*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

ආගම දෙදනින් වැටීම හෙවත් කොදෙව් ක්‍රිකට් නැති ලෝක කුසලානයක්

“ක්‍රිකට් බයි චාන්ස්” කියන කතාව දැන් පරණයි.ඒ හිතිල්ලම පරණ බව අතීතයටත් අදාළව දැනෙන තරමට ලෝකය ඉස්සරහට ගියත් තවම ලංකාවෙ ක්‍රිකට්වලනම් අපි දකිනවා ක්‍රීඩකයන්ගෙ හයියට මෑණිවරු,කපුවො,සන්නාසියො,ගණිත උන්නාන්සෙලා සිටින බව කියවෙන කතා.දොස්තර වයිට්ගෙ මරණයෙන් පස්සෙ තවමත් මේ විද්‍යාව නොවන පස්සෙ යන ලංකාවෙ ක්‍රිකට්වලට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්වල පසුබැසීම හරහා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.

එක්දින ලෝක කුසලානය පටන්ගන්න කාලෙ ඒ තරගාවලිය නියෝජනය කරපු ශ්‍රී ලංකාවට කොදෙව් දූපත් සමඟ එක දවසට තරග දෙකක් පවත්වන්න වෙලා තියෙනවා.ඒ ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් වෙයි කියලා.ශ්‍රී ලංකාව නියමිත වෙලාව ඇතුළත දෙවරක පරද්දන්න තරම් හැකියාවක් තිබුණ කොදෙව් කණ්ඩායම අපූරු පහරදීමේ රටාවකින් සහ වේග පන්දුවෙන් ලෝකය හොල්ලගෙන හිටිය ඒ අවදියට ලෝකය මුහුණ දෙන්න පටන් ගන්නවා.විශේෂයෙන් හිස් ආවරණ වගෙ ආරක්ෂා වෙන්න පුළුවන් උපකරණ ගැන විද්‍යාත්මකව හිතන්න පටන් ගන්නෙ මේ කාරණා නිසා.ලංකාවට ඊට අවුරුදු 21 ට පස්සෙ ලෝක සූරයෝ වෙනවා.

පන්දුවේ දෝලනය,වේගය වැනි කාරණා ගැන විද්‍යාත්මක තහවුරු කිරිම් මතු වෙනවා.පුහුණු තාක්ෂණය වෙනස් වෙනවා.සමහර කාරණා ක්‍රිඩකයට බලපාන පරිදි විද්‍යාගාර ඇතුළෙ වෙනස් වෙන්න ගන්නවා.ඒ අනුව ක්‍රිකට් විද්‍යාව සහ මුදල් අතර වර්ධනය වන දෙයක් බවට පත් වෙනවා.ඒ වගෙම අර මහත්තුරුන්ගේ ක්‍රීඩාව කියන සංකල්පයෙත් වානිජකරණය වීම සමඟම යම් යම් පළුඳු ඇති වෙනවා.මේ වන විට ඒක රස්සාවක් කියන තැනට පත්වෙලා වගේම විවිධ හැඩයන් අරගෙන වානිජමය තත්ත්වයට පත්වෙලා හමාරයි.

මේ කාරණාවලදි කොදෙව්වන්ට පවතින්න අමාරු වෙනවා.ඒ වගෙම දූපත් ගණනාවක වෙන වෙන පාලනවල එකතුවක් හැටියට තියෙන කණ්ඩායමට සමාන එකතුවක් හදා ගැනීමේ දුෂ්කරතාවයත් ඒ ඒ පාලනයන්ට වෙනස් වූ ප්‍රතිපත්තිමය කාරණාවන් සමඟ බලපානවා.මේ අසමානකම බලානොපාන මලල ක්‍රීඩාව වැනි ඉසව්වලදි මේ දූපත් තනි තනිව ලෝකයට අභියෝග කරන මට්ටමෙන් ඉදිරියට යද්දි කණ්ඩායමක් වශයෙන් වැඩ කරද්දි කණ්ඩායමට තිබිය යුතු සමාන රිද්මය යම් ආකාරයකට ගිලිහෙන්න පටන් ගන්නවා.
ඉතිහාසයෙත් මේ ප්‍රශ්නය තියෙන්න ඇති.නමුත් ක්ලයිව් ලොයිඩ් ට ඒක කළමණාකරනය කර ගන්න පුළුවන් වුණ තැන තමයි කොදෙව්වන් ගැන ලෝක බයක් ඇති වෙන්නෙ.ඊට පස්සෙ ඩැරන් සාමි ඒ දේ කරා.විශ්වාසවන්ත මිත්‍රත්වය කියන එකට කරන්න පුළුවන් දේවල් විද්‍යාවට වෙනස් කරන්න බැරි බව හොඳටම ඔප්පු කරපු අන්තිම නායකයා තමයි ඩැරන් සාමි.

හැබැයි දූපත් සමූහයක පරිපාලන එක උවමනාවකට වෙනස් කරගන්න බැරි වෙන හේතුත් කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑවා.ඒ නිසා තමයි ක්‍රීඩක ගෙවිම් වගෙම පාලකයන්ගෙ පොඩි හැදිවලින් බෙදීමත් සිද්ධවෙන්නෙ.ඒ නිසා ඇති වූ ඇතැම් කරුණු ක්‍රීඩාවෙ විකාශයට තදින් බලපෑවා.ක්‍රීඩාවට යොමු වීම අඩු වෙන්නත් බලපෑවා.මොකද වෘත්තීය මට්ටමෙන් හොඳටම උපයන මලල ක්‍රීඩකයො කොදෙව් දූපත් සමුහයේ දූපත් අතර විසිරිලා ඉන්නවා.ඒ වගෙ වෙනත් ප්‍රවේශයන් ආර්ථිකය දියුණු කරගන්න ක්‍රීඩාව තුළ තිබියදී ලෝක කුසලානයකට යද්දි ඇඳුම්වත් නොදෙන පරිපාලන එක්ක ක්‍රිකට් තෝරගන්න පුරවැසියො එයිද?

වරක් කාන්තා සහ පිරිමි ලෝක කුසලාන දෙකම කොදෙව් කණ්ඩායම් දිනනවා.නමුත් ඔවුන්ට කොදෙව් ක්‍රිකට් පරිපාලනය තරගාවලියට සහභාගි වන්නට ඇඳුම් පවා ලබා දී තිබුණේ නැහැ.ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන කාරණා ටිකෙන් ටික සංකීරණ වෙද්දි හාන්සි පුටු ක්‍රිකට්වලට ලෝකය එක්ක හැප්පෙන්න කම්මැලිකමට බැරි බව දැන් පැහැදිළියි.අද වන විට කොදෙව් දූපත් ක්‍රිකට් ඉතාම පහළ අඩියක තියෙන්නෙ.ඔවුන් එක්දින ලෝක කුසලාන ආරම්භයේ දී මුල් අවස්ථා දෙකේම සූරයො වෙනවා.තෙවන අවස්ථාවේදි අනු සූරයො වෙනවා.ඒ අනු සූරතාවයෙදි බොහොම සැහැල්ලුවෙන් ප්‍රතිවාදීන්ව අරගෙන තලලා දාන සංස්කෘතිය කපිල් දේව් වෙනස් කරන එකත් කොදෙව් ක්‍රිකට් ආපස්සට හැරෙන්න එක හේතුවක්.

ගාෆිල්ඩ් සෝබර්ස්,ෆ්‍රෑන්ක් වොරල්,වෙස්ලි හෝල්,ක්ලයිව් ලොයිඩ්,විවියන් රිචඩ්ස්,බ්‍රයන් ලාරා වගේම හෝල්ඩින්,ගානර්,මාර්ෂල්,ඇම්බ්‍රෝස් වැනි එක පෙළට එක කණ්ඩායමක නම් තියෙයි කියලා හිතන්නවත් බැරි වේග පන්දු බල ඇණි ද සදාකාලිකවම ක්‍රිකට් එක්ක අනාගතයෙදිත් හැර යන්න බැරි නම්.හැබැයි ඒවා නෂ්ඨාවශේෂ හැටියට අදහනව ද,ආදර්ශයට රැඟෙන එවැනිම පූර්වාදර්ශ තනනවද කියන කාරණය ආයෙත් හිතන්න වෙන්නෙ කොදෙව් පරිපාලනයට.දැනුත් ඔවුන්ට ලෝකයේ ඕනෑම කණ්ඩායමකට වඩා හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රිඩකයො නැත්තෙ නැහැ.නමුත් ඔවුන් ඒක වගකීමක් හැටියට ගන්නෙ නැහැ.පරදින්න බැරිකමක් ඔවුන්ගෙ හිත්වල නැහැ.ඉස්සර කොදෙව්වො කියන්නෙ පරාජය කරන්න බැහැයි කියලා තිබුණ මතය ආරක්ෂා කරගන්න සටන් කරපු හමුදාවකට.අද එහෙම හිතන ක්‍රීඩකයො වෙනුවට දිනන්නත් පුළුවන් පරාජය වෙන්නත් පුළුවන් කියලා ජය පරාජය ගැන සම සිතින් ස්වභාවයට අනුව සිතන ක්‍රීඩකයො බවට කොදෙව්වන් පත් වෙලා.
ඉස්සර ඒ ස්වභාවයට එරෙහිව සටන් කරපු ක්‍රීඩකයො තමයි කොදෙව් කණ්ඩායම හැටියට හිටියෙ.ඒ ස්වභාවයෙන් උදම් අනපු පරිපාලනයකුත් හැදිලා තිබුණා.අද සියල්ල වෙනස් වෙලා.රස්සාවට ක්‍රිකට් පාලනය කරන සහ රස්සාවට ක්‍රිකට් ගහන අය වැටුප අරගෙන ඒ දේ කරනවා හැරෙන්න පරාජය ගැන සසලවීම් තියාගන්නෙ නැහැ.ඔවුන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලියක දකින්න බැරි වෙන්නෙ මෙවර.ඒ තත්ත්වය ගැන ක්‍රිකට් ලෝකයටම යම් කම්පාවක් තියෙනවා.ක්‍රිකට්වලට ආදරය කරන මිනිස්සු කොදෙව්වන්ට එහෙම වුණා කියන දේ ගැන කම්පා වුණාට,කොදෙව් කණ්ඩායම සහ ඒ පරිපාලකයො ඊයෙත් සැහැල්ලුවෙන් බියර් එකක් බීලා,සිංදුවක් කියලා ඉන්න ඇති.

එහෙත් ඉතිහාසයේ කොදෙව්වන් නැති ලෝක කුසලාන තරගාවලියක් කියන එක ක්‍රිකට්වලට ආදරේ හැමෝටම වගෙ ලැජ්ජාවක් අඩුවක් වගෙ දැනෙන දෙයක්.ඒ තරමටම ක්‍රිකට් ලෝකයට දනවපු කොදෙව්වන්ගේ කළු දේහධාරී සිරුරුවලින් අදත් ක්‍රිකට් දිහා බලන පිරිසක් ලෝකයෙ ක්‍රිකට් ලෝලීන් හැටියට ඉතුරුවෙලා ඉන්නවා.මොනම තත්ත්වයකදි හරි තමන්ගෙ ක්‍රිකට් දිනලා එන්න ඕනි කියල විශ්වාස කරන තත්ත්වයක් කොදෙව් පාලකයන්ට පස්සෙ නැත්නම් ඒ ලංකාවට පමණයි.තමන් නැති ක්‍රිකට් දිනන්න ඕනි නැහැ හෝ දිනන්න බැහැ කියලා හිතන ලෝක කුසලාන දිනපු නායකයෙක් අද අපේ රටේ ඇමතිට උපදෙස් දෙමින් මෑත දවසක කියපු කතාවක හැංගිලා තිබුණෙ “බලමු සුදුසුකම් ලබලා එයි ද කියලා” වැනි අදහසක්.ව්‍යංගර්ථයෙන් එහෙම හිතන ක්‍රිඩා අමාත්‍යවරයෙක්ව එතැනට පත් කරන උපදේශකවරු සිතන රටක ලංකාවෙ ක්‍රිකට් වුණත් මේ තත්ත්වයේ තියෙන එක ලොකු දෙයක්.

ඒ නිසා කොදෙව්වන් ගැන දුක හිතන විශාල ලෝකයක් අස්සෙ ලංකාවෙ ක්‍රිකට් ගැන තමන්ගේ බලයට වඩා හිතන ක්‍රිකට් ක්‍රීඩකයො අවශ්‍යය වෙනවා.මේ වෙලාවෙ කොදෙව්වන්ගේ වියෝව වගේම අපේ ක්‍රිකට් තියෙන්නෙත් අවසාන පරිච්ඡේදයට ආසන්නව.මේ තරගාවලිය ගැන පරාජය වීමෙන් පසු ක්‍රිකට් පරිපාලනයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් “මං පොර ජාතකය” යුගල දේශනයක් කරන්න බලාගෙන ඉන්න ඇමතිවරයෙක් සහ එතුමාට උපදෙස් දෙන්න පත් කරපු ක්‍රීඩා සභාවේ සභාපතිවරයෙක් අප සතුව සිටිනවා.ඒ වගෙම පිතිකරුවන් හයයි නම් කරලා ඉන්නෙ.ඒ අය ආබාධ වුණත් ගහන්න ඕනි කියලා තේරුම් කමිටු සභාපති කියපු කතාව සමහර විට ගොසිප් නිර්මාණයක් වුණත්,”ඉන්නෙ හයයි වෙන අය නැහැ” කියන එක ඇත්තනම් අපිට ඉක්මණට කොදෙව් තත්ත්වයට පත් කළ හැකි තේරුම් කමිටු සභාපතිවරයෙකුත් ඉන්නවා.

කෙහොම හරි ක්‍රිකට්වලට ලෝකයක් ආකර්ශණය කරපු කොදෙව්වන් මෙවර ලෝක කුසලානයෙදි දකින්න නොලැබෙන නෙදර්ලන්තය විසින් තහවුරු කිරිමෙන් පස්සෙ ලෝක සූරතාවයක් දිනපු කණ්ඩායමක් හැටියට තේරීමේ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාව ඉදිරි තරග දෙකේදී කොදෙව්වන් සහ සිම්බාබ්වේ වෙතින් පරිස්සම්වීම අවශ්‍යය වෙනවා.එක තරගයක් දිනුවත් ප්‍රමාණවත් කියන කාරණයට වඩා තරග දෙකම දිනා තමන්ගේ තත්ත්වය තහවුරු කර ගැනීමයි වඩාත් වැදගත්.අද එහි පළමු පියවර හැටියට සත්කාරක සිම්බාබ්වේ පිතිකරණය සහ ශ්‍රී ලංකාවේ පන්දු යැවීම අතර ගැටුම කොයි ආකාරයකින් විසදෙයිද කියන කාරණය තීරණාත්මකයි.ක්‍රිකට්වලට ආදරය කරන එකට වඩා රටට ආදරය කරන එකත් පරාජය ලැජ්ජාවට කාරණයක් කියා ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් සටන් කරන්න ඕනි හැඟීමත් අහිමි වූ කොදෙව් දේශයක් නොවන්නට ශ්‍රී ලංකාව කටයුතු කිරීම වැදගත්.එතකොට ‘කොදෙව් ක්‍රිකට්’ ආගමක් හැටියට අදහපු ලෝකයක් ඉදිරියේ ආගම දෙදන බිම ඇනෙන තත්ත්වට පත් නොවී පවතිනු ඇති.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan