අතීත ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වුණු අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම වෘත්තීය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමවේදයක් පැවතුණි. මහා විහාරය, අභයගිරිය වැනි ආයතන එසේ දැනුම මත පදනම් වූ අධ්‍යාපන ආයතන වන අතර, එකලම කුඹල් කර්මාන්තය, රන් කර්මාන්තය මෙන්ම වාරි කර්මාන්තයේ නිපුණයන් වැන්නවුන් ද තම කාර්යයන් සිදු කළහ. එවන් කර්මාන්ත ගම්මාන වශයෙන් එක්ව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් දක්නට තිබිණි. සමාජයක් රටක් ලෙසින් ඉදිරියට යෑමට නම් දැනුම මත පදනම් වන අධ්‍යාපන ආයතන මෙන්ම වෘත්තීය නිපුණතා අනුව කටයුතු කිරීමද සිදු විය යුතුය.
එහෙත් අද අපේ සමාජයේ අධ්‍යාපනයේ මූලික අරමුණ වී ඇත්තේ පළමු වසරේ පාසල් අධ්‍යාපනයට යොමු වීමේ සිට ඉන් පසුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ඉන් සමත් වීමේ අරමුණත් ඉන් පසුව අ.පො.ස. සාමාන්‍ය පෙළ හා පසුව උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමේ අවශ්‍යතාවන්ය.
එසේ වුවත් මේ වන විට නවීන ලෝකයේ නිපුණතා පාදක අධ්‍යාපනය ක්‍රමයක් බිහිවී ඇත. නමුත් මෙරට එම ක්‍රමවේදය ජනතාව අතරට තවමත් ජනප්‍රිය වී නොතිබීමෙන් සමාජමය වශයෙන් අප පසුගාමී වී ඇත. ප්‍රායෝගික තත්ත්වය නම් වෘත්තීය අධ්‍යාපනය මත පදනම් වූ ගමන් මඟ සමාජයට විශාල දායකත්වයක් සපයනු ලැබීමය. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන්නේ නම් වෘත්තීය අධ්‍යාපනයට අදට වඩා අවධානයක් ජනතාව යොමු කළ යුතු තත්ත්වයක පවතී.
ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය උදෙසා කාර්මික විද්‍යාල ආරම්භ කෙරුණේ 1880දී පමණය. කාර්මික විද්‍යාල එසේ බිහිවීමෙන් පසුව දකුණු ආසියාවේ පළමු වරට මෙරටින් වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ‘නියමිත සුදුසුකම් රාමුවක්’ සකස් කරන ලද්දේ අප රටින් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. අද එතරම් ජනප්‍රියව සමාජගතව නැතත් වෘත්තීය අධ්‍යාපනය සමාජයේ ගමන් මඟට අත්‍යවශ්‍යම අංගයකි. එය NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) ලෙස අතීතයේ සිටම හඳුන්වා තිබේ. එම ජාතික වෘත්තීය සුදුසුකම 2004/2005 වකවානුවේ වෘත්තීය අධ්‍යාපන රාමුවක් ලෙස සකස් කර ඇත.
ශ්‍රී ලංකාව මෙහි ප්‍රමුඛතම කාර්යයක් කළද මෙරට සමාජයට එය එතරම් දැනී නැත. එහෙත් දකුණු ආසියාවේ රටවල් 7ක වෘත්තීය අධ්‍යාපන ‘සුදුසුකම් රාමුවක්’ සකසා ඇත්තේ මෙරට වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් රාමුව උපයෝගී කර ගනිමිනි. විශේෂයෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින වැනි රටවල් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන රාමුවට අනුව එරට වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදය සකස් කර තිබේ. මේ ක්‍රමවේදය දකුණු ආසියාවට සකස් කිරීමේදී මෙරටින් සැලකිය යුතු කාර්යභාරයක් සිදු කර තිබේ.
විශේෂයෙන්ම (ජාතික වෘත්තීය සුදුසුකම්) NVQ යටතේ අධ්‍යාපන මට්ටම් 7ක් තිබේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී NVQ ලෙස හැඳින්වෙන වෘත්තීය දැනුම නයිටා හෙවත් ජාතික ආධුනිකත්ව අධිකාරියෙන් හෝ වෘත්තීය පුහුණු අධිකාරියෙන් ලබාගත හැකිය. එහිදී ලබාගන්නා මූලික දැනුම අනුව NVQ 3, NVQ 4 ආදී වශයෙන් දැනුම් ගමන් කළ හැකිය.
පාඨමාලාවන්ගේ NVQ 3 ශ්‍රේණිය යනු වෙනත් අයෙකු යටතේ කුමන හෝ ක්ෂේත්‍රයක කාර්යභාරය කළ හැකි තත්ත්වයකි. එසේම අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් අයකුට තමන්ගේ ක්ෂේත්‍රයේ NVQ 3 මට්ටමට ළඟා වී ඇත්නම් එය අපොස සාමාන්‍ය පෙළ අධ්‍යාපන මට්ටමක් ලෙස සලකනු ලැබේ.
NVQ 4 මට්ටමේදී එම තැනැත්තා නිපුණතාවක් ඇති ශිල්පියෙකි. ඔහුට ස්වයං ලෙස කාර්යයන් කළ හැකිය. එමෙන්ම ඔහු අදාළ ක්ෂේත්‍රය තුළ රැකියාවක් සඳහා යොමු වන්නේ නම් NVQ 4 යන්න අ.පො.ස උසස් පෙළ සුදුසුකම් හා සමාන ලෙසින් පිළිගනු ලැබේ. එය රජයේ අ.පො.ස උසස් පෙළ සුදුසුකම් ලෙසින්ද පිළි ගැනේ.
NVQ 5 මට්ටමට සුදුසුකම් ලබා ඇත්තකුට තමන් යටතේ කණ්ඩායමක් අධීක්ෂණය කළ හැකිය. ඔහු කණ්ඩායමක් අධීක්ෂණය කළ හැකි තත්ත්වයක සුදුසුකම් ඇත්තකු බවට පත් වේ. ඔහුට NVQ 3 හෝ NVQ 4 මට්ටමේ සිටින සිසුන් අධීක්ෂණය කළ හැකිය.
NVQ 6 මට්ටමට ළඟා වූ සිසුන්ට අධීක්ෂණයෙන් ඔබ්බට ගොස් කණ්ඩායමක් කළමනාකරණය කළ හැකිය. ඔහුට විධායක ශ්‍රේණි මට්ටමට ළඟා විය හැකිය.
NVQ 7 මට්ටම යනු උපාධි මට්ටමට යොමුවීමකි. එම අධ්‍යාපනික මට්ටමට ළඟාවීමට නම් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් අදාළ උපාධිය ලබාගත යුතුය.
මේ ගමන් මඟ යෑම පිණිස වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (University of Vocational Technology) යටතේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල විද්‍යායතන 6ක් දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ක්‍රියාත්මකය.
එම විශ්වවිද්‍යාල විද්‍යායතන වන්නේ, අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය, බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය, යාපනය විශ්වවිද්‍යාල විද්‍යායතනය, කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය, මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනය සහ රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයයි.
මෙම විශ්වවිද්‍යාල විද්‍යායතනය 6න් NVQ 4 මට්ටමේ සිට NVQ 6 දක්වා අධ්‍යාපන මට්ටමක් කරා යා හැකිය. මෙහි විශේෂත්වය වන්නේ සෙසු විභාගවල මෙන් නොව මෙම විශ්වවිද්‍යාල විද්‍යායතනයන්ට ඇතුළු වන සියලු දෙනා සමත් වීමය. කිසිදු අයකු අසමත් වන්නේ නැත.
මෙම විශ්වවිද්‍යාල විද්‍යායතනයට ඇතුළු වීමට දූ දරුවන්ට ක්‍රම දෙකක් ඇත. එක් ක්‍රමයක් වන්නේ උසස් පෙළ සමත්ව එම විෂය ධාරාවට ගැළපෙන කළමනාකරණ හෝ ඉංජිනේරු තාක්ෂණවේදය යන අංශයන්ට යොමු වීමය. පාඨමාලා 24ක් හැදෑරීමට මේ විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත යොමු විය හැකි අතර, ඒ සඳහා මේ වන විට අයැදුම්පත් කැඳවා ඇත.
එමෙන්ම මෙහිදී පෙන්වා දිය යුතු තවත් විශේෂ කරුණක් වන්නේ මෙම වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදය හරහා අධ්‍යාපනය හැදෑරූ අයගෙන් 95%ක්ම රැකියාගතව තිබීමය.
එමෙන්ම NVQ 6 වෘත්තීය අධ්‍යාපන මට්ටමට ළඟා වන අයට රැකියාවක් කරන අතරතුරදීම විශ්වවිද්‍යාලයේ සති අන්ත උපාධි පාඨමාලාවන්ට සහභාගි වී උපාධියක්ද ලබාගත හැකිය. එම උපාධිය දැනට ලබාගත හැක්කේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් පමණක් වන නමුත් ඉදිරියේදී එම උපාධියද විශ්වවිද්‍යාල විද්‍යායතනවලින් ලබාගැනීමේ ක්‍රමවේදයක් යෝජනා කර ඇති අතර, අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ යටතේ එය ඉතා ඉක්මනින් සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂත්වය වන්නේ පෙර පැවසූ පරිදි අසමත් අයෙක් නොමැති වීමය. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයෙන් සමත් හෝ අසමත් බව නිර්ණය වුවත් වෘත්තීය නිපුණතාවයේදී අදාළ සිසුවා හෝ සිසුවිය තමන්ගේ ‘නිපුණතා පරිසාදන මට්ටමට ළඟාවන තුරු වෘත්තීය නිපුණතාවයේ සිට එහි සාර්ථක ප්‍රතිඵලය ලබාගත හැකිය. අදාළ සිසුවාට පුහුණුව වැඩිදුර අවශ්‍ය වන්නේ නම් එය ලබාගත හැකිය. දැනුම ලබාගත යුතු නම් එය ලබාගත හැකිය. ජීවිත කාලයම එම කාර්යයේ නිරතව සිට පුහුණු වී තම නිපුණතාව අවසන් කළ හැකි වනු ඇත. කිසිවකු අසමත් වන්නේ නැත. නිසියාකාරව අදාළ තත්ත්වයට ළඟා වූ පසුව සහතිකය ලබා දෙනු ඇත. එසේම උසස් පෙළ විද්‍යා හෝ ගණිත විෂය ධාරාව හදාරා පසුව වෙනස් කළ නොහැක්කාක් මෙන් නොව වෘත්තීය නිපුණතාවයේදී තමන්ට එක් ක්ෂේත්‍රයකින් ඉදිරියට යෑමට නොහැකි බව වැටහුණහොත් වෙනත් ක්ෂේත්‍රයකින් තමන්ට ඉදිරියට වෘත්තීය නිපුණතාව සිදු කළ හැකිය. උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් එක් විශ්වවිද්‍යාල විද්‍යායතනයක කෘෂිකර්මයට සම්බන්ධ විෂය ධාරාවක් හදාරන්නකුට පසුව එයට වඩා තමන්ට මෝටර් කාර්මික විෂයය සුදුසු බව හැඟුණහොත් එම වෘත්තීය අංශයට මාරු විය හැකිය. තමන්ට ගැළපෙන ලෙස තමන්ගේ නිපුණතාවට ගැළපෙන ලෙස තම ගමන් මාර්ගය සකසා ගත හැකිය. එක ලකුණකින් දෙකකින් සරසවි වරම් මගහැරෙන දූ දරුවන්ට උපාධියක් ලබා දෙන්නට මේ විශ්වවිද්‍යාල විද්‍යායතන සැදී පැහැදී සිටී.
එම නිසා මේ වන විට උසස් පෙළ ලකුණකින් දෙකකින් සරසවි වරම් අහිමි වූ හෝ අදාළ NVQ මට්ටමකට ළඟා වී ඇති සිසු සිසුවියන්ට දැන් මේ විශ්වවිද්‍යාල විද්‍යායතනවලට අයැදුම් කළ හැකිය. රජය මඟින් ලබා දෙන තවත් එක් නිදහස් අධ්‍යාපන ප්‍රවේශයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
එමෙන්ම මේ වන විට විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට රුපියල් 5000කට ආසන්න ශිෂ්‍යාධාර ලබා දීමටද කටයුතු කර ඇත්තේ රටේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමේ අරමුණෙනි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විශාල වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙන අතර, එහිදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ඉතා පැහැදිලිය. ඒ අනුව ඉදිරියේදී අපොස උසස් පෙළින් පසු පාසලෙන් එළියට පැමිණෙන දූ දරුවන් NVQ 4 මට්ටමට සමාන ලෙස සැලකීමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කෙරෙනු ඇත.
එවිට වෘත්තීය අධ්‍යාපන මට්ටමට විශාල පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ උදෙසා මේ වන විටත් රජය විශාල මුදලක් වෙන් කර ඇත. මින් පෙර වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට රජය වෙන් කරන ලද්දේ වසරකට රුපියල් බිලියන 2.9ක් හෝ 3.1ක් පමණක් වන නමුත් මේ වන විට ඒ වෙනුවෙන් රුපියල් බිලියන 6ක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව සාමාන්‍යයෙන් වෙන් කරනු ලබන මුදල මෙන් දෙගුණයක මුදලක් වෙන් කර ඇත. එමෙන්ම ඉතිහාසයේ පළමු වරට වෘත්තීය අධ්‍යාපනය ක්ෂේත්‍රයට නියෝජ්‍ය අමාත්‍යවරයකු පත් කර තිබේ. ඒ නියෝජ්‍ය ඇමැතිවරයාගේ අධීක්ෂණයෙන් මේ අංශය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව ඉදිරියේදී විදෙස් රැකියා සඳහා යන විගමණිකයන් ඉහළ මට්ටමක සුදුසුකම් සහිත නිපුණතාවක් සහිතව එම ක්ෂේත්‍රයන්ට යොමු කිරීමෙන් විශාල විදේශ විනිමයන්ද අපට ලබාගත හැකි වනු ඇත.
එක් පාඨමාලාවක් වෙනුවෙන් විශ්වවිද්‍යාල විද්‍යායතනයකට සිසු සිසුවියන් 30ක් බඳවා ගනු ලබන අතර, සමස්ත ලෙසින් 2000ක් පමණ පාඨමාලා 24 වෙනුවෙන් වාර්ෂිකව බඳවා ගැනීමේ හැකියාවක් ඇත.
දැන් වාරය හා තේරීම ඇත්තේ ඔබ සතුවය. මවුපියන් සතුවය. රජයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට එක් ලකුණක් දෙකක් අඩු වූ විට යළිත් වරක් වසරක් කල් ගෙවමින් උසස් පෙළ කරමින් සරසවි වරම් ලබා ගැනීමට උත්සාහ කරනවාද? එසේත් නැත්නම් විශ්වවිද්‍යාල විද්‍යායතන හරහා තම කුසලතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේද යන්න ගැන සිතා බලා තීරණයක් ගැනීමට දැන් අවස්ථාව විවර වී ඇත.
~ බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චින්තක පෙරේරා
(සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකි)
