*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

බාලාජි සරවන සිනමාහලේදී විෂ්නු ට MGR සහ ජය ලලිතා හමුවීම

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 07, (LNW) කොළඹ :

සරලම විදිහට ගැඹුරටම කිමිදෙන්න පුළුවන් කිමිඳුම්කාරයෙක් විදිහට තමයි විෂ්නු වාසු ව දැනෙන්නෙ.සරලම විදිහට ලිව්වත්,ගැඹුරුම දේ ගැන කතා කරන විෂ්නු මේ දවස්වල ඉන්නෙ තමන්ගෙ අලුත් කෘතියට කරුණු හොයමින් ඉන්දියාවෙ චෙන්නායි නුවරයි.ලෝක වටේ රස්තියාදු ගහන මේ ඉලන්දාරි මානවයාගේ හිතුවක්කාරකමයි,නො’ඉවසිල්ලයි විසින් තමන්ගේ ඇතුළට ඔබා ගන්න දේවල් අපිටත් පස්සෙ කාලෙක අකුරු අස්සෙ හංගලා තබා ගන්න දෙන එක මරු වැඩක්.මේ එහෙම දේවල් ඔබා ගනිමින් ඉන්න අතරේ අපිට ඒ ගැන හිතන්න අටවපු පුංචි සැකිල්ලක තියෙන රහ හින්දයි විෂ්නුට කතා කරලා ඇහැව්වෙ අපි මේක ගන්නද කියලා.ඒ ඇසීමට ලැබුණු අවසර උත්තරයත් එක්කයි මේ සටහන ඔබට කියවන්න ලැබෙන්නෙ.


…………………………. විෂ්නුගේ සටහන…………………………
මේ දවස්වල ඉන්නේ චෙන්නායි නුවර. ගින්දර වාගේ රස්නෙයි. පාන්දර පහ වෙනකොට සෙල්සියස් අංශක විසි නවයයි. දවල් වෙනකොට හතලිස් දෙකට විතර නගින දවසුත් තියෙනවා. රස්නෙයි කියලා ගෙවල් අස්සට වෙලා හිටියොත් ආව වැඩේ කරගන්න බැරි වෙනවා. මේ වතාවේ ආවේ මම ආවේ අළුතින් ලියන නවකථාවට අදාල චරිත කිහිපයක් මුණගැහෙන්නට. ඒ අතරේ විවේකයක් ලැබුනු හැම අවස්ථාවකම අළුත් අනුභූතීන් හඹායනවා. ඊයේ සන්ධ්‍යාවේ අතිශය මනරම් අත්දැකීමක් ලැබුවා. ඒක ලියන්නම ඕනේ එකක්.

ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් සිනමා තාරුකා වන්දනා කරනවා කිව්වොත් හරි. හින්දි සිනමාවේ නම්, අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, දීපිකා පඩුකෝනේ, දේව් ආනන්ද් වාගේ අය. දකුණේ අය අතර රැජිනි කාන්ත්, විජේ, කමල් හසන්, නයනතාරා සහ සමන්තා කැපී පේනවා. ජීවතුන් අතර නැතත්, මේ තරු පොකුරේ දිදුළනම තරුව ලෙස MGR ගේ නම මුලටම එනවා. MGR ගේ නම ඇහුනු සැනින් තමිල්නාඩුවේ ප්‍රෙක්ෂකයින්ගේ ඉහේ මල් පිපෙනවා. ඔහු ඒ තරම්ම ජනප්‍රියයි.

MGR ඉපදුනේ ලංකාවේ. එයා ඉපදෙන්නේ එක්දාස් නවසිය දාහතේ ජනවාරි දාහත්වෙනිදා. මහනුවරදි. එයාගේ අම්මයි අප්පයි දෙන්නම කේරලෙන් මෙහේ ඇවිත් පදිංචි වෙච්ච අය. අප්පා මේලකාත් ගෝපාලන් මෙනන්. අම්මා මරුතූර් සත්‍යබාමා. MGR ගේ සම්පූර්ණ නම මරුතූර් ගෝපාල රාමචන්ද්‍රන්. අප්පා මැරෙනකොට එයාට වයස අවුරුදු දෙකහමාරයි. ඒ ළඟම දවසක එයාගේ සහෝදරිත් මැරෙනවා. හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා. ඊට පස්සේ ඒ ගොල්ලංගේ අම්මා එයාවයි එයාගේ වැඩිමහල් සහෝදරයාවයි එක්කගෙන කේරලේ මුල් ගමට සංක්‍රමණය වෙනවා.

ඊයේ අත්විඳි රස ගුලාව සොයා යන්නට පාර පෙන්නුවේ මගේ සහෝදරයා. එයා පික්චර් පිස්සෙක්. එයා MGR ගේ මුල්ම චිත්‍රපටිය, සති ලීලාවතී සිට අවසන් චිත්‍රපටිය නල්ලත්තෙයි නාඩු කේකුම් වෙනකල් චිත්‍රපටි නාමාවලිය කටපාඩමින් කියන්න දන්නවා. එයා කිව්වේ බාලාජි සරවන තියටර් එකේ, ඉරිදා හයයි තිහේ ෂෝ එකක් අත්නොවිඳි කෙනෙක් ජීවත් වෙන්න වටින්නෑ කියලා.

බාලාජි සරවන සිනමා ශාලාව තියෙන්නේ චෙන්නායි නුවර පුරසායිවක්කම් කිට්ටුව, ඔටෙරි කියන තදාසන්න ජනාවාසයේ. ඒ ජනාවාසයේ වෙසෙන සියල්ලෝම පාහේ සමාජයේ අන්න දරිද්‍ර කුලහීනයන්. ඔවුන්ගෙන් බහුතරය එදිනෙදා වියදම් සරිකරගන්නේ තමන් වාගේ පස් ගුණයක් විශාල මල්ලක් කරේ දමාගෙන, පාරවල් ගානේ ඇවිද, කසල එකතු කිරීම, වර්ග කිරීම සහ වෙන්කිරීමෙනුයි. ඒවා විකුණා ලැබෙන සොච්චම තමයි ඒ අයගේ එකම ආදායම් මාර්ගය. ඉංග්‍රිසි භාෂාවෙන් ඔවුන් හඳුන්වන්නේ Rag pickers කියලා.

ඉරිදා හවස හයයි තිහේ දර්ශනය නරඹන්න, බාලාජි සරවන සිනමා ශාලාවට එන සියයට සියයක්ම පිරිස සුදු හිසකෙස් සහිත වැඩිහිටියන් කිව්වොත් හරි. මේ අයගේ උඩ සාක්කුවේ බීඩි තුන හතරයි ගිණි පෙට්ටියයි. සරමට යටින් චීත්ත කලිසං සාක්කුවේ කාලක් හරි බාගයක් හරි කසිප්පු. ඇරත් වෙන මොනවා බොන්නද. ඇතැම් අය ආසනයක හරි බරි ගැහුණු ගමන් ඉදිරියේ ඇති ආසනයේ ඇඳි දෙක මත තමන්ගේ දෙපා තැන්පත් කර හරිබරි ගැහෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා අණ කළත් නෙවෙයි ඒ කකුල් දෙක බිමට ගන්නේ. ඇතැම් අය වාඩි වෙන්නේ ආසන අතරින් තිරය දෙසට ගමන් කරන්නට වෙන්කර ඇති ඉඩේ බිම. කොහොමත් විසිපහක් තිහක් විතර බිම වාඩි වෙනවා. චිත්‍රපට දර්ශනය ආරම්භ වෙන වෙලාව එනකොට ශාලාව ඇතුලත සිගරට් දුමෙන් පිරෙනවා. හරියටම සීත කඳුකරේ මීදුම වාගේ.

ඔන්න චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ වුනා. 1968 නිකුත්වුනු MGR සහ ජයලලිතා ප්‍රධාන චරිත රඟපාන ඔලි විලක්කු චිත්‍රපටියයි තිරගත වෙන්නේ. නාමාවලිය දිගහැරෙන්න පටන් ගත්තා. දැන් ශාලාව මීයට පිම්බා වාගේ නිස්සද්දයි. MGR කියලා අකුරු තුන තිරය මත දිස්වෙනවාත් එක්කම මුළු ශාලාවම අත්පොලසන් සහ විසිල් හඬින් ගිගිරුම් දුන්නා. ඇතැම් අය සන්තෝසේ ඉහවහා නොහී MGR ගේ නම කියලා කෑගහන්න ගත්තා. ජයලලිතාගේ නම වැටුනමත් එහෙමයි. චිත්‍රපටියේ දෙබස් වලට සමගාමීව නරඹන්නන් දෙබස් කියනවා. කටපාඩමින්. සද්දෙට. සටන් ජවනිකාවලදී MGR ගේ පසුපසින් දුෂ්ටයා හිටගත්තම කෑගහනවා ‘අයියා අන්න අරූ පිටිපස්සේන් ඇවිත්’ කියලා. ඇතැම් අය MGR ට සටන් කළ යුතු ආකාරය කියා දෙනවා.

දැන් අර බිම වාඩි වෙච්ච කට්ටිය, සරමට යටින්, චීත්ත කලිසං සාක්කුවේ හංගාගෙන ආව කසිප්පු වඩියෙන් රත් වෙනවා. ඔන්න පළවෙනි සිංදුව වාදනය වෙන්න පටන් ගත්තා විතරයි මුළු ශාලාවෙම හිටපු සෙනග ගීතය ගායනා කරන්න ගත්තා. බිම වාඩිවෙලා හිටපු අය නැගිටලා, සරම කැහැපොට ගහගෙන, අත් වන වනා නටනවා. හිත හයිය කෙනෙක් දෙන්නෙක් සරම කරේ ඔතාගෙන හෙළුවෙන්ම නටනවා. මේ පිරිමි පාරාදීසයේ ආයේ කාගෙන් තහනමක්ද. විශිෂ්ට යැයි සම්මත දූපතේ සිනමාකරුවෝ, සම්මාන ඉලක්ක කරගෙන හැදූ අපබ්‍රංශ චිත්‍රපටි නරඹන හොටු පෙරන බහුශ්‍රතයින් මතක් වෙලා මට හයියෙන් හිනා ගියා. මගේ හිනා හඬට බාලාජි සරවන සිනමා ශාලාවේ වහල හිල්වෙලා අහසේ තරු පේන්න පටන් ගත්තා.

විෂ්ණු වාසු

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan