රාජපක්ෂගේ නම හැඩ ගන්වන්න කරන ලද ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ දී දේශපාලන සම්මාදම සහ ආශිර්වාදය ඇතුව විනාශ කරන ලද මුදල් කන්ද ද,තවත් ක්‍රඋීඩා අමාත්‍යංශයටම අදාළ නීතිමය තත්ත්වයන්ද පදනම් කරගෙන ක්‍රීඩා පණත ප්‍රකාරව ක්‍රිඩා අමාත්‍යවරයාට පාපන්දු පරිපාලනයට එරෙහිව තීරණ ගැනීමට සාධක තිබුණත්,ඔහු එය පමා කළේ හරියන ජොකියෙක් හමුවන තෙක්ය.පසුව ශ්‍රී රංගා නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරටු කරගෙන ඒ දක්වා ඉවත් නොකළ පරිපාලනයට හරස් කපන කොට ඇමතිවරයා සිටියේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ ඊට වෙනස් න්‍යාය පත්‍රයකට එකඟවය.නමුත් අමාත්‍යවරයාගේ තිබුණ මුග්ධ බල පරාක්‍රමය සම්බන්ධ අදහස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නොසළකා හැරිය අතර ඔවුන් සිදු කළේ දේශපාලන අතපෙවීම් හැටියට එය අරුත් ගන්වා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් පිටතට වීසි වෙන්නට පා පහර දීමය.

දැන් ඇමතිවරයා ගස් ගල් යට තියෙන රැස්වීම්වලත් ක්‍රිඩා පණතෙන් තමන්ට ලැබී ඇති බලතල ගැන කියමින් කයිවාරු ගසමින් ද්‍රොහීකමේ ඇඟිල්ල අනුන් වෙත දිගු කරමින් ඇවිද ඇවිද ජාතික ක්‍රීඩා උළෙලටත් පාපන්දු ගස්සමින් දේශිය පාපන්දු පිටියේ වීරයාගේ භූමිකාවට පන පොවමින් සිටියත්,අනෙකාට ද්‍රෝහියා ලෙස දිගු කරන ඇඟිල්ල මෙන් හතර ගුණයක ඇඟිළි තමන්ගේ හෘද සාක්ෂියට එල්ල වි තිබෙන බව නොදකින්නේය.
ක්‍රිඩා පණතෙන් තමන්ට ඇති බලතල වැඩි කර ගැනිම වෙනුවට ලෝකය සමඟ වැඩ කරන්නට ලෝකයේ ක්‍රීඩා නීතිය යාවත්කාලීන වී ඇති ආකාරයට රටේ ක්‍රිඩා පණත සංශෝධනය විය යුතු බව ක්‍රිඩා අමාත්‍යවරයා තේරුම් නොගන්නේනම් ඔහු අනිත් ක්‍රීඩාවන්ද ජාත්‍යන්තර සංගම්වලට ජාත්‍යන්තර පිටියෙන් වීසි කරන්නට අවශ්‍යය මට්ටමට සකසා දෙනු ඇත.අඩුම තරමේ මෙවැනි හානියක් සිඳු වෙද්දී ලංකාවේ පාපන්දු සංගම් ලෙස එකට එකතු වී ක්‍රීඩා අමාත්‍යවරයාට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉදිරිසෙිය මෝඩ උද්ධච්ඡකම හකුලා ගන්නැයි බල කිරිම වෙනුවට සිදු කරන්නේ ප්‍රාදේශිය දේශපාලන නායකයන්ට සිය ප්‍රතිරූප පුම්ඹා ගැනීමට පාපන්දු ක්‍රිඩා කිරීමය.කුමන හෝ තත්ත්වයක එවැනි තරගාවලි වැදගත් වුවත්,පාපන්දු ක්‍රීඩාව පවත්වාගෙන යාමට අවශ්‍යය ජාතිකමය වැඩ පිළිවෙල,ජාත්‍යන්තර ආධාර,උපදේශන පාඨමාලා ඇතුළු සියල්ල හැකිලී දැන් වසරකටත් වැඩිය කාලයක් ගත වි තිබයදීත් රටේ පාපන්දු සමාජය ඇමතිගේ පාපන්දු ගසන්නට සූදානම්නම් දවසක මේ අහිමි වූ කාලය විසින් ලංකාවේ පාපන්දුවට කරපු හානියට අද සිටින සියලු ජ්‍යෙෂ්ඨයන්ට අනාගත දරුවන් සාප කරනු සැක නැත.

අමාත්‍යවරයා තැන තැනත් පාර්ලිමේන්තුවේ දී සිය පාර්ලිමේන්තු බලයට වසං වී ත් ගසන ගෝල් තමන්ගේ ලකුණු වැඩි කර ගන්නට මිස ලංකාවේ ක්‍රිඩාවට ලකුණු එකතු කරන්නට නොවේය.වගකිව යුතු විපක්ෂයන් ද ක්‍රීඩාවට කරන මේ හානිය ගැන අවධානය යොමු කරන්නේ අඩුවෙන්ය.ඒ මිනිස් සිරුර යන කාරණය හෝ නිරෝගිකම වෙනුවට දේශපාලනයේ තමන්ගේ උදරය සහ බලය ගැන සිතීම ලාංකේය දේශපාලනයේ අනන්‍යතාවය වී ඇති බැවින්ය.ලෝකයේ වැඩිම පිරිසක් සහ රටවල් ගණනක් දායකත්වය ලබා සිටින පාපන්දු ක්‍රීඩාවේ තහනම දේශපාලනිකව ව්‍යාප්ත වී රටේ විවිධ විෂයන්ට දේශපාලනය නිදහසේ හැසිරෙන්නට ඉඩ නොදෙන බවට සාක්ෂියක් හැටියට ලෝකය කතා කරන දවසක පාපන්දුව ඇසට පෙනෙන තරම් පොඩි නැති ලෝකයක් සසල කළ හැකි එකක් බව සියලුම දේශපාලකයන්ට වැටහෙනු ඇත.

එතෙක් දැනට බැංගලෝර පොළවේ පෙරළෙන පාපන්දුවට ආශිර්වවාද ලෙස ලෙල දෙන්නට තිබුණ සිංහයා,බැංගලෝර් අහසෙන් ගලවා දමන්නට හේතු සැකසූ ක්‍රීඩා අමාත්‍යවරයාට අපේ විරෝධය ප්‍රකාශ කරන්නෙමු.ක්‍රීඩාව ලෝකයක් සමඟ කරන වැඩක් මිස රටකට අයිති දෙයක් නොවන බව තේරුම් ගැනීමට තමන්ගේ වාහන කොටස් ගබඩාවක සිටින මල කඩන්නෙකුට කියා හෝ මොළයේ බැදුණු මල ඉවත් කරගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයාට අපි යෝජනා කරන්නෙමු.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...