ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ තීරණාත්මකම දින පහ අදින් ආරම්භ වුණා. ඒ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනත් එක්ක.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළොත් බැංකු කඩාවැටේවි, සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගන්න බැරිවේවි, රටේ ආර්ථිකය විනාශම වේවි වගේ බොහෝ කතා පහුගිය ටිකේ විපක්ෂය පැත්තෙන් අහන්න ලැබුණා. ආණ්ඩුව පැත්තෙන් ඊට පිළිතුරු වශයෙන් කිව්වේ එහෙම කිසිම අවදානමක් නෑ කියලායි.
කොහොම වුණත් රටක් හැටියට අපට ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යන්න සිද්ධ වුණේ අපට ණය ගෙවාගන්න බැරුව අපි බංකොලොත් වෙච්චි නිසා. එහෙම දේකින් ගොඩ එද්දී අපේ පැත්තෙන් කිසිම පිරිවැයක් නොදරා අපට ණයදීපු විදේශ රටවල්වලට විතරක් ඒක දරාගන්න වෙන විදියට වැඩේ කෙරෙන්නෙ නෑ. රටක් හැටියට අපටත් යම් කැපකිරීමක් කරන්න වෙනවා. අවසානයේ ඒකට කරගහන්න වෙන්නේ පොදු ජනතාවටම තමයි.
ඔය ඇත්තට මුහුණ නොදී “ඕක කරන්න ඕනෑ මෙහෙමයි, අරහෙමයි” කියලා සුරංගනා කතා කියන්න ඕනෙ කෙනෙකුට පුළුවන්. නමුත් ඒවා ප්‍රායෝගික නැහැ.
ඉතින් මේ දවස් පහ අවසන් වෙද්දී අර කියපු විදියට රටේ බැංකු පද්ධතිය කඩන් වැටිලා, EPF – ETF අරමුදල් හෝදා පාළුවෙලා, රටේ ආර්ථිකය විනාශ වෙලා යයිද, එහෙම නොවෙයිද කියන එක කාටත් බලාගන්න පුළුවන්.
රටක් හැටියට අපි වැටිලා ඉන්න අගාධයේ තරම අනුව මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හරියට කරගන්න පුළුවන් වුණොත් අපි ගොඩ යයි. බැරිවුණොත් වෙනදේ අපි කතා නොකර ඉමු. ඒක ඒ තරමට භයානකයි.
මේකෙම දේශපාලන පැත්ත කතා කළොත් සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථකව අවසන් කරගන්න පුළුවන් වුණොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගමන නවත්වන්නත් කාටවත් බැරිවේවි බොහෝදුරට. ඒ වගේම මේකෙන් රට විනාශ වෙනවා කියලා ජනතාවට කියපු විපක්ෂයේ අයට කට උත්තරත් නැතිවේවි. ඒ වගේම මේක හරියට කරගන්න බැරිවුණොත් එතනින්ම රනිල්ගේ දේශපාලනයේ අවසානයත් මේ ආණ්ඩුවේ අවසානයත් රටේ ආර්ථිකයේ විනාශයත් පටන් ගනීවි.
කවුරු කැමති වුණත් කවුරු අකමැති වුණත් වෙන්න තියෙන්නේ ඔය දෙකෙන් එකයි. ඒ නිසා පුද්ගලික එදිරිවාදිකම්, දේශපාලන වාසි ගන්න තැත්කිරීම් පැත්තකින් තියලා මේ වගේ මොහොතක පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට යම් පොදු එකඟතාවකට එන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. ඒත් අපේ රටේ හැටියට නම් එහෙම එකක් වෙන්න ඉඩක් නැති තරම්.
බල දේශපාලනයේ පැත්තෙන් මේක අල්ලාගන්න අයට මේක අන්තිම නරක සූදුවක් වෙන්න පුළුවන් …. ඒ නිසා ඒ සෙල්ලම නොකරම බැරි නම් පොඩ්ඩක් අඩුවෙන් හරි කරනවා නම් කාටකාටත් හොඳයි.
~ දර්ශන වීරසිංහ