කාදිනල් මැල්කම් රංජිත්: ගෞරවනීය ආගමික නායකයෙකුගේ සිට දේශපාලන විහිළුවක් දක්වා?

සටහන : Adolf ගේ ඉංග්‍රීසි සටහනට අනුව පරිවර්තනය – පුලී

ජූලි 16, LNW (කොළඹ): වරක් සදාචාරයේ ආලෝකයක් ලෙසත්, යුක්තිය වෙනුවෙන් නිර්භීත හඬක් ලෙසත් ගෞරවයට පාත්‍ර වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්, අද වන විට සමාජයේ වැඩිවන පිරිසකගේ දෘෂ්ටියෙන් තම ආගමික නායකත්වයේ ස්ථානය අහිමි කරගෙන දේශපාලන චරිතයක් බවට පත්ව ඇති අයෙකු ලෙස සැලකෙයි. කලක් තම ස්ථිර ප්‍රතිපත්ති සහ අචල ස්ථාවරය නිසා ගෞරවයට පාත්‍ර වූ මෙම ආගමික නායකයා, අද දේශපාලන වේදිකාවල වැඩි අවධානයක් සොයන පුද්ගලයෙකු ලෙස විවේචනයට ලක්ව සිටී.

ඔහුගේ ගමන්මඟ පුරා රටේ ප්‍රධාන දේශපාලන නායකයන් සමඟ පැවති සමීප සබඳතා පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න මතු කර ඇත. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ ජාතික ජන බලවේගය (JVP/NPP) සමඟ විවිධ අවස්ථාවලදී පැවති හමුවීම් සහ දේශපාලනික ප්‍රකාශ හේතුවෙන්, ඔහු ආගමික නායකයෙකුට වඩා දේශපාලන ක්‍රීඩකයෙකු ලෙස හැසිරෙන බවට චෝදනා එල්ල වී ඇත. විවේචකයන් පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියාකාරකම් ඔහු සතු වූ සදාචාරාත්මක බලය හා ජනතා විශ්වාසය දුර්වල කර ඇති බවයි.

නවතම මතභේදය

මෙම පසුබිම තුළ නවතම ආන්දෝලනය ඇතිවී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කාදිනල්වරයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කිරීමත් සමඟය.

මන්ත්‍රීවරයා චෝදනා කර ඇත්තේ වත්මන් යුද හමුදාපතිවරයා සිය සේවා කාලය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ජූලි 2 වැනිදා කාදිනල්වරයා හමුවූ බවයි.

එයට ප්‍රතිචාර දක්වමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක පියතුමා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පවසා ඇත්තේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ඔහුගේ ප්‍රකාශයට අනුව, එදින කාදිනල්වරයා වතිකානයේ විශේෂ රැස්වීමකට සහභාගී වෙමින් සිට ඇති අතර, ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ජූලි 3 වැනිදාය. එම නිසා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ආගමික අසහනයක් ඇති කිරීමේ උත්සාහයක් බව පවසමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පල්ලිය නිවේදනය කර ඇත. මෙම නඩු විභාගය තුළ කාදිනල්වරයාගේ හැසිරීම පිළිබඳව තවත් කරුණු හෙළිදරව් විය හැකි බවද ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි.

ප්‍රශ්න සහ තවමත් පවතින චෝදනා

මෙම සිද්ධියත් සමඟම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්වරයාට එල්ල වූ පෙර චෝදනා යළිත් අවධානයට ලක්ව ඇත.

හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් FBI ආයතනය විසින් වාර්තාවක් සකස් කර තිබූ අතර, තවත් විමර්ශනයක් අවශ්‍ය නොවූ බවයි. එමෙන්ම ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි තොරතුරු ආරක්ෂක ප්‍රධානීන්ට සහ අමාත්‍ය ආරක්ෂක අංශයට ලබා දුන් අවස්ථාවේ, එම තොරතුරු කාදිනල්වරයාටද යොමු කර තිබූ බවටද චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව, ප්‍රහාරයට පෙර ඔහු කුමන තොරතුරු දැන සිටියාද යන්න පිළිබඳව ප්‍රශ්න මතුවී ඇත.

තවද, ප්‍රහාරයට සති කිහිපයකට පෙර එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස් ප්‍රධානීන් සමඟ පැවති රැස්වීම්වලට කාදිනල්වරයාද සහභාගී වී තිබූ බවත්, එහිදී දේවස්ථාන ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා වී තිබූ බවත් වාර්තා වී ඇත. මේ හේතුවෙන් ඔහු දැන සිටියේ කුමක්ද සහ එය දැනගත් කාලය කුමක්ද යන්න පිළිබඳව තවදුරටත් ප්‍රශ්න මතුවෙමින් පවතී.

ඊට අමතරව, 2019 පාස්කු ඉරිදා දින ඔහු මහජන සහභාගිත්වයෙන් යුත් විශේෂ දේවමෙහෙයක් නොපවත්වා තිබුණේ මන්දැයි යන ප්‍රශ්නයද තවමත් ඇතැම් පාර්ශ්ව මතු කරයි. කෙසේ වෙතත්, කතෝලික පල්ලිය පවසා ඇත්තේ එදින කාදිනල්වරයා සාමාන්‍ය පරිදි කොළඹ ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දේවමෙහෙය පැවැත්වූ බවයි. එසේ වුවද, විවේචකයන්ගේ සැකයන් සහ අනුමාන අද දක්වාම අවසන් වී නොමැත.

පල්ලියේ ගෞරවයට බලපෑම

විවේචකයන්ගේ අදහස වන්නේ කාදිනල්වරයා නිතරම ආගමික නායකයෙකුගේ සීමාව ඉක්මවා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන්, තමන්ම තමන්ගේ ප්‍රතිරූපයට හානි කරගෙන ඇති බවයි. ආගමික වශයෙන් සංවේදී සමාජයක, ආගමික නායකයෙකුගේ සැබෑ බලය රඳා පවතින්නේ ඔහුගේ සදාචාරාත්මක විශ්වාසනීයත්වය මතය. එය දේශපාලනික අරමුණු සමඟ මිශ්‍ර වී ඇති බවට ජනතාව තුළ හැඟීමක් ඇති වූ විට, ඔහුට තිබූ ගෞරවය සහ බලපෑම ක්‍රමයෙන් අඩුවන බව ඔවුන් පෙන්වා දෙති.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ ගෞරවය සහ ජනතා විශ්වාසය තවදුරටත් හානියට පත් නොවන පරිදි, ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ කාදිනල් මැල්කම් රංජිත් මහතාට පසුපස අසුනක් ගැනීමට උපදෙස් දිය යුතු බව ඇතැම් විවේචකයන්ගේ අදහසයි. ඔවුන්ගේ මතය වන්නේ, විශ්වාසවන්ත ජනතාවට අවශ්‍ය වන්නේ දේශපාලනඥයෙකු නොව, ආත්මික නායකයෙකු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...