තවත් පොලිස් පිස්සුවක් : ආණ්ඩුවට ත්‍රස්ත මර්දන පණත අහෝසි කරන්න ඕනෑ නැතිද ?

0
312

දෙහිවල පිහිටා තිබෙන ඊශ්‍රායෙල් චාබට් ක්ලබ් එක ආසන්නයෙ හැඳුනුම්පතක් නැතුව ගමන් කළා කියලා මොහොමඩ් සුහායිල් කියන තරුණයාව දෙහිවල පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මේ බව දැනුම් දුන්නට පස්සෙ සුහායිල්ගෙ පියා හැඳුනුම්පත රැගෙන පොලිසියට ගියා ම පහුවදා අධිකරණයෙන් ඔහුව නිදහස් කරනවා. මේ සිදුවීම වෙන්නෙ පහුගිය වසරේ (2024 ඔක්තෝම්බර් 24) දා. සුහායිල්ට ඇප අරගන රෑ 10ට විතර මාවනැල්ලෙ ගෙදර එද්දි දෙහිවල පොලිසියෙ ස්ථානාධිපති ඇතුළු පිරිසක් මේ නිදහස් වුණ තරුණයා කටඋත්තරයක් ගන්න කියලා නැවත දෙහිවල පොලිසියට අරගෙන යනවා. ( මෙලෙස රැගෙන යෑම ගැන පියා සතුව ආරක්ෂක කැමරා දර්ශන තිබෙන බව සඳහන්)

සුහායිල්ගෙ පියා කියන විදිහට මේ තරුණයා වෘත්තීය පුහුණු පාඨමාලාවක් කරන ගමන් රැකියාවක් කරන්න කොළඹින් නවාතැනක් සොයමින් ඉද්දි තමයි පළමු අත්අඩංගුවට ගැනීම සිදුවෙන්නෙ.

මෙහෙම දෙවැනි වතාවට අරගෙන යන සුහායිල්, දවස් තුනක් දෙහිවල පොලිසියෙ තියාගෙන ඉඳලා අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. එහි චෝදනාව තියනවා කියලා පියා කියන්නෙ, පසුවදා නැවත දෙහිවල ඊශ්‍රායෙල් පරිශ්‍රය ආසන්නව සැකකටයුතු ලෙස හිටියා කියන එක. ඒත් මේ චෝදනාව සහිත දිනයෙ කරුණු අනුව ඔහු සිටියෙ පොලිස් භාරයේ. මේක සාවද්‍ය චෝදනාවක් බව පැහැදිලියි. ඒ වගේ ම උසාවියේ අවසරයක් නැතුව මේ තරුණයාගේ ෆෝන් එක රහස් පොලිසියට බාර දී තිබීම මහේස්ත්‍රාත්වරියගෙ ප්‍රශ්න කිරීමටත් ලක් වෙලා තියනවා.

ටික්ටොක්හි ඊශ්‍රායෙලයට හානිකර වීඩියෝවක් පළ කළ නිසා අත්අඩංගුවට ගත්තා කියලත් දෙහිවල පොලිසියෙ ස්ථානාධිපති පසුව සුහායිල්ගෙ පියාට කියනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන මේ තරුණයාට ඇප ලැබෙන්නේ නෑ. මාස 9ක් නරකාදියක වෙසෙන හිරිමල් තරුණයා එම පණතට අදාළ කිසිදු වරදක් කළ බවට අනාවරණය වෙලා නෑ කියලා දෙහිවල පොලිසිය ජූලි (9) අධිකරණයට දැනුම් දෙනවා. ඒත් නෛතික කටයුතු නීතිපති වෙත යොමු කරලා තියන නිසා අධිකරණයෙන් ඇප ලබා ගන්නත් බැරි වෙනවා.

ජාතික ජනබලවේගය මැතිවරණ පොරොන්දු ප්‍රකාශනයේ 231 වැනි පිටුවේ කරණක් ලෙස මෙහෙම සඳහන් වෙනවා.
“ප්‍රතිත්‍රස්ත පණත ඇතුළු සියලු මර්දනකාරී අණපණත් අහෝසි කර සියලු ජනතාවගේ නිදහස සහතික කිරීම!”

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපති බවට පත් වූ පසු ත්‍රස්ත මර්දන පණත යටතේ 12 දෙනෙකු පමණ අත්ඩංගුවට ගෙන තියෙනවා.

මෙයට පෙර, අවස්ථා ගණනාවකදී ම ත්‍රස්ත මර්දන පණත යටතේ අත්අඩංගුවට ගත් පිරිස් දිගු කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තබා, ජීවිතය ආපස්සට යවා, අමානුෂිකව සලකා චෝදනා නැතැයි පවසා නිදහස් කරලා යැවීම සිදු වුනා.

මෙම සිදුවීම් වගෙ ම සුහායිල්ගේ ජීවිතයේ මාස 9ක් මිහිපිට අපායවල් බඳු බන්ධනාගාරයේ විඳි අතෝරයන් සිත් පීඩා, දරිද්‍රතා පවුලක මුදල් වැය කිරීම් සිත් පීඩා වෙනුවෙන් හිමිවන වන්දිය මොකක්ද?

වේදිකා පම්පෝරි, ඔජවැඩීම්වලට එහා ගොස් පදනමක් සහිතව මේ තිරිසන් ක්‍රියාවන් තවදුරටත් සිදු නොවීම පිණිස අවුරුද්දකට පසු ආණ්ඩුව ගෙන තිබෙන සාධනීය ක්‍රියාමාර්ග මොනවාද?

වසර ගණනාවක් තිස්සේ මෙන්, මේ ආණ්ඩුවටත් මේවා කෙළමෝලෙන් ඇන කිව යුතු ද? ආණ්ඩුවේ අපේ මිතුරන්ට මේ ගැන යමක් කියන්නට තිබේද?

~ සඳුන් ප්‍රියංකර විතානගේ