*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ඓතිහාසික ජූලි 15 – තාරක ලියයි 

මේ ලිපිය ලියන අද 2022 ජූලි 15. සතර දිගින් පැන නැගී අවසානයේ කොළඹට ආ මහජන උද්ඝෝෂක ජනගඟට බිය වී, දිවයිනෙන් පැන ගිය ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලියුම ඊයේ රාත්‍රී කතානායකට ලැබුණු බවත් කතානායක එහි නිරවද්‍යතාවය පරීක්ෂා කර බලන බවත් ආරංචියි. කෙසේ හෝ වේවා එම තීරණය ප්‍රකාශයට පත්කිරීම ජූලි 15 ට ඇවිත්. මොකක්ද මේ ජූලි 15 විශේෂත්වය ? මොකක්ද අද ලැබෙන තීරණයයි ජූලි 15 යි අතර සම්බන්ධය ?

1977 බලයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1978 දී අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ නොතිබුණු විධායක ජනාධිපතිධුරයක් ලංකාවට හඳුන්වලා දෙනවා. විධායක ජනාධිපතිධුරය ගැන මෙරට සිටි කෘතහස්ත වාම දේශපාලනඥයෙක් වෙච්ච ඇන් ඇම් පෙරේරා `1978 ව්‍යවස්ථාව පිලිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්` නමින් ගැඹුරු න්‍යායික කරුණු ඇතුළත් පොත්පිංචක් ලියල අහනව, යම් හෙයකින් උම්මන්තකයෙක් අතට මේ ධුරය ගියොත් මොකද වෙන්නේ කියල. 

එහෙම අහලා අවුරුදු දහයක් විතර යනකොට 88 වෙනකොට, ඒ ධුරය කොහොම එකක්ද කියල මේ රට හඳුනාගෙන ඉවරයි. 80 ජූලි වැඩ වර්ජනය මර්දනය කරලා, 83 කළු ජූලිය නිර්මාණය කරලා, යාපනේ පුස්තකාලේ ගිනි තියල, ජවිපෙ ප්‍රමුඛ වාම පක්ෂ තහනම් කරලා, මැතිවරණ සිතියම අකුලලා, 87 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා, හොඳ හොඳ සෙල්ලම් ටිකක් පෙන්නලා, පළමුවැනි විධායක ජනාධිපති JR රිලේ පොල්ල දීල ගියේ ආර්.ප්‍රේමදාසට. විධායක බලය ගත්ත ගමන් 88 – 89 ප්‍රේමදාස කොහොමද හැසිරුණේ කියල හැමෝම දන්නවා. 

1993 මැයි දිනය දවසේ ආමර් වීදියේ බෝම්බෙන් ප්‍රේමදාස මියගියාට පස්සේ විධායක ඔටුන්න කඩාගෙන වැටුණේ ඩී.බී.විජේතුංගගේ ඔළුවට. ඒත් ඒ වෙනකොට එජාප ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා තිබ්බේ. මිනීමරු ලේබලය වැදිච්ච එජාප ආණ්ඩුව කෙරෙහි ජනතාව අසීමිත වෛරයෙන් හිටියේ. 1994 අගෝස්තු 16, එතෙක් පැවති දාහත් වසරක එජාප පාලනය පරද්දල, පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව එනකොට, `බල්ලා මැරිලා අවුරුද්දයි – බලු කූඩුව ෆුල් සුද්දයි` කියල මිනිස්සු තාප්පවල ලිව්වෙ ඒ නිසා. 

සිරිමාවෝගේ පාලනයේ පොල් මිල ගැන කියන මුවාවෙන් පොල් බෑ දෙකක් අරගෙන “සිරිමගෙ බෑ දෙක“ කියමින් අපහාසාත්මක (තිස්සකුට්ටිගේ වම්බටු පන්නයේ) කතන්දර කියමින් 1977 මැතිවරණ වේදිකාවේ දෙපිට කැපෙන විහිලු කරපු කෙසෙල්වත්තේ ප්‍රේමදාස, මිනීමරු බල්ලෙක් හැටියට ජනතා දේශපාලන ඉතිහාසයේ කුණු බක්කියට වැටුණේ අසීමිත විධායක බලය කියන්නේ මොනතරම් වියරුවක්ද කියල පෙන්නමින්. දාහත් වසරක සාපය කියල මිනිස්සු 94 පැරැද්දුවේ (පරද්දන්න හිතුවේ) විධායක බලයේ සාපය. 

94 අගෝස්තුවේ මහමැතිවරණය දිනලා චන්ද්‍රිකා නොවැම්බරයේ ජනාධිපතිවරණයට ලැස්ති වෙමින් හිටියේ. එජාප ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක තොටළඟ බෝම්බෙන් මිය පරලොව ගියාට පස්සේ, ඒ වෙනුවට සටනට ආ ඔහුගේ බිරිඳ ශ්‍රීමා, උදාසීන අපේක්ෂිකාවක්. චන්ද්‍රිකා වන් හෝස් රේස් එකකට ලැස්ති වෙනකොට,  පක්ෂ තහනම ඇතුළෙත් අරගල කරපු – ඒ අරගලයෙන් සෝමවංශ අමරසිංහ හැරුනුකොට, රෝහණ විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සියලුදෙනා ඝාතනයට ලක්වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, තහනම් දේශපාලනයෙන් ප්‍රසිද්ධ දේශපාලන පිටියට කඩා වැදිලා හිටියේ.

පක්ෂයේ ආරක්ෂාවත් ලියාපදිංචියේ ගැටලුත් තවත් කුමන හෝ හේතුත් මත, ජවිපෙ ආවේ ආරිය බුලේගොඩ නායකත්වය දරපු ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ එක්ක සන්ධානගත වෙලා, `ජාතිය ගලවාගැනීමේ පෙරමුණ` හැටියට මල් බඳුන ලකුණෙන්. ඉතිහාසයේ දරුණුතම මර්දනයට ලක්වෙලා – තහනමේ වසර එකොළහක් අරගල කරලා – අසීරුවෙන් මහමැතිවරණයකට ඇවිල්ලත් ඡන්ද 90,078 ක් අරගෙන එක මන්ත්‍රී ආසනයක් දිනාගන්න ජවිපෙට පුළුවන් වුණා. ඒ මන්ත්‍රීධුරයට පත්කරපු නිහාල් ගලප්පත්තිව තමයි මල්බඳුනෙන් ජනාධිපති සටනට එව්වෙත්.

ඒ ඡන්ද 90,078 ජවිපෙ ගන්නේ අනේකවිධ අවලාද මැද. ඒ වෙනකොට වීරවරිය වෙලා හිටපු චන්ද්‍රිකා නියෝජනය කළ පිලෙන් මල්බඳුන හැඳින්නුවේ unp බළල් අතක් කියල. විජේවීර නැතුව මොන jvp ද කියලත් ඇහුවා. ඒ ඔක්කොම මැද්දේ ඡන්ද ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ජවිපෙ ගන්නකොට, ඒ ඡන්ද ලක්ෂය ජනාධිපති සටනේදී තමන්ට වැදගත් කියල චන්ද්‍රිකා දැනගෙන හිටියා. ඒ නිසා එයා උත්සහ කෙරුව ජවිපෙ එක්ක එකඟතාවකට එන්න. අනෙක් අතට, ඡන්ද ලක්ෂයක් තියාගෙන ජනාධිපති සටන දිනන්න බැරි බව ජවිපෙත් දැනගෙන හිටියා. ඒ නිසා ජවිපෙ උත්සාහ කෙරුවා චන්ද්‍රිකාව ඒ ඡන්ද ලක්ෂය පෙන්නලා එක්තරා කොන්දේසියකට යටත් කරගන්න. 

අන්න ඒ කොන්දේසිය තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ජවිපෙ ඒ පන්දුව චන්ද්‍රිකාට පාස් කෙරුවා. චන්ද්‍රිකා පන්දුව රැකගත්තා. ඒ අනුව, චන්ද්‍රිකා ලිඛිත පොරොන්දුවක් දුන්නා, “විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට පොරොන්දු වෙමි“  කියලා. මේ පොරොන්දුව දෙන්නේ 94 නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය මුවවිටේ තියාගෙන. ඒ පොරොන්දුව ප්‍රකාරව නිහාල් ගලප්පත්ති ජනපති සටනින් නොනිලව ඉවත් වෙනවා. විධායක ජනාධිපති ක්‍රමයේ නපුර ගැන කාටත් වඩා හොඳින් දන්නා නිසා තමයි ජවිපෙ ඒ උපක්‍රමය තෝරලා, චන්ද්‍රිකාව පොරොන්දුවකට කොටු කරවලා, එයා ලවාම වැඩේ කරගන්න හැදුවේ. 

ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ජවිපෙ චන්ද්‍රිකාව මුළුමනින්ම විශ්වාස කෙරුව කියල. ඒ මොහොතේ හොඳම දේශපාලන සීරු මාරුව ඒක. නොනිල වශයෙන් ජනපති සටනෙන් ඉවත් වුණත් ප්‍රතිඵල එනකොට නිහාල් ගලප්පත්තිට ඡන්ද 22,749 ක් හම්බවෙලා තිබුණා. ඒ ඡන්ද දායකයන් චන්ද්‍රිකාව විශ්වාස නොකළ අයද, ජවිපෙ පණිවිඩය සන්නිවේදනය නොවූ අයද, අගෝස්තුවේදී චන්ද්‍රිකාට විරුද්ධව මල් බඳුනට ඡන්දය දීල නොවැම්බරයේදී යළි චන්ද්‍රිකාට ඡන්දය දෙන්න හිත හදාගන්න බැරිවෙච්ච අයද , එහෙමත් නැත්නම් ජවිපෙ දෘඩ කාඩරයේ බලපෑම් සහගත අනිවාර්ය ඡන්දද, ඒ ඔක්කොගෙම එකතුවක්ද කියන එක වෙනම කතාවක්. 

කොහොම වුණත් චන්ද්‍රිකා ලංකාවේ හතරවැනි විධායක ජනාධිපති බවට පත්වුණා. දැන් ඔබ දැනගත යුතුයි චන්ද්‍රිකා 94 දී ජවිපෙට අර පොරොන්දුව දෙන්නේ කවදාට පෙර ඉටු කරන බව කියලාද කියා. චන්ද්‍රිකා කිව්වේ, “1995 ජූලි 15 වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට පොරොන්දු වෙමි“ කියලයි. ඔව්.. ජූලි 15.! හැබැයි බලයට පත්වුණු චන්ද්‍රිකාට පොරොන්දුව ඉටුකරන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. හරියටම මීට අවුරුදු විසි හතකට කළින්, ඒ ජූලි 15 දේශපාලන පොරොන්දුව සුළඟේ පාවෙලා ඈතට ගියා. අර පන්දුව, චන්ද්‍රිකා, බැද්දට විසි කෙරුවා.

96 ජූලි 15 ජවිපෙ පෝස්ටරයක් ගැහුවා `පොරොන්දුව කඩකර වසරයි ! විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු` කියල. ඔය විදිහට, `පොරොන්දුව කඩකර වසර 2 යි !` – `පොරොන්දුව කඩකර වසර 3 යි !` – `පොරොන්දුව කඩකර වසර 4 යි !` කියල අවුරුදු කීපයක්ම ජූලි 15 දා උදේ රටටම පේන විදිහට පෝස්ටරයක් තාප්පවල වැදුණා. කවදා වෙනකන් ඕක ගහන්නද ? ඊට පස්සේ ඒ පෝස්ටරය වැදුණේ නැහැ. කාලය ගෙවිල ගියා. පස්වැනි විධායක ජනාධිපති ලෙස මහින්දත්, හයවැනි විධායක ජනාධිපති ලෙස මෛත්‍රීත් ඇවිත් ගියා. එතෙක් මෙතෙක් හැම ප්‍රතිපත්ති ප්‍රකාශනයකින්ම වගේ `අහෝසි කරන බවට පොරොන්දු වූ විධායක ජනපති ක්‍රමය` අදටත් ජීවමානයි.

එදා චන්ද්‍රිකා පොරොන්දුව කඩ කළ ජූලි පහළොස් වැනිදාවෙන් අවුරදු විසි හතකට පස්සේ, මේ සටහන ලියන අද, ජූලි 15, තවත් මජර බලලෝභී ගේමක් නොගැහුවොත්, ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිගේ ගෙදර යෑම නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්නට නියමිතයි. ඇත්තටම ඒක ගෙදර යෑමක් නොවෙයි. ගෙදර යැවීමක්. ගෝල්ෆේස් ඇතුළු රටපුරා අරගලකරුවන් කළ අරගලයේ තීරණාත්මක ජයක් තමයි ගෝඨා ගෙදර යැවීම. ඒ වගේම, ගෝල්ෆේස් අරගල භූමියේ ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රබල වගන්තියක් තමයි, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම. මේ ජූලි 15 ඓතිහාසික වන්නේ අන්න ඒ නිසයි. අනාගත පාලනයකින් අපි ඒ ඉල්ලීම දිනාගත යුතුයි. 

හැබැයි ඒ ඔක්කෝටම කලින්, දැනට ජනපති ධුරයේ වැඩ බලන – අටවැනි විධායක ජනාධිපති වීම සඳහා ලෝකේ නැති උගුල් අටවන – ලෝකේ නැති ගේම් ගහන – ජනමතය ගැන වගේ වගක් නැති – පළමුවැනි විධායක ජනාධිපතිකම දැරූ ජයවර්ධනගේ බෑනා වන රනිල් වික්‍රමසිංහගේ ජනතා ද්‍රෝහී උද්දච්ඡ දේශපාලනය ආපසු හැරවිය යුතුයි. අරගලයේ දෙවැනි පියවර ඒක මිසක් වෙන මොකක්වත් නෙමෙයි. අද ජූලි 15 ජයග්‍රහණයේ දවසක් මෙන්ම නව සටනක නව ඇරඹුමක් වන බව ද ලියා තැබිය යුතුයි. 

– තාරක  

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan