*
Monday, July 22, 2024
spot_img

Latest Posts

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ….

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන මූලික එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා. මේ ඒ පිළිබඳ හැකි තරමින් සංක්ෂිප්ත, එහෙත් අවශ්‍ය පමණ විස්තරාත්මක, සමාලෝචනයක්.

මෙහි ආරම්භයේදී මතක් කරන ඇතැම් කරුණු මීට පෙර වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර ඇතත්, මෙය තනි ලිපියක් ලෙස කියවන අය වෙනුවෙන් නැවතත් කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි අප සිතනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වූයේ ඇයි?

ශ්‍රී ලංකා රජයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වූයේ ණය තිරසාරත්වය නැති වූ නිසා. ණය තිරසාරත්වය නැති වීම යන්නෙන් අදහස් වන්නේ කලින් ගත් ණය වල වාරික මුදල් හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලී මුදල් සියල්ලම “පොරොන්දු වූ දිනට” ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් සොයා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකා රජය පත් වීමයි.

ණය වාරික හා පොලී මුදල් “සියල්ලම” නිසි කලට ගෙවිය නොහැකි වූ පමණින් එම වාරික හා පොලී මුදල් “කිසිවක්” නිසි කලට ගෙවිය නොහැකි තත්ත්වයක් අදහස් වන්නේ නැහැ. ණය වාරික හා පොලී මුදල් වලින් යම් කොටසක් නිසි පරිදි ගෙවීමේ හැකියාවක් තව දුරටත් ශ්‍රී ලංකා රජය සතුව තිබුණා.

ණය වාරික හා පොලී මුදල් සියල්ලම “නිසි කලට” ගෙවිය නොහැකි වූ පමණින් එසේ කලට වෙලාවට නොගෙවන ණය වාරික හා පොලී මුදල් “කිසි දිනක” ගෙවිය නොහැකි තත්ත්වයක් ඇති වූ බවද අදහස් වන්නේ නැහැ.

ණය තිරසාරත්වය නැති වුනේ ඇයි?

මෙතෙක් දිගින් දිගටම ශ්‍රී ලංකා රජය විසින් කළේ අලුතෙන් ගන්නා ණය වලින් පැරණි ණය වල වාරික හා පොලී ගෙවීමයි. ඊට අමතරම දිගින් දිගටම පවත්වා ගෙන ගිය රජයේ ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහාද අලුතෙන් ණය ගන්නට අවශ්‍ය වුනා. ණය ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමත් සමඟ එම ණය හා පොලී ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය අලුතෙන් ණයට ලබා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකා රජය මුහුණ දුන්නා. මෙම තත්ත්වය විශේෂයෙන්ම ඇති වූයේ 2022-2027 කාලය හා අදාළවයි.

ඉදිරි වසර තුන හතරක කාලය තුළ ණය හා පොලී ආපසු ගෙවීම සඳහා අරමුදල් සපයා ගැනීම අසීරු වූ විට සාමාන්‍යයෙන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයට ලබා ගැනීමයි. එසේ ණය ලබා දෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රශ්නයට හේතු වූ රජයේ ප්‍රාථමික අයවැය හිඟය ඇතුළු අනෙකුත් ආකෘතිමය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා බලපෑම් කරනවා. එම වෙනස්කම් කිරීමට වූ අකැමැත්ත නිසා මෙවර ශ්‍රී ලංකා රජය කලට වෙලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ නැහැ. ඒ නිසා ප්‍රශ්නය වඩා බරපතල වුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන අවස්ථාව වන විට ප්‍රශ්නය වසර තුන හතරකින් විසඳිය හැකි මට්ටමක තිබුණේ නැහැ. ඒ නිසා ණය තිරසාරත්වය ඇති කර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වුනා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් ණය තිරසාරත්වය ඇති වන්නේ කොහොමද?

කලින් කී පරිදි ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය නැති වී තිබුණේ 2022-2027 කාලය හා අදාළවයි. ඒ නිසා, එම කාලය තුළ ආපසු ගෙවිය යුතු වූ ණය වාරික හා පොලී මුදල් “සියල්ල” පොරොන්දු පරිදි ආපසු ගෙවීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම ණය වාරික හා පොලී මුදල් ආපසු ගෙවීම පිණිස වැඩි කාලයක් ලබා ගැනීම මගින් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය පරිදි ආකෘතිමය ප්‍රශ්න විසඳා ගෙන රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වැඩි කාලයක් ලැබෙනවා.

ඒ කියන්නේ තවම රටේ ආර්ථිකය ස්ථාවර නැද්ද?

දෙවසරක පමණ අසීරු ව්‍යායාමයකින් පසුව මේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන ඇතත් එසේ කරගෙන තිබෙන්නේ ණය වාරික හා පොලී මුදල් වලින් කොටසක් පොරොන්දු පරිදි නොගෙවා සිටින අතරයි. දිගුකාලීනව රටට අවශ්‍ය වන්නේ පෙර කළ වැරදි නැවත නැවත නොකරන අතරම, පෙර වැරදි වෙනුවන් වන්දි ගෙවිය හැකි ආකාරයේ ස්ථාවරත්වයක්. දශක ගණනක් තිස්සේ ශ්‍රී ලංකා රජය විසින් කළ සාර්ව ආර්ථික “වැරදි” දැන් කරන්නේ නැතත්, පෙර වැරදි වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය (කලින් ගත් ණය ආපසු ගෙවන ආකාරය) පිළිබඳව ණයහිමියන් සමඟ එකඟතාවයකට පැමිණිය යුතුයි.

එවැනි එකඟතාවයකට පැමිණීම අසීරු ඇයි?

දෙපාර්ශ්වයක් අතර ඇති කරගත් ගිවිසුමක් ඒක පාර්ශ්වීය ලෙස කඩ කළ විට අනෙක් පාර්ශ්වයට පාඩුවක් සිදු වෙනවා. පාඩු විඳින්නට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කියන්නේ බොහෝ දුරට ණයහිමියන්ට සිදු වන පාඩුවක්.

ණය තිරසාරත්වය නැති පසුබිමක වුවද ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු ණය වාරික හා පොලී වලින් කොටසක් පොරොන්දු පරිදි ගෙවීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, කිසියම් තනි ණයහිමියෙක් සැලකුවොත්, බොහෝ විට එම ණයහිමියාට ශ්‍රී ලංකා රජයෙන් තමන්ට අයවිය යුතු මුදල් අය කර ගත හැකියි. නමුත් සියලුම ණයහිමියන්ට එසේ කළ නොහැකියි. අවසානයේදී ණයහිමියන්ගෙන් යම් පිරිසකට තමන්ගේ අරමුදල් නොලැබී යනවා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් “සාධාරණ මැදිහත්කරුවෙකුගේ” භූමිකාව ඉටු කරනවා. පළමුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2027 පමණ දක්වා ශ්‍රී ලංකා රජයට අනිවාර්ය ණය සහනයක් අවශ්‍ය බව ණයහිමියන්ට පෙන්වා දී තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන අවම ණය සහනය තීරණය වෙනවා.

දෙවනුව, ශ්‍රී ලංකාව විසින් එම ණය සහනය ලබා ගනිද්දී එහි පාඩුව ණයහිමියන් අතර සාධාරණ ලෙස බෙදී යන යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. අමාරුම කාර්යය විෂමජාතීය ණයහිමියන් සමඟ මෙවැනි “සියල්ලන්ටම එකඟ විය හැකි” එකඟතාවයක් ඇති කර ගැනීමයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මගින් ණය තිරසාරත්වය ඇති වෙන්නේ කොහොමද?

පෙර ලිපි වල විස්තර කර ඇති පරිදි ශ්‍රී ලංකා රජයේ ප්‍රශ්නය වූයේ ණය ගෙවිය හැකි තරම් රුපියල් නැති වීම සහ එසේ රුපියල් සොයා ගත්තද විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත හැකි තරම් ඩොලර් රටේ නැති වීමයි. රුපියල් ප්‍රශ්නයට විසඳුම රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් සීමා කර ගැනීමයි. 2022 වන විට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3% දක්වා පහත වැටී තිබුණා. හැමෝම කතා කරන බදු වැඩි කිරීම් සියල්ලෙන් පසුව, 2023දී මෙම අගය 9.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, 2022දී ණය වාරික හා පොලී ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.6%ක පමණ අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුනා.

රජයේ බදු ආදායම දදේනියෙන් 7.3% සිට 9.8% දක්වා වැඩි කර ගනිද්දී ජනතාව මත පැටවෙන බදු බර 34%කින් පමණ ඉහළ යනවා. ක්ෂණිකව බදු බර මෙපමණ වැඩි වීම බොහෝ දෙනෙකුට දැනෙනවා. නමුත්, එසේ කිරීමෙන් පසුවද බදු ආදායම දදේනියෙන් 9.8%ක් පමණයි. ණය සියල්ල කෙසේ වුවත්, වසරක් තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය පමණක් දදේනියෙන් 30% ඉක්මවද්දී දදේනියෙන් 9.8%ක බදු ආදායමක් හැරෙන්නවත් මදි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය 2027-2032 කාලයේ ශ්‍රී ලංකා රජයේ ණය සේවාකරණ බර (ණය වාරික හා පොලී ගෙවීම්) දදේනියෙන් 13% දක්වා අඩු කර ගැනීමයි.

මෙසේ ණය සේවාකරණ බර දදේනියෙන් 13% දක්වා අඩු කර ගත්තත් ඒ ණය වාරික හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්න සිදු වෙනවා. ඒ නිසා ණය තව දුරටත් එන්න එන්නම වැඩි වෙනවා. නමුත්, අඩු වශයෙන් ණය අරගෙන හෝ ණය ආපසු ගෙවන්න පුළුවන්. ඒ වගේම, ණය බර අඩු වන තරමට රජයට අඩු පොලියට ණය ලබා ගැනීම පහසු වෙනවා. ඒ නිසා, අනාගත ණය බර අඩු වෙනවා. හරියටම කිවුවොත් ණය තව දුරටත් වැඩි වුනත් ණය වැඩි වන වේගය අඩු වෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සිදු වුනේ 2022-2032 කාලය තුළ ගෙවිය යුතු වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් කොටසක් වඩා වැඩි කාලයකින් ආපසු ගෙවිය යුතු බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීමයි. මෙයින් ඉදිරි වසර දහයක පමණ කාලය තුළ රජයේ රුපියල් අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අඩු වෙනවා. කෙසේ වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් විසඳෙන්නේ දේශීය ණය හා පොලී ආපසු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයයි. විදේශ ණය ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අනිවාර්යයෙන් අවශ්‍යයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම කුමක්ද?

මෙම (2024) වසරේ මාර්තු අවසාන වන විට ශ්‍රී ලංකා රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 37,041ක්. එයින් ඩොලර් මිලියන 11,716ක් බහුපාර්ශ්වීය ණයයි. ශ්‍රී ලංකා රජය විසින් මෙම බහුපාර්ශ්වීය ණය කිසිදු පැහැර හැරීමක් නොකර මෙතෙක් දිගටම ගෙවාගෙන යමින් සිටින අතර මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ඉතිරි විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 10,589ක් ද්විපාර්ශ්වීය ණය වන අතර, ඩොලර් මිලියන 14,736ක් වාණිජ ණයයි. මෙම කොටස් දෙක අදාළ ණයහිමියන්ගේ එකඟතාවය පරිදි ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම කුමක්ද?

ද්විපාර්ශ්වීය ණය යනු වෙනත් රටවල රජයයන්ගෙන් ලබාගත් ණයයි. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා රජය විසින් ලබා ගන්නා වාසියක් යනු අදාළ රටවල බදු ගෙවන්නන් මත පැටවෙන බරක්. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණයහිමියන් අතර කිසියම් සාධාරණ ආකාරයකින් බර පටවන්නට සිදු වෙනවා. එය ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම සඳහා අවම කොන්දේසියක්.

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණයහිමියන්ගෙන් විශාල පිරිසක් පැරිස් සංසදයේ සාමාජිකයින් ලෙස සංවිධානගත වී සිටීම මේ කාර්යයේදී විශාල පහසුවක් වූ අතර ඊට අමතරම ප්‍රධාන ණයහිමියෙකු වූ ඉන්දියාවද පැරිස් සංසදය හා එක්ව එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම නිසා මේ කාර්යයය තවත් පහසු වුනා. එහෙත්, ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වීය ණයහිමියා වන චීනය පැරිස් සංසදය හා එක්ව එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට එකඟ නොවීම නිසා මේ කාර්යය තරමක් සංකීර්ණ වුනා. ශ්‍රී ලංකා රජයට ඉන්දියාව හා හංගේරියාවද ඇතුළුව පැරිස් සංසදය සමඟ වෙනමත්, චීනය සමඟ වෙනමත් සාකච්ඡා පවත්වමින් එකඟතා වලට පැමිණෙන්නට සිදු වූ අතර මෙම කණ්ඩායම් දෙකට සාධාරණ ලෙස බර පටවන බව එක් එක් කණ්ඩායමට ඒත්තු ගන්වන්නට සිදු වුනා. ඊට අමතරව, කුවේට්, සවුදි අරාබිය, ඉරානය හා පකිස්ථානය යන රටවල් සමඟද වෙන වෙනම සාකච්ඡා කරන්නට සිදු වුනා. මේ වන විට ඉහත සඳහන් ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණයෙන් පැරිස් සංසදයේ රටවලට, ඉන්දියාවට, හන්ගේරියාවට හා චීනයට ගෙවිය යුතු ඩොලර් බිලියන 10ක පමණ ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

පැරිස් සංසදයේ රටවල, ඉන්දියාවේ හංගේරියාවේ ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

මෙම රටවල් දා හතේ ණය ප්‍රමාණය, ණය බවට පරිවර්තනය කිරීමට නියමිත 2022 වසර අවසානය දක්වා නොගෙවා එකතු වී ඇති පොලී මුදල්ද සමඟ, ඩොලර් බිලියන 5.8ක් පමණ වෙනවා.

2024 මාර්තු අවසානයේදී මෙම එක් එක් රටට ගෙවිය යුතු වූ ණය ප්‍රමාණ පහත තිබෙනවා.

ජපානය – ඩොලර් මිලියන 2,359.1

ඉන්දියාව – ඩොලර් මිලියන 1,366.4

ප්‍රංශය – ඩොලර් මිලියන 427.0

කොරියාව – ඩොලර් මිලියන 294.6

නෙදර්ලන්තය – ඩොලර් මිලියන 262.6

ජර්මනිය – ඩොලර් මිලියන 199.8

එක්සත් රාජධානිය – ඩොලර් මිලියන 190.6

ඇමරිකාව – ඩොලර් මිලියන 132.5

ඔස්ට්‍රියාව – ඩොලර් මිලියන 106.4

ස්පාඤ්ඤය – ඩොලර් මිලියන 99.3

හංගේරියාව – ඩොලර් මිලියන 47.3

රුසියාව – ඩොලර් මිලියන 35.4

ස්වීඩනය – ඩොලර් මිලියන 34.7

ඩෙන්මාර්කය – ඩොලර් මිලියන 32.8

ඕස්ට්‍රේලියාව – ඩොලර් මිලියන 25.0

කැනඩාව – ඩොලර් මිලියන 18.1

බෙල්ජියම – ඩොලර් මිලියන 9.9

එකතුව – ඩොලර් මිලියන 5,641.9

ණය බවට පරිවර්තනය කෙරෙන 2022 වසර අවසානය දක්වා නොගෙවා එකතු වී ඇති පොලී මුදල් ප්‍රමාණයද සමඟ මෙම මුදල ඩොලර් බිලියන 5.8ක් පමණ වෙනවා.

මෙම ණය ආපසු ගෙවීම සඳහා 2027 අවසානය දක්වා සහන කාලයක් ලබාගෙන තිබෙනවා. 2023 වසර තුළ නොගෙවා පැහැර හැර තිබෙන පොලී මුදල් වලින් 50%ක් 2024 ජූලි මාසයේදීද ඉතිරි 50% 2025 ජූලි මාසයේදීද ආපසු ගෙවීමට නියමිතයි. ඉන් පසුව, 2042දී මෙම ණය ගෙවා අවසන් කරන තුරු හිඟ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය 2%ක උපරිමයකට සීමා කර තිබෙනවා. මුල් ණය අරගෙන තිබෙන්නේ 2%කට වඩා අඩු පොලියකටනම් දිගටම ගෙවාගෙන යන්නේ එම අඩු පොලියයි. එමෙන්ම 2028-2034 කාලය තුළ ආපසු ගෙවන්නේ වසරකට ඩොලර් මිලියන 174ක් පමණයි.

චීන ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

මෙහිදී චීන ණය ලෙස සැලකෙන්නේ චීන එක්සිම් බැංකුවෙන් හා චීන රජයෙන් ලබාගෙන තිබෙන ඩොලර් බිලියන 4.2ක් පමණ වන ණය ප්‍රමාණය සහ එම ණය වෙනුවෙන් 2023 වසර අවසානය දක්වා ගෙවිය යුතු පොලියයි.

චීන එක්සිම් බැංකුවෙන් 2024 මාර්තු අවසානය වන විට ඩොලර් මිලියන 3,993.0ක ණය ප්‍රමාණයක්ද, චීන රජයෙන් තවත් ඩොලර් මිලියන 13.8ක්ද ලෙස ඩොලර් මිලියන 4,006.8ක් ලබා ගෙන තිබුණා. ණය බවට පරිවර්තනය කෙරෙන 2023 වසර අවසානය දක්වා ගෙවිය යුතු පොලියද සමඟ මෙම මුදල ඩොලර් බිලියන 4.2ක් පමණ වෙනවා.

මෙම ණය ආපසු ගෙවීම සඳහාද 2027 අවසානය දක්වා සහන කාලයක් ලබාගෙන තිබෙනවා. එම කාලය තුළ එක්සිම් බැංකුවේ ණය වෙනුවෙන් 1.5% දක්වා වන පොලියක් ගෙවිය යුතු අතර ඉන් පසුව එම පොලිය 3.2% දක්වා ඉහළ යනවා. චීන රජයේ ණය වෙනුවෙන් 2%ක පොලියක් ගෙවිය යුතුයි. 2035 වසර දක්වා වසරකට ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් මිලියන 126කට සීමා වන අතර මේ අනුව 2034 වසර දක්වා චීන එක්සිම් බැංකුවට, ඉන්දියාවට, හංගේරියාවට හා පැරිස් සංසදයේ රටවල් 15කට ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය වසරකට ඩොලර් මිලියන 300කට සීමා වෙනවා.

ඒ කියන්නේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරද?

බොහෝ දුරට ඉවරයි. නමුත් චීන ණය කියන්නේ එක්සිම් බැංකුවෙන් හා චීන රජයෙන් ලබාගත් ණය පමණක් නෙමෙයි. චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 538.8ක මුදලක්ද ශ්‍රී ලංකා රජය විසින් වර්ග කර තිබෙන්නේ ද්විපාර්ශ්වීය ණය ලෙසයි. හොංකොංහි HSBC බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 123.1ක මුදලක්ද චීන ද්විපාර්ශ්වීය ණය ලෙස වර්ග කර තිබෙනවා. මීට අමතරව සවුදි අරාබියෙන් ඩොලර් මිලියන 148.0ක්, කුවේටයෙන් ඩොලර් මිලියන 95.3ක්, පකිස්ථානයෙන් ඩොලර් මිලියන 2.1ක් හා ඉරානයෙන් ඩොලර් මිලියන 32.9ක් ද්විපාර්ශ්වීය ණය ලෙස ලබා ගෙන තිබෙනවා. මේ අනුව, චීන නොවන ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය වන ඩොලර් මිලියන 278ක් පමණ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන වෙනම ගිවිසුම් අත්සන් කළ යුතුව තිබෙනවා. මෙය සාපේක්ෂව කුඩා ප්‍රමාණයක්.

චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබෙන ඩොලර් මිලියන 2,185.9ක මුදලක් වර්ග කර තිබෙන්නේ වාණිජ ණය ලෙසයි. මෙම මුදලද සමඟ චීන සංවර්ධන බැංකුවට ගෙවිය යුතු හා ප්‍රතිව්‍යුහගත කර ගත යුතු මුදල ඩොලර් මිලියන 2,724.7ක් වෙනවා. මෙම මුදලට පසුගිය වසර වල නොගෙවා පැහැර හැර තිබෙන පොලී මුදල්ද එකතු කළ යුතුයි. එවිට මුළු මුදල ඩොලර් බිලියන 3.2ක් පමණ වෙනවා. මේ හා අදාළ සාකච්ඡාද මේ වන විට සෑහෙන දුරකට අවසන්ව තිබෙනවා.

ඉහත විස්තර කළ පරිදි ද්විපාර්ශ්වික ණය වලින් වැඩි කොටසක් මේ වන විට ප්‍රතිව්‍යුහගත කර අවසන්ව ඇති අතර ඉතිරි ප්‍රමාණය හා අදාළවද ඉතා ඉක්මණින් ගිවිසුම් අත්සන් කෙරෙනු ඇතැයි සිතිය හැකියි. පැරිස් සංසදයේ රටවල්, ඉන්දියාව, හංගේරියාව හා චීනය සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව ඉතිරි ද්විපාර්ශ්විය ණයහිමියන් සමඟද සංසන්දනාත්මක ගිවිසුම් අත්සන් කරන්නට සිදු වෙනවා. ඒ අනුව, එම ණයද 2027 වසර දක්වා ආපසු ගෙවීමක් සිදු විය නොහැකියි.

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය බර අඩු වෙන්නේ කොහොමද?

ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ක්ෂණිකව ණය අඩු වෙන්නේ නැහැ. පසුගිය දෙවසර තුළ නොගෙවූ පොලී වලින් කොටසක්ද ණය ලෙස වර්ග කෙරෙන නිසා ක්ෂණිකව ණය ප්‍රමාණයේ යම් වැඩි වීමක් විය හැකියි. නමුත් පොලී වියදම් අඩු වීම නිසා ඉදිරි වසර වලදී ණය බර සැලකිය යුතු ලෙස අඩු වීමක් වෙනවා. මෙහිදී ණය අඩු වීම සලකා බලන්න වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවීනම් ණය කොපමණ ඉහළ යා හැකිද යන්නට සාපේක්ෂවයි. එහෙම නැතුව ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. ණය කොහොමටත් එන්න එන්නම වැඩි වෙනවා. ඇතැම් විදේශ මාධ්‍ය විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ඩොලර් බිලියන පහක පමණ ණය බරඅඩු වීමක් සිදු වෙනවා. මෙය ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ චීන ණය සඳහා ගෙවිය යුතු වූ පොලිය සීමා වීම නිසා.

වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ ප්‍රගතිය කෙසේද?

වාණිජ ණය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකින් සමන්විතයි. එක් කොටසක් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබෙන වාණිජ ණයයි. දෙවන කොටස ස්වෛරිත්ව බැඳුම්කරයි. මේ වන චිට ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් අතරින් ප්‍රධාන බැඳුම්කරහිමියන් කණ්ඩායමක් සමඟ එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා. ඔවුන් සතු බැඳුම්කර ප්‍රමාණය 50% ඉක්මවන අතර දේශීය ආයෝජකයින් සතුව තවත් 12%ක පමණ බැඳුම්කර ප්‍රමාණයක් තිබෙනවා. මේ අනුව, ස්වේච්ඡා ණය හුවමාරුවකට 66% ඉක්මවන බැඳුම්කරහිමියන් පිරිසක් කැමති කර ගැනීම අසීරු කාර්යයක් නෙමෙයි. එවිට ඉතිරි පිරිසට බහුතරයේ කැමැත්ත පිළිගන්නට සිදු වෙනවා.

බැඳුම්කරහිමියන් සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය කුමක්ද?

බැඳුම්කරහිමියන් නව දෙනෙකු සමඟ මේ වන විට ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව 2029 වසර වන තුරු බැඳුම්කර වල මුහුණත අගය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ. එම කාලය තුළ, එනම් 2024 සිට 2028 දක්වා, දැනට නොගෙවා පැහැර හැර ඇති ඩොලර් මිලියන 1,678ක කූපන් පොලී මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ආපසු ගෙවනු ලබනවා. වසරකට ඩොලර් මිලියන 300කට තරමක් වැඩි මුදලක්.

ඉන් පසුව, එනම් 2029 සිට 2038 දක්වා වසර දහයක කාලය තුළ බැඳුම්කර වල මුහුණත අගය ආපසු ගෙවන ආකාරය තීරණය වන්නේ 2025-2027 කාලය තුළ ආර්ථිකයේ ප්‍රමාණය කොපමණ වේද යන්න මතයි. එම කාලයේ සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබෙන ඩොලර් ඩොලර් බිලියන 88.6ක් වුවහොත් ආපසු ගෙවිය යුත්තේ මුහුණත අගයෙන් 72%ක් පමණයි. ඒ කියන්නේ 28%ක ණය කප්පාදුවක්. එහෙත් යම් හෙයකින් සහ එම වසර තුනේ ආර්ථික වර්ධනය 11.1% ඉක්මවුවහොත් සහ ඒ නිසා සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු මට්ටම් ඉක්මවා ඉහළ ගියහොත් කප්පාදු කෙරෙන ණය ප්‍රමාණය ක්‍රමයෙන් 15% දක්වා අඩු වෙනවා. අනෙක් අතට, ආර්ථිකය අපේක්ෂිත මට්ටමට වර්ධනය නොවුවහොත් 40.4% දක්වා වන ණය කප්පාදුවක් සිදු වෙනවා.

මේ එකඟතාවය අනුව ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. බොහෝ විට ඉදිරි සති කිහිපය තුළ මේ සඳහා අයදුම්පත් කැඳවීමක් සිදු විය හැකියි. අයදුම් කිරීම සඳහා මාසයක් පමණ කල් ලබා දෙන්නට ඉඩ තිබෙන නිසා එය අවසන් වීමට මාස දෙකකට කිට්ටු කාලයක් යා හැකියි. මෙහිදී ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු හුවමාරුව සඳහා අයදුම් කරනු ඇති අතර, දේශීය ණයහිමියන්ද එසේ අයදුම් කිරීමට නියමිතයි. ඉතිරි ණයහිමියන් සියලු දෙනාම අයදුම් කිරීමේ ඉඩක් නැතත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අයදුම් නොකර සිටින්නට හේතුවක් නැහැ.

වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය බර අඩු වෙන්නේ කොහොමද?

ද්විපාර්ශ්වීය ණය වලදී මෙන් නොව මෙහිදී මුහුණත අගය කප්පාදු කිරීමක් සිදු වන බැවින් ක්ෂණිකව යම් ණය අඩු වීමක් සිදු වන නමුත් දැනට පැහැර හැර ඇති කූපන් පොලී බැඳුම්කර බවට පරිවර්තනය වන බැවින් එම අඩු වීමෙන් යම් කොටසක් නිශේධනය වෙනවා. දිගුකාලීනවනම් විශාල වාසියක් සිදු වෙනවා.

මේ තත්ත්වය ඩොලරයක මිල කෙරෙහි කෙසේ බලපායිද?

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වෙද්දී දැනට නොගෙවන ණය ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ අනුව, ඩොලර් අවශ්‍යතාවය දැනට පවතින තත්ත්වයට සාපේක්ෂව ඉහළ යනවා. නමුත් 2027 දක්වා ගෙවන්නට සිදු වන්නේ පොලී හා නොගෙවූ පොලී පමණයි. ද්විපාර්ශ්වීය ණය වල පොලී ලෙස වසරකට ඩොලර් මිලියන 150ක පමණ මුදලක්ද, පැහැර හැර ඇති කූපන් පොලී ලෙස තවත් ඩොලර් මිලියන 350ක්ද, ඉදිරි වසර වල පොලී ලෙස වසරකට ඩොලර් මිලියන 500ක් පමණද ලෙස ගත්තොත් මෙය ඩොලර් බිලියනයක පමණ අවශ්‍යතාවයක්. වාහන ආනයනය වෙනුවෙන් වසරකට තවත් ඩොලර් බිලියනයක්වත් අවශ්‍ය වෙනවා. ඒ නිසා, ඩොලරයක මිල මත යම් උඩුකුරු තෙරපුමක් ඇති විය හැකි නමුත් ණය හා ආයෝජන ලෙස මෙම විදේශ විණිමය ප්‍රමාණය හෝ එයින් සැලකිය යුතු කොටසක් රටට පැමිණිය හැකි බැවින් ඩොලරයක මිල මත විශාල පීඩනයක් ඇති වීමේ ඉඩක් නැහැ.

දැන් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් වෙනස්වෙලාද?

තවම නැහැ. මෙය සිදු වනු ඇත්තේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුවයි. ඒ සඳහා මාස දෙකක පමණ කාලයක් යා හැකි බව අපගේ ඇස්තමේන්තුවයි. කෙසේ වුවත් දැන් මෙය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan