අඳුර මඬින්නට තරිඳුගේ සහයට ක්‍රිකට් හිරුගේ සහය ද අවශ්‍ය කෙරේ

0
511

ඔරුවලගේ තරිඳු ප්‍රගීත් පෙරේරා.ඔහු කාන්තා කණ්ඩායමේ අලුත් සහය පුහුණුකරු.වැඩිය ලංකාවේ ක්‍රිකට් එක්ක තරිඳුගේ නම කියවුණේ නැහැ.ඔහුට ලංකාව ඇතුළෙ ක්‍රීඩා කරන්න වෙන්නෙ එක මුල් පෙළේ තරගයක් පමණයි.
නමුත් ඔහුගේ එංගලන්ත සංක්‍රමණයෙන් පස්සෙ ක්‍රිකට් දැණුම වඩාත් ශ්‍රාස්තානුකූල තැනට ගෙන එන්න තරිඳුට හැකි වෙනවා.ඒ පුහුණු දැණුම හැටියට.ඔහු සාමාන්‍ය මට්ටමෙන් හොදට ක්‍රීඩා කරන හැටි දැනගෙන හිටිය නිසා හොඳට ක්‍රීඩා කරවන්න පුළුවන් දැණුම එකතු කරගන්න සහ බෙදා දෙන්න ඉගෙන ගන්නවා.ඒ අතරම ඔහු මැදිහත්කරුවෙක් විදිහට ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත පාසල්වලට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දෙන ව්‍යාපෘතියකටත් සිලෝන් ක්‍රිකට් ෆවුන්ඩේෂන් හරහා සම්බන්ධ වෙනවා.

ඔහු එංගලන්තයේ විවිධ ක්‍රීඩා සමාජවලට පුහුණු දැණුම එකතු කරනවා.වැදගත් වන්නේ වෝවික්ෂයර් වැනි ප්‍රාන්තයක් තරිඳු ගැන විශ්වාස කරන්නට පෙළඹීමයි.එහි පුහුණුකරු භූමිකාව හරහා ඔහු දක්ෂතා දක්වන අතරේම අලුත් දක්ෂතාවයන් තමන්ගේ ජීවිතයටත් එකතු කර ගන්න සමත් වෙනවා.ඒ නිසාම තරිඳුට එංගලන්ත යොවුන් කණ්ඩායමේ පුහුණු කණ්ඩායම එක්ක වැඩ කරන්නත් අවස්ථාව හිමි වෙනවා.ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්තයේ සංචාරය කරද්දි එංගලන්ත කණ්ඩායමේ පුහුණු කණ්ඩායමේ තරිඳුත් සාමාජිකයෙක්ව හිටියා.

වෝවික්ෂයර් වැනි ප්‍රාන්ත කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි ලැබෙන හොඳ අවස්ථාව තමයි ජාතික කණ්ඩායම් කිහිපයක අත්දැකීම් එකතු වීම.එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් කියන්නෙ සංස්කෘතික මිශ්‍රණයක්.විවිධ ජාතීන් අතර එකම ක්‍රිකට් ලෝකයම ගැහැව්වත් යම් යම් අනන්‍යතාවයන්වල වෙනස්කම් තියෙනවා.ඒ නිසා ඉගෙන ගන්න ලැබෙන කොටස විශාලයි.ඒවා හරියට පහදාගෙන තමන්ගේ පුහුණුකරු අනන්‍යතාවය බවට පත් කර ගැනීමේ හැකියාවක් තරිඳුට තිබුණ නිසා තමයි ඇත්තටම ඔහු අවුරුදු 19 න් පහළ වගෙ කණ්ඩායමක පුහුණු කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගන්න එංගලන්තය තීරණය කරන්නෙ.

මේ මොහොතෙ ලෝකයේ ක්‍රිකට් පුහුණුකරුවාට තියෙන්න ඕනි පළල් දැණුමක්.ඒක අනුව තමයි රටක ක්‍රිකට් ඉස්සරහට යන්නෙ.ක්‍රීඩකයෙක් හැටියට මෙන්ම,ජාත්‍යන්තරව පුහුණුකරුවෙක් හැටියටත් දස්කම් සහිත රුමේෂ් රත්නායකගෙ තැන්පත් හැසිරීමට තරිඳු වගෙ දැණුම තිරිහන් වෙච්චි කෙනෙක් එකතු වෙන එක හොඳයි.හැබැයි බොහොම ඉවසීමෙන් මේ තල දෙක මිශ්‍ර වෙන්න ඕනි.තරිඳු පළමු වැනිදා ඉදලා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්ක වැඩ කරාට තව ලොකු දෙයකට යන්න කාලය මදි වෙන්න ඕනි.මීට වඩා භෞතිකව සම්බන්ධ වුණහම තරිඳු අපිට පේන්න ගනියි.මේ වෙලාවෙ චමරි ලෝකයට හොඳින් පේන මොහොතක්.ඒ වගෙම කවීශා,නිලක්ෂි,හර්ෂිතා,ලාබාල විශ්මි මේ හැම කෙනෙක්ම ලෝකය කතා කරන මට්ටමෙන් වැඩ කරනවා.

පිතිකරුවන් හැටියට එහෙම තරග දිනවන්න අවශ්‍යය වැඩ ටික කරත් ඉතිම හොඳින් ප්‍රතිවාදීන් හසුරුවන කණ්ඩායම ඉන්නෙ පන්දු යැවීමේ අංශයෙන්.විශේෂයෙන් ඉනෝකා රණවීර වගෙම ඕෂධි රණසිංහත් අත්දැකීම් සහිත දඟ පන්දු යවන්නියන්.සුගන්ධි සහ කවීශාත් අවධානය යොමු වූ පන්දු යවන්නියන්.වැඩිම අවධානයක් යොමු කරන්න අවශ්‍යය පන්දු යවන්නියක් බවට තමන්ගේ මදවේග පන්දුව මේ වන විට අපූරුවට හසුරුවන උදේශික ප්‍රබෝධනී හඳුන්වන්න පුළුවන්.රටේ ක්‍රිකට් ඉතිහාසයේ අමතක කරන්න බැරි පන්දු යවන්නෙක් වූ රුමේෂ් රත්නායක බොහෝ විට උදේශිකාගේ දියුණුවේ රහස වෙන්නත් පුළුවන්.

ඉහත කණ්ඩායම් දත්ත සඳහන් කරේම,තරිදු භාරගන්නෙ මේ මොහොතේ බිමටම සමතලා වුණ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් නොවන බව කියන්නයි.එහෙත් ගැටළුක් තියෙනවා.ඒ බොහෝ දෙනෙක් කෙටි කාලයකින් විශ්‍රාම ගන්න ඉඩ තියෙනවා.ඒ නිසා කවීශා ගයත්‍රි,හර්ෂිකා මාධවී,විශ්මි ගුණරත්න,දෙව්මි විහංගා,මිනුදි නානායක්කාර,කවුශිකා නෘත්‍යංජනා,ඉමේෂා දුලානි වැනි ක්‍රීඩිකාවන්ට වගකීම් පැවරුණ කණ්ඩායමකට වැඩි තරග අත්දැකීම් ලබා දෙන වැඩ පිළිවෙලක් තරිඳු යටතේ “ශ්‍රී ලංකා ක්‍රිකට්” සකස් කරන්නට උත්සාහ ගැනීම වැදගත්.
ඒ වගේම අතරමැද සිටින මධුශිකා මෙත්තානන්ද,සත්‍යා සංදීපනී වැනි ක්‍රීඩිකාවන් ද හැකි අවශ්‍යයතාවය මත ජාතික සංචිතය සමඟ කටයුතු කරන්නට එකතු කර ගැනම වැදගත් වන අතර මෙම විස්සයි විස්ස තරගාවලියට හෝ මධුශිකා වැනි ක්‍රීඩිකාවක් උදේශිකාගේ සහයට කැඳවීම වැදගත් විය හැකියි.ඒ නිසා තරිඳුගෙන් සහය පුහුණුකරු තනතුරට අදාළ වැඩ කොටස හැටියට අලුත් පරම්පරාව දෙස සිතා ඔවුන්ට වැඩි අවධානයක්දීම වැදගත්.අඩුම තරමේ ක්‍රීඩිකාවන් තිහක තිස් පහක ජාතික සංචිතයක් නිරන්තරයෙන් නඩත්තු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කිරීමට අවධානය දිය යුතු අතර ලෝකේ තරග සහභාගීත්වය ද රටේ ක්‍රිකට්වලට ඉහළ ශ්‍රේණියක් හිමිවිමට බලපාන බැවින් දැනට කායිලන්තයටත් පහළ සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සඳහා වැඩි අවස්ථාවන් ලබා දීම ද තරිඳුගේ දායකත්වයේ ප්‍රතිපල වැඩි වීමට හේතුවක් විය හැකියි.එසේ වුවහොත් වඩා දිප්තිමත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවක් සමඟ තරිඳුගේ නම ඔහුට හිමි වසර දෙක ඉක්මවා ද සඳහන් වනු දැකිය හැකි වනු ඇත.

අනාගතය දඟතවන්නට මඟ කියූ මොහොතක
තරිඳු ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ආධාර සොයමින්

සටහන – නිෂ්මං රණසිංහ