සටහන – රුවන් නෙළුගොල්ල
තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් 100,000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් නියම කර තිබේ.
2016 වසරේදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබාදී ඇත.
මෙසේ සිර දඬුවම් නියම වූයේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හිටපු ඉඩම් නිලධාරියකු වන 67 හැවිරිදි පුද්ගලයෙකුට ය.
මහවැලි කලාපයේ තිබෙන ඉඩම්වල ගස් මිලදීගෙන ඒවා කපා මොරටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු එසේ මිලදීගත් ගස් කැපීම සඳහා ප්‍රාදේශීය ඉඩම් කාර්යාලයෙන් බලපත්‍රයක් ඉල්ලා සිටි අවස්ථාවේදී විත්තිකාර ඉඩම් නිලධාරියා අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති අතර 2016 වසරේ මාර්තු මස 14 වනදා අදාළ අල්ලස් මුදල විත්තිකරු විසින් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි.
ඒ අනුව වසර 22ක බරපතළ වැඩසහිත සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා, අල්ලස් පනතේ 26වන වගන්තිය යටතේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල දඩයක් වශයෙන් අය කර ගන්නා ලෙසත්, එම දඩ මුදල ද නොගෙවන්නේ නම් අමතරව වසරක ලිහිල් සිර දඬුවමක් නියම කරන ලෙසත් නියෝග කළේය.
එමෙන්ම අගතියට පත් පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත් අධිකරණය විසින් විත්තිකරුට නියෝග කළේය.
