පාපන්දු යොවුන් ක්‍රීඩිකාවන්ගේ බංගලාදේශයට එරෙහි පරාජයේ සිට වෙනස් වෙමු ද?

0
148

නිශ්මං රණසිංහ ජූලි 12, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව ගැන අලුතෙන් සිතීමට අවශ්‍යය බව ආසියානු සූරතාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවති තරගාවලියේ පරාජයන් පාදක කරගෙන අපි කීවෙමු.එය සනාත කරන තවත් ඛේදණීය මොහොතක් බංගලාදේශයේ පැවත්වෙන අවුරුදු 20 න් පහළ දකුණු ආසියාතික කාන්තා පාපන්දු සූරතාවලියේදී යළිත් සිඳු විය.ඒ බංගලාදේශය හමුවේ 9-1 ක් ලෙස පරාජයවීම නිසාය.


බංගලාදේශය වැනි රටවල් ස්වීය ඉස්ලාම් දහමේ බාධා යම් ආකාරයකට සීමා කර නොගෙන ක්‍රීඩාවෙන් ඉදිරියට එමින් සිටියි.ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩාවන් සම්බන්ධයෙන් කාන්තාවන්ගේ නියෝජනය දෙවැනි පංතියට දමා සිතන ඔළු නොවන්නට කළාපීය කාන්තාව ගත් විට ඓතිහාසිකව වුව ද,සමාජ දේශපාලන ව්‍යහුය තුළ වඩා නිදහස් සහ සවිමත් ක්‍රියාකාරී කාන්තාවගේ භූමිකාව සතු වන්නේ ශ්‍රී ලාංකේය කාන්තාවටය.
ආසියාවෙන්ම නෙට්බෝලයේ එක කාන්තාවය.සුසන්තිකා ජයසිංහ තරම් ලංකාවට වටිනාකමක් දුන් අයෙක් මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ නැත.මේ මොහොත වන විට නෙත්මි අහිංසා දක්වන දක්ෂතා ලංකාවේ මල්ලව පොර කේෂ්ත්‍රයේ වෙන කිසිවෙකුත් දක්වා නැත.එහෙත් බොහෝ ක්‍රීඩාවලදී කාන්තාව දෙවන මට්ටමේ සළකා සැළකිල්ල යොමු කරන නිසා කාන්තා ක්‍රීඩා කේෂ්ත්‍රයන්හී නැග්මක් දකින්නට නැත.ඒ සැළකිල්ල ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ළඟාවීමෙන් ඉනික්බිති අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් යනු ලෝකය තිගැස්මට ලක් කරන මට්ටමට වර්ධනය වී ඇත.
පාපන්දුව ගත් විට ද පරදින හැටි ගැන රටක් වශයෙන් ලැජ්ජා වෙන්න අවශ්‍යය වන්නේ,කාන්තා සහ පිරිමි පාපන්දු ක්‍රියාත්මක වන ව්‍යහුයන් ද සැළකිල්ලට ගනිමින්ය.මේවා සම්බන්ධයෙන් නැඟෙන හඬක් ද නැත.සමහර විට පිරිමි ඔළුවලින් ඇති කරගන්නා ආත්ම පෞරුෂය මත හිඳ කාන්තාව නොසළකා හරින තත්ත්වයක වැඩිපුර අවධානය සහ පහසුකම් ලබා දෙන්නේ මෙන්ම ජයග්‍රහණය ගැන විශ්වාසය තබන්නේ ද පිරිමි පාපන්දුව ගැනය.


ශ්‍රී ලංකා පිරිමි ජාතික පාපන්දු කණ්ඩායම ලාංකේය සම්භවයක් සහිත විදේශ ක්‍රීඩකයන්ගේ දායකත්වය මත මේ වන විට සිටි තැනින් නැඟිට ඇත.ජූලි මාසයේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල 196 දක්වා පැමිණ කාලයක් තිස්සේ සිටි 200 න් මෙපිට බලන්නට නොහැකිව තිබූ දෝෂය හමාර කරගෙන ඇත.මේ වන විට අවුරුදු 17 න් පහළ පාපන්දු පිරිමි කණ්ඩායම දක්වාම මේ විදේශ දායකත්වය හිමිවෙමින් තිබීම යහපත්ය.


එහෙත් අප පොළවක් හැටියට ආයෝජන මත පමණක් යැපෙනවාද,ඒ සරු බීජ මේ පොළවේ වගා කරන්නට පලදාව වැඩි කරන්නට ක්‍රියාමාර්ග ගන්නවාද යන කාරණා ගැන තවමත් සිතා නැත.එය හුදෙක් පාපන්දු පරිපාලනය මත පටවා නොසිට ක්‍රීඩා අමාත්‍යංශය නිර්මාණශීලීව සිතා මේ විදේශ දක්ෂයන් වැඩිපුර දේශීය පාපන්දු ක්‍රීඩකයා සමඟ සහසම්බන්ධව ක්‍රියා කරන වෘත්තීය පාපන්දු තරගාවලියකට යා යුතුව ඇත.ශ්‍රී ලංකාවේ සුජාන් පෙරේරා බංගලාදේශ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියට කැඳවා ඇති අයුරෙන් අප සතුව ඇති විදේශ ක්‍රීඩක සබඳතා ද යොදා ගෙන වානිජමය වශයෙන් පොහොසත් පසුබිමක් සකස් කරගෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුසු කරන ක්‍රිකට්වල ලංකා ප්‍රිමියර් මාදිලියේ වැඩ සටහනක් ගැන සිතිය යුතුවම ඇත.


එය කාන්තා පාපන්දුවලට ද ආදේශ කළ යුතුය.එය එසේ නොවන බව ඇත්තක්ය.ගාය ඇති කෙල්ලන් ගම්වල පිට්ටනිවල ඕනෑතරම් ඇත.ඒ අය වෙත පාපන්දුවක් වීසි කර බැලිම වටින්නේය.පළමුව විධිමත් පුහුණුව වෙනුවට අවධිමතිව පන්දුවට පයින් ගහන්න ආදරේ කරන සංස්කෘතියක් ඇති කිරිමට නීතිමය රාමුවක් ඇතුළට පාපන්දුව ගෙන ඒමට පෙර පන්දුවට පයින් ගහන්න ආසා කරන කොල්ලන් කෙල්ලන් තැනීම වැදගත්ය.මිහ්‍ර පාසල්වලින් ඒ වැඩේ ආරම්භ කළහොත් අපි කට කතාවට කියන විදිහේ කොල්ලන්ට දෙවැනි නොවන කෙල්ලන් ද දැකිය හැකිය.සුසන්තිකා කොල්ලන් වෙනුවට ගහන එල්ලේ පහරට වටය දිව ගොස් නැවතුනේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම ළඟය.


ඒ නිසා පාපන්දුව නීති රීතිවලින් තොරව මිනිසුන් වෙත වීසි කර දැමිය යුතුව ඇත.පළමු නැගුමට විදේශවල සිටින ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෙල්ලන් කැඳවිය යුතුය.හැබැයි කොල්ලන් හෝ කෙල්ලන් ගත් විට ඒ රටවල් නියෝජනය කළ හැකිනම් ලංකාවට නො‘එන බව ද අප දත යුතුය.ඒ රටවල තියෙන වැඩ සැළසුම සමඟ ජාතික කණ්ඩායමට මෙහා ස්ථර කිහිපයකම සිටින ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ පවතින පාපන්දුවට ඉදිරියෙන් තිබෙන බව සහතිකය.ඒ සංස්කෘතිකමය වශයෙන් ක්‍රීඩාවට ඇති පදනම විසින් උරුම කළ දෙයකි.මේ ගැන හොඳම උදාහරණය නවසීලන්ත ජාතික රගර් කණ්ඩායම පැමිණි ආකාරයට සිතන්නට ක්‍රීඩා ඇමතිව අන්දා එරට ජාතික මට්ටමෙන් සිතද්දි හත්වන තැනට පමණ තිබෙන කිලෝ 85 ට අඩු කණ්ඩායම ලංකාවට ගෙන්වා තමන්ගේ අඩුපාඩු වැරදි වසාගෙන ඇමතිට කිට්ටුවිමට පිරිසක් කරපු වැඩේය.ඒත් ඇත්ත නවසීලන්තයේ රගර් සංස්කෘතිය සමඟ සිතා බලද්දී ඒ කණ්ඩායමත් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන්ය.


බංගලාදේශ තරගය දෙස බලන විට එහි රැස්ව සිටින ප්‍රේක්ෂකාගාරය ද වැදගත්ය.කාන්තාවන් සහ සමාජය පාපන්දුව කෙරෙහි යම් ආකර්ශණීය පෙළඹීමක් සහිතව සිටින බව පැහැදිළිය.ලංකාවේ කාන්තා තරග සඳහා ප්‍රේක්ෂකයන්ගේ අඬුවක් ඇත.ඒ සමාජමය බැදීම ක්‍රීඩාව කෙරෙහි ඇති කරන්නට පෙර සමානව කාන්තාවන් සහ පිරිමින් ගැන හිතන සමාජයක් තැනිය යුතු බව යෝජනා විය හැකිය.එහෙත් ක්‍රීඩාවේ තිබෙන ඉන්ද්‍රජාලික ගුණයෙන් මේ ලිංගිකව බෙදා සිතීමද අහෝසි කළ හැකිය.කාන්තා ක්‍රිකට් ඊට හොඳම උදාහරණය ය.පිරිමි කණ්ඩායම ගැන කළකීරී නොයා සිටින තත්ත්වයක කාන්තා ක්‍රිකට් බලන්නට පිට්ටනි පිරෙන් හැටි අපි දුටුවෙමු.
ඒ නිසා බංගලාදේශයෙන් ලද පරාජය ගැන වෙනම වැඩ සටහනකින් පරාජය නැති කිරීම උදෙසා පිවිසිය යුතුව ඇත.එය පහසු නැත.එහෙත් අපහසුත් නැත.උත්සාහය සහ උත්සාහයට අවංකවීම මත සාර්තකත්වය රැඳෙනු ඇත.බංගලාදේශ පරාජයේ කැළලේ විශාලත්වය තරමක් කුඩා කරන්නට මෙන් තරගය පැවත්වෙන අතිරේක කාලයේ දී විනාඩි 92 දි පමණ ශ්‍රී ලංකාවට ලයන්සිකා ජසෝතරන් ලබා දුන් ගෝලය වැදගත්ය.
බංගලාදේශය මෙහි මුල් අර්ධය තුළ සිටියේ 3-0 ක් ලෙස ඉදරියෙන්ය.දෙවන අර්ධයේදී ඒ වගෙ දෙගුණයක් ගෝල එකතුවීම ගැන ද අප කල්පනාවට ගත යුතුය.දෙවන අර්ධයේ විනාඩි 10 ක් තුළ බංගලාදේශය ගෝල හතරක් ලබා ගන්නේය.48 වන විනාඩියේ සිට 58 වන විනාඩිය දක්වා වන කාලයේදී ලබා ගන්නා මේ ගෝල හතරෙන් දෙකක්ම ලබා ගත් සගෝරිකා (ජර්සි අංක 10) සමස්ත තරගයේදී ගෝල තුනක් රැස් කර ගත්තාය.මුක්නි අක්තාර් ගෝල දෙකක හිමිකාරිය වූවාය.සප්නා රානි,ජහාන් සිඛා,රූපා අක්තාර් සහ ශාන්ති මර්දි ඉතිරි ගෝල හතරේ හිමිකාරියෝ වූහ.