කොළඹ LNW: නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් සිය දිවි පිදු සිසු විරුවන් සැමරීමක් කොළඹ විශ්ව විද්‍යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විය.
උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සැමරුමට ශිෂ්‍ය අරගලවලදී දිවිපිදු වෙනුර එදිරිසිංහ සිසුවාගේ මව සහ ත්‍රිමා විතානගේ සිසුවාගේ සහෝදරයා ද එක්ව සිටියහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වල මැදිහත්වීමෙන් එම අවස්ථාව සංවිධානය කර තිබුණි.
එහිදී විරු සිසු පිළිරුවට උපහාර පිදීම සිදුවිය.




මෙම අවස්ථාවේ අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා,
”මෙය මග හැරිය නොහැකි යුතුකමක් වන්නේ ඇයි? නිදහස් අද්‍යාපනය සහ සෞඛ්‍ය නැතිනම් ඔබ මා මෙතන නෑ. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය රැකගන්න අපි කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයි. අවුරුදු ගාණකට පෙර එය අභියෝගයක්. ඉතාම බිහිසුණු කාලයක්. තරුණයෙක් තරුණියක් වීම නියත මරණයක් බවට පත්වෙලා තිබුණේ. මගේ මවත් මාව හංගල තිබුණේ. අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ විරුවන් සිහිකරන්න. මෙය ජාතික වගකීමක්. අවුරුදු ගාණක් ඔවුන් කරපු කැපකිරීම නිසා තමයි නිදහස් අධ්‍යාපනය අද පවතින්නේ.
විශ්ව විද්‍යාල පද්ධතිය අදටත් ශක්තිමත්ව තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ ආචාර්යවරු නිසා. අපිට අදත් අභියෝග තියෙනවා. ජයග්‍රහණත් ලබා තිබෙනවා.88/89 කාලය වගේ නෙවෙයි අද. ආර්ථිකය, දේශපාලනය වෙනස් අභියෝගවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. නව අභියෝගවලට සාධනීය ලෙස මුහුණ දෙන්නේ කොහොමද, ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරය රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය රැකගත යුතුයි. අධ්‍යාපනය මීට වඩා ඉහළට ගෙන යා යුතුයි. පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ඉහළ මට්ටමට ගෙන යා යුතුයි. ඒ සදහා අපි කටයුතු කළ යුතුයි. ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා කියා ප්‍රර්ථනා කරනවා.

මෙහිදී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාද අදහස් දක්වා සිටියේය.
”මගේ කතාවක් මේ වගේ අවස්ථාවට ගැළපෙන්නේ නෑ. අධ්‍යපනය වෙනුවෙන් ජීවිතය කැපකිරීම සුළු පටු දෙයක් නෙවෙයි. සරත් කොල්ලුරේ වෛද්‍ය පිථයේ ඔහුගේ පින්තුරය මෙතන නෑ. අපි දෙන්නා එක ගමේ. ඔහු වෛද්‍ය පීඨයට ආවා. එදා වකවානුවේ සටන්කාමී දේශපාලනයක් තිබුනේ විශ්ව විද්‍යාලය තුළ. සංකීර්ණ කාල වකවානුවක්. එවකට ශිෂ්‍ය දේශපාලනය තුළ ජිවත් වීම පහසු තෝරා ගැනීමක් නෙවෙයි. සමාජ ඉල්ලුමක් තිබුණු දෙයක් එදා ශිෂ්‍ය ව්‍යාපාරයට යොමු නොවුණු කෙනෙක් නෑ. කෙනෙකු ජීවිතය පරදුවට තැබීම සුළුපටු දෙයක් නෙවෙයි. එය බැරෑරුම් ලෙස භාරගත යුතුයි. එය සැමරීමට වඩා උතුරේත් ලක්ෂ ගණනක් එවැනි අය හිටියා. ඒ අය තෝරා ගත් මාවත අනුව ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් නාමිකව සැමරීමට වඩා ඔවුන් පෙනී සිටි පුළුල් සාධාරණත්වය වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. අපිට තවමත් අපේක්ෂා තියෙනවා සාක්ෂාත් කරගන්න. අඛණ්ඩව සාකච්ජා කළ යුතු සංවාද කළ යුතු දෙයක්. ඒ වෙනුවෙන් කටයුතු කරන්න එයයි ඔවුන්ට කළහැකි උපහාරය.”

මෙම අවස්ථාවට එක් වූ විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රමිඳු පෙරේරා අදහස් දක්වමින් පැවසුවේ සත්‍ය සොයා යාම, හෘද සාක්ෂිය වෙනුවෙන් පෙනී සිටීම ශිෂ්‍ය වීර දිනයේදී මතක තබා ගත යුතු දෙයක් බවයි.
”එදා මම ශිෂ්‍යයෙක්. එස්.බී.දිසානායක අධ්‍යාපන ඇමති, අපිට එදා මෙහෙම වීර දිනයක් සමරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. එදා කිව්වේ විශ්ව විද්‍යාලය මුදා නොගත් කලාපයක් කියලා. අද එය සමරන්න ලැබීම භාග්‍යයක්. ලංකවේ ශිෂ්‍ය ව්‍යාපාරයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ආරම්භක යුගයේ ඉදන්ම ප්‍රගතිශීලි වාමවාදී අදහස්වලින් යුතු එකක්. නිදහස් අධ්‍යාපනය නිසා ග්‍රාමීය පවුල්වල දුප්පත් පවුල්වල දරුවන් විශ්ව විද්‍යාල තුළට ආවා. ප්‍රගතිශීලි නැමියාව ඇති වුණු කාලයක්. මේක ලංකාවට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. මුළු ලෝකයම කතා කරපු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර තිබුණා. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදයට එරෙහිව හඩ නගපු, ප්‍රංශයේ සිදු වුණා ශිෂ්‍ය නැගිටීමක්. වියට්නාමයට ඇමරිකාව පහර දීම පිළිබද ඇමරිකානු විශ්ව විද්‍යාලය ශිෂ්‍යන් විරෝධය පළ කරා. අද පලස්තීනෙට, ඉරානයට ඇමරිකාව පහර දෙන විටත් ශිෂ්‍යන් විරෝධය දක්වනවා.”
මේ අතර සමාජ ප්‍රශ්න වෙනුවෙන් අධ්‍යාපන ප්‍රශ්න වෙනුවෙන් ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය ක්‍රියාකාරිත්වය කොහොමද පැල කරන්නේ යන කාරණය ඉතිහාසයේ පටන් පැවති කාරණයක් බව ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
