නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW:
ඒ එම් සුමනවීර යනු ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාපැදි සූරයෙකි.ලංකා සවාරිය සිව්වරක් ජය ගැනීමෙන් එහි වැඩිම අවස්ථා ගණනාවක සූරතාවය දිනා ගැනීමේ වාර්තාව සමව හිමි කර ගෙන සිටින සුමනවීර වඩාත්ම ප්‍රකටව සිටියේ කඳු නැඟීමේ සූරයා හැටියටය.ඔහු ජීවත්ව සිටිනතුරුම එම කීර්තිනාමය වෙන කිසිවෙකුට හිමි කර ගන්නට නොඳුන්නේය.ඒ කඳු නැඟීමේ ද ඔහු පෑ වික්‍රමයන් අද වෙනතුරුත් ඉක්මවා යන්නට කිසිවෙකුට නොහැකි වූ බැවිනි.
සුමනවීරගේ කදු පැදීම දවස ගණනේ සිඳු විය.රත්නපුර නිවිතිගල පාරේ දෑල ඔහුගේ නිවහන විය.එහි සිට සේවය කළ කොළඹ පිහිටි තෙල් සංස්ථාව දක්වාත් ඔහුගේ ගමන සිඳු වූයේ ද පැ පැදියෙනි.ඔහු රත්නපුරය පිළිඹිඹු කළ සංඛේතයක් විය.ඒ නිසා රත්නපුරට පර්යාය පදයක් තරමටම සුමනවිර දැන සිටි අය ඔහු රත්නපුර බව ද දත්තේය.

කඳු නැඟීමේ සූරයා ලෙස අද වන විට පාපැදි සවාරිවලට අලුතින් එකතු වී තිබෙන අංග සුමනවීරගේ කාලයේ තිබුණානම් අද සුමනවීරට එදාට වඩා හොඳ කළත් උදා වන්නට තිබිණ.බොනිපස් පෙරේරා,හෙන්ඩර්ස්න් සොහොයුරන් ලෙස වූ සුමනවීරගේ සමය නියෝජනය කළ පාපැදි වීරයන් අතර සුමනවීරගේ වීරත්වය වෙනුවෙන් සහය වූ සමකාලීන පාපැදි සූරයෙකුගේ දායකත්වය ද,සුමනවිර නික්ම යන මොහොතේ සිහියට නැඟිය යුතුමය.ඒ පාපැදියේ දෝෂයක් නිසා එක ලංකා සවාරියක තරග වැදීමට නොහැකි තත්ත්වයක සිටි සුමනවීරට එම වාර්තාගත ජය කරා යන්නට පාපැදිය දුන් දේව් නුගේරාය.
එවැනි පරිත්‍යාග මිත්‍රත්වය වැනි කාරණා මත අදට වඩා එවකට පාපැදිය ශක්තිමත්ව තිබිණ.එහෙත් පාපැදියට අදටත් වැඩිපුර විදේශ සවාරි ලැබෙන්නේ නැත.සුමනවීරට දින ගණන් යන කඳු දුර්ග පිරි විදේශ සවාරිවලට යොමු කරන්නට එවකට සිටි පාපැදි සහ ක්‍රීඩා පරිපාලකයන්ට හැකියාවක් තිබුණේනම් අද සමුගෙන යන සුමනේ යනු ලෝකයේ වැඩි පිරිසක් දන්න පැපැදි සූරයෙකු වන්නට තිබිණ.
සිය දරුවන් ද සුමනේගේ ආභාෂය මත පාපැදි තරග සඳහා ඉදිරිපත් වූ අතර ඒ අතරින් වැඩි පුරම කැපී පෙණුනේ දියණිවරුන් දෙදෙනෙකුය.ලොකුම දුව ප්‍රදීපා පාපැදියට පෙම් බැන්දත් ඇය ඒ මත වැඩි කාලයක් නැඟී නොසිට බැස ගියාය.ඒ එහි ඇති කඨෝර අත්දැකීම් නිසාය.ජනක සමඟ ලංකා බැංකු සවාරියකදී එක් රාත්‍රියක සුමනවීර,තමා පැපැදි සූරයෙකුවීම ම තම දරුවන්ගේ පාපැදි ජීවිතයට හරස් වී තිබෙන බව කීවේ බොහෝ සෙයින් තැළුණු සිතැතිවය.

මනෝජා මෙන්ම මනෝජ් සහ ජනක ද වැඩි අත්දැකීම්වලට නොයා පාපැදිය අත හැර යාම ගැන සුමනවීරට රිඳුණත් ඔහු ඒවා දරාගෙන සිටියේ බොහෝ අපහසුවෙන්ය.ඒත් දුක දරාගෙන ඩිලුක්ෂි සහ අයේෂා පාපැදිය මත බොහෝ කාලයක් රැදී උන්නාය.දෙදෙනාම ජාතික තලයේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පවා ලංකාවට ගෙනවිත් ඇත.ඒ අතරින් වඩාත් ප්‍රබලම පාපැදි සූරිය වූයේ අයේෂා ය.එහෙත් මේ කැප නිරීම් ඔම්මේ ඔවුන්ට හිමි වූ වෘත්තිමය ජීවිතයක් පිළිගැනීමක් නොවිණි.සාමාන්‍ය ජනතාව අතරට ගිය විට සුමනවීරගේ දුවලා වීම නිසා ලැබූ ආදරය සහ ගෞරවයම පමණක් ඔවුන්ට ආභරණ විය.
සුමනවීර පාපැදි සූරයෙකු වූයේ පහසුවෙන් නොවේය.කුඩා කළම සිය පියා අහිමිවන සුමනවීර තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම දරුවා විය.ඔහු කඳු නැඟීමට සූරතාවය පෙන්නූ සේම ඔහුගේ මව දෑල කුඩා ඉඩක සිය දරුවන් ද රඳවා ගනිමින් ජීවන දුර්ගය පසු කර යන්නට කළේ මහන මැෂිම පෑගීමය.
‘මං කඳු පදිනවා වගේ තමයි අම්මා මැෂින් එක පෑඟුවෙ‘ සුමනවීර දිගු හුස්මක් සමඟ පැවසූ හැටි තවම මතකය.
එසේ මැසුණු ලස්සන සළු පිළිවෙලින් ඇයගේ සේවය ගත් අයගෙන් ලැබුණු මුදලින් ඇය තම පවුලේ වැරහැලිවලට පැලස්සතර දමා ගනිමින් සිය දරුවන් පෝෂණය කළාය.
ඒ නිසා සුමනවීර අවුරුදු 6 දී පමණ සිට විඳපු දුක් ඉගැන්නුවේ බලපෑම් කර අවශ්‍යය දේ දිනා ගැනීම නොවේය.අයිති කර ගැනීමට හැකි සැළසුම්ය.තමන්ගේ මවට එකල රුපියල් 30 ක් වූ බයිසිකලයක් අරං දීමට වත්කමක් නොමැති බව අම්මාගෙන් දැනගත් සුමනවීර, ඒ අවශ්‍යයතාවය සැළසුම් කළ විදිහම ඊට උදාහරණය.දෑල සිට නිවිතිගලටත්,නිවිතිගල සිට දෑලට වන දුරත් තරණය කිරීමට දෙන ශත 30 ක බස් ගාස්තුව එම දුර පයින් තරණය කර රුපියල් 30 දක්වා වර්ධනය කර ගැනීමට සුමනවීර කළ සැළසුම එහි පළමු පියවරය.
ඉනික්බිති පාපැදියට පෙම් බඳින සහ එයින් සුරුවිරුකම් පෙන්වන පාපැදි ක්‍රීඩකයා නිර්මාණය කර ගැනීමට ඔහුට මුලින්ම අත දෙන්නේ මිතරෙකුය.කාලයාගෙ ඇවෑමෙන් රත්නපුර පුරා විසිර පැතිර,ලොකු කුඩා කාටත් සුමනේ වෙන ඒ.එම් සුමනවීරට රත්නපුර පමණක් නොව දිස්ත්‍රික්කයේ බොහෝ මැණික් ව්‍යාපාරිකයන්ගේද උපකාර ආධාර ලැබිණ.
ඒ නැග්ම අළු බවට පත් කරමින් කළු ජූලියේදී සුමනවීරගේ ගෙයද ගිණිබත් විය.පාපැදිය පැද දහඬිය හෙලා නැඟූ ජීවිතයේ සියල්ල අළු වුව ද,ඔහුට එවැනි දේ කළ ම්ලේච්ඡ අදහස් ඇති මිනිසුන් තරමට ද,ආදරය පුද කළ මිනිසුන්ද උන්නේය.ඔහු ඒ ශක්තිය පාදක කරගෙක යළිත් ජීවිතයට පන දුන්නේය.නැවත කඳු දුර්ග හඹා යමින් ජීවිතයට ජයග්‍රහණ එකතු කළේය.
එහෙත් නොනැවතිය හැකි ඉමකදී සුමනේ නැවතී ඇත.කුඩාම කාලයේ “සුමනෙ අයියා“ ලෙසින් ඔහු වීරත්වයට පත් කරගත් ඉතිහාසයක සමීපව ජීවත්වීමට ද,කතා කරන්නටද ලද හැකියාව භාග්‍යයක් කොට සළකමි.ඔහුට කෑ ගසන්නට,වතුර එකක් ගසන්නට අතින් අල්ලන්නට හැකි එකෙකු වීම ගැන කුඩා කළ තිබුණ මගේ ආඩම්බරය මා විසින් උපයා ගත් එකක් නොවිණි.එය සුමනවීරනම් අපූර්ව මිනිසා විසින් උපයාගත් ධනය ස්පර්ශ කිරිමෙන් මා ලද තෘප්තියක් පමණි. ඒ නිසාම මේ ලියුම්කරු ලාංකේය ක්‍රීඩා සාහිත්‍යයට පළමු ක්‍රීඩා කවි පොත එක් කිරීමේදී ද ඒ ආඩම්බරය සඟවා ගෙන වීරත්වය පුද දෙමින් කවි සටහනක් එක් කළෙමි.පහත දැක්වෙන්නේ එම කවිය.
කන්දක් දකින විට කෙනෙකුට බඩ දවන
දසුනක් ඔහුට එය ජය හැඟුමන් දැනෙන
අකුරක් වගේ ගිරි පව්වක් මැඳ කෙටුණ
මැණිකක් මිණිපුරෙන් පා පැදියට ලැබුණ
හතියක් නැතිව පැදයන විට කඳු උසට
සැකයක් නැතේ ඔහු ගැන හැම විට හිතට
සුමනේ කියන විට කඳු නැමිලද බිමට
කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට
